ලෙන තුළ සිරවූ තායිලන්ත දරුවෝ: "ගංවතුර පහව යන තෙක් මාස ගණනක් ලෙන තුළ විසීමට සිදු වේවි"

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙර දිනක උමං මාර්ගයක් නැරඹීමට ගිය අවස්ථාවක පිරිමි ළමුන් ලබා ගත් ඡායාරූපයක් පෙන්වන ඥාතියෙක්
Published

තායිලන්තයේ ලෙනක් තුළ සිර වී සිටින ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු එයින් පිටතට ගැනීමට පෙර කිමිදුම් පුහුණුවක් ලබා දීමට හෝ දැඩි ගංවතුර පහව යන තෙක් මාස ගණනක් ලෙන තුළ විසීමට පුහුණු කළ යුතුව තිබෙන බව හමුදාව පවසයි.

දින නවයක් ලෙන තුළ සිරවී සිටි පිරිස එහි ඇති කුඩා වියළි ස්ථානයක රැඳී සිටියදී සඳුදා (ජූලි 2) නාවික හමුදාවේ විශේෂ බලකායක සාමාජිකයන් විසින් සොයා ගෙන තිබේ.

ලෙන තුළ ඉහළ යමින් පවතින ගංවතුර මට්ටම හේතුවෙන් මෙම පිරිසට අවශ්‍ය සැපයුම් රැගෙන යාමේදී ගලවාගැනීමේ කණ්ඩායම් සාමාජිකයන්ට මහත් දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුව ඇත.

වීඩියෝ ශීර්ෂ වැකිය, ලෙන තුළ සිරවී සිටින දරුවන්ගේ පළමු වීඩියෝ දර්ශන

හමුදාව පවසන පරිදි ඉදිරි මාස හතරකට පමණ ප්‍රමාණවත් ආහාර ලෙන තුළ සිටින පිරිසට යැවිය යුතුය.

ලෙන තුළට විදුලි සැපයුම ලබා දීමට සහ දරුවන්ට සිය දෙමාපියන් සමග කතා කිරීම සඳහා දුරකථන මාර්ග ස්ථාපනය කිරීමට උත්සාහ දරන බව ආණ්ඩුකාර නරෝන්ග්සක් ඔසොතනකොන් (Narongsak Osottanakorn) පැවසීය.

ඔවුන් සොයා ගත්තේ කෙසේද?

මෙම සෝදිසි මෙහෙයුමට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් දෙදෙනෙකු විසින් සඳුදා (ජූලි 2) රාත්‍රියේ ළමුන් සහ පුහුණුකරු සිටින ස්ථානය සොයා ගන්නා ලදි.

විදුලි පන්දම් එළිය දුටු සැණින් ළමුන් උස් හඬින් කෑ ගසමින් 13 දෙනාම එහි සිටින බව සහ ඔවුන් දැඩි කුසගින්නේ පසුවන බව පවසා තිබුණි.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තමන් කොපමණ කාලයක් පොළොව යට සිටියේ දැයි විමසූ ඔවුහු දැන් තමන්ට පිටතට යාමට හැකි දැයි ද කිමිදුම්කරුවන්ගෙන් විමසූහ. නමුත් ඔවුන්ට තව ටික කලක් රැඳී සිටීමට සිදුවන අතර, ඔවුන් මුදවා ගැනීම සඳහා නැවතත් පැමිණෙනවා යැයි කිමිදුම්කරුවන් එහිදී පිළිතුරු දී තිබේ.

"අනේ ... එහෙනම් අපි හෙට නැවත හමුවෙමු," එක් පිරිමි ළමයෙකු එසේ පවසා ඇත.

දරුවන් පිරිස ලෙනක සිරවීම ගැන තායිලන්තයම කම්පා වූ අතර දිගින් දිගටම ඉහළ යමින් තිබූ ජල මට්ටම සහ මඩ තට්ටු හේතුවෙන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට බාධා පැමිණ තිබුණි.

ඥාතීන් ඇතුළු සියලු දෙනාටම ළමුන් කණ්ඩායම සහ පුහුණුකරු ජීවතුන් අතර සිටීද යන්න ගැන සැක මතුවෙමින් තිබුණි.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/EKATOL

ඡායාරූප ශීර්ෂ වැකිය, අතුරුදහන්ව සිටි දරුවන්ගෙන් පිරිසක් සමග පාපන්දු පුහුණුකරු පෙනී සිටින ඡායාරූපයක්

ළමුන් කණ්ඩායම සොයා ගැනීමේ පුවත සැලවීමත් සමග අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ තායිලන්ත වැසියන ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.

මේ තොරතුරුද කියවන්න:

ඔවුන් ලෙන තුළට ගියේ කෙසේද?

වයස අවුරුදු 11 ත් 16 ත් අතර පිරිමි ළමුන් සහ ඔවුන්ගේ 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු ජුනි 23 දින වියළි කාලගුණයක් පැවති අවස්ථාවක ලෙනට ඇතුළු වී ඇති අතර හදිසියේ ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් ඇති වූ ජල ගැලීම් නිසා එයින් පිටවන ස්ථානය අවහිර වී තිබේ.

ඔවුන් සොයා ගන්නා ලද්දේ ලෙන් මුඛයෙන් කිලෝමීටර හතරක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක රැඳී සිටියදීය.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, EPA

වියළි කාලගුණය පැවති කාලය ඇතුළත ලෙන ඇතුළත ගමන් කිරීමට ඔවුන්ට හැකි වූ නමුත්, පසුව ගංවතුර සමග එකතු වූ මඩ හා සුන්බුන් නිසා ඔවුන්ගේ ගමන අවහිර වී තිබේ.

ලෙන තුළ 'පතායා බීච්' (Pattaya Beach) ලෙස හැඳින්වෙන, ඉතා දුෂ්කර වංගු සහිත ප්‍රදේශය හරහා ළමුන් රැඳී සිටි කඳු මුදුනට යෑමට කිමිදුම්කරුවන්ට දැඩි උත්සහයක් දැරීමට සිදුව ඇත.

කිමිදුම්කරුවන්ට දැඩි අඳුර තුළින් ඉතා පටු, වක්‍ර මාවත් ඔස්සේ කිමිදීමට සිදු විය. එම දුෂ්කර ගමනින් අනතුරුව ඔවුන්ට දැකගත හැකි වූයේ පතායා බීච් ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බවය. කෙසේවෙතත්, පතායා බීච් හරහා පිහිනා ගිය ඔවුන්ට මීටර් 400 ක් පමණ එපිටින් ළමුන් කණ්ඩායම රැඳී සිටිනු දක්නට ලැබුණි.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවන් ජීවත්ව සිටින බව දැනුම් දෙන අවස්ථාව
Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඔවුන් පිටතට රැගෙන යන්නේ කෙසේද?

ලෙන තුළ පවතින තත්වය නිසා ආරක්ෂාකාරීව ළමුන් පිටතට ගෙන ඒම අතිශය භයානක කාර්යයක් වී තිබේ.

උතුරු තායිලන්තයේ පිහිටි මෙම ලෙන් තද වැසි පවතින කාලය තුළ දී ජලයෙන් යටවන අතර, සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස තෙක් ගංවතුර බැස නොයයි.

එම කාලයට පෙර ළමුන් එයින් පිටතට රැගෙන ඒමට නම් ඔවුන් සියලු දෙනාටම මූලික කිමිදුම් පුහුණුවක් ලබා දීමට සිදු වේ.

නමුත් අත්දැකීම් රහිත කිමිදුම්කරුවන් දැඩි අඳුරේ, මඩ සහිත පටු මාවත් ඔස්සේ රැගෙන ඒම ඉතා අනතුරුදායක බව විශේෂඥයෝ අනතුරු හඟවති.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පොම්ප ආධාරයෙන් ජල මට්ටම අඩු කිරීමට ගත් උත්සාහයන් මේ වනතෙක් සාර්ථක වී නොමැත.

ලෙන තුළ ජල මට්ටම අඩු වනතෙක් සිටියහොත් ඔවුන්ට මාස ගණනක් ලෙන තුළ රැඳී සිටීමට සිදුවන අතර, අවශ්‍ය ආහාර සහ අනෙකුත් ආධාර නිරන්තරව සැපයීමට සිදු වේ.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පොම්ප ආධාරයෙන් ජල මට්ටම අඩු කිරීමට ගත් උත්සාහයන් මේ වනතෙක් සාර්ථක වී නොමැත
Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉදිරි දින කීපය ඇතුළත විශේෂිත පුහුණුවක් ලැබූ වෛද්‍යවරුන් කණ්ඩායමක් ළමුන් සිටින ස්ථානයට ගොස් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට සැලසුම් කර ඇත.

තායිලන්ත හමුදාවට අනුයුක්තව කිමිදුම් පුහුණුව ලැබූ වෛද්‍යවරුන් කීපදෙනෙකු සිටින බව ආසියානු කටයුතු භාර බීබීසී වාර්තාකරු ජොනතන් හෙඩ් පැවසීය.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"නමුත් ඔවුන්ගේ ශක්තිය නැවත ලබා ගත්තත්, ගංවතුරෙන් යටවී ඇති උමං ඔස්සේ සැතපුම් කීපයක් ඔවුන් ඇදගෙන යෑම විශාල අභියෝගයක් වෙනවා. මෙහි වැසි සමය තවමත් ආරම්භ වුණා විතරයි. ජල මට්ටම තව ඉහළ යනවා," යැයි ඔහු තවදුරටත් පැවසුවේය.

Thailand boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ලෙන තුළට පිවිසිය හැකි වෙනත් මාර්ග සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් තවත් කණ්ඩායම් කඳු අතර ඇති කැලෑ එළි පෙහෙළි කරමින් සිටී.

පාපන්දු කණ්ඩායමක සාමාජිකයන් වන මෙම පිරිමි ළමුන් දොළොස් දෙනා ඔවුන්ගේ පුහුණුකරු විසින් වරින් වර විනෝද චාරිකා සහ ක්ෂේත්‍ර චාරිකා සඳහා රැගෙන ගොස් තිබේ.