තායිලන්තය: ලෙන තුළ සිරවූ ළමුන්ගේ අලුත්ම තත්ත්වය

Police guard a road to the cave area - 9 July

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

තායිලන්තයේ ජලයෙන් යටවී පවතින ලෙන තුළ සිරවී සිටින සෙසු පිරිමි ළමුන් අට දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමේ මෙහෙයුම් කිමිදුම්කරුවන් විසින් යළි ආරම්භ කරනු ලැබීමට නියමිතය.

ඒ බව නිල වශයෙන් තහවුරු කර නැතත් ලෙන් සංකීර්ණයට ඇතුළුවන ස්ථානය වෙත ගිලන් රථ කීපයක් ළඟා වනු බීබීසී වෙත දැක ගැනීමට හැකිවිය.

ඉරිදා (ජුලි 08) ළමුන් සිව් දෙනෙකු ආරක්ෂිතව පිටතට රැගෙන එනු ලැබීය.

නමුත් ඔක්සිජන් ටැංකි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා බේරා ගැනීමේ මෙහෙයුම තාවකාලිකව නතර කෙරිණි.

ළමුන් එකා බැගින් පිටතට රැගෙන ඒම සඳහා කිමිදුම්කරුවන් ලෙන ඔස්සේ කිලෝමීටර පහක දුරක් යා යුතු අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවේ.

An ambulance arrives at hospital after some of the youth soccer team and their assistant coach have been rescued from a Thai cave, 08 July 2018

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෙන පිහිටි ස්ථානයෙන් පිටත් වී අසල රෝහලක් වෙත ළඟා වන ගිලන් රථයක්

බේරා ගනු ලැබූ ළමුන් සිව් දෙනා රෝහල් ගත කරනු ලැබූ අතර ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව බීබීසී වෙත වාර්තා විය.

ප්‍රවීණ කිමිදුම්කරුවෝ 90 දෙනෙකු මෙහෙයුමට සම්බන්ධ වී සිටිති.

තායිලන්ත ජාතිකයන් 40 දෙනෙක් සහ විදේශිකයන් 50 දෙනෙක් ඒ අතර වෙති.

ඔවුහු අඳුර මැදින් ළමුන් ලෙන් මුඛය වෙත රැගෙන එති.

ළමුන් සිටින ස්ථානය වෙත ළඟා වීම සහ යළි පැමිණීම අත්දැකීම් බහුල කිමිදුම්කරුවන්ට පවා වෙහෙස කර කාර්යයකි.

Thai divers carry supplies as rescue operations continue for 12 boys

ඡායාරූප මූලාශ්‍රය, AFP

මෙහෙයුම් සඳහා එක්ව සිටි එරට නාවික හමුදා 'සීල්' බලකායේ හිටපු කිමිදුම්කරුවෙකු සිකුරාදා මරුමුවට පත් විය.

සැපයුම් ගෙන ගොස් ලෙන් සංකීර්ණයෙන් ආපසු එමින් සිටියදී තිස්අට හැවිරිදි සමන් ගුනන් නමැති කිමිදුම්කරුවාට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති වීම නිසා සිහිසන් වී තිබිණි.

ලෙන තුළ සිරවී සිටින ළමුන් අවුරුදු 11-16 අතර වයසේ පසුවන අතර ඔවුන්ගේ පුහුණුකරුගේ වයස අවුරුදු 25 කි.