ලෙන තුළ සිරවූ තායිලන්ත දරුවෝ: "අපි වතුර සමග තරගයක"

Thailnd boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෙන තුළ සිරවී සිටින දරුවන්ට ආහාරපාන සහ ලෝහමය කොළ වර්ගයකින් සාදන ලද පොරවන ලබා දී තිබේ
Published

වර්ෂාපතනය තවදුරටත් වැඩිවීමට පෙර තායිලන්තයේ ජලයෙන් යට වී පවතින ලෙනක සිරවී සිටින පිරිමි ළමුන් දෙළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ගලවා ගැනීමට සහන කණ්ඩායම් උත්සාහ දරමින් සිටිති.

දින කීපයක් ඇතුළත එම ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු වන අතර, ලෙන තුළ ජල මට්ටම ඉහළ ගොස් දරුවන් රැඳී සිටින ස්ථානය ජලයෙන් යටවීමේ අවදානමක් පවතී.

වයස අවුරුදු 11 ත් 16 ත් අතර පිරිමි ළමුන් සහ ඔවුන්ගේ 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු ජුනි 23 දින වියළි කාලගුණයක් පැවති අවස්ථාවක ලෙනට ඇතුළු වී ඇති අතර හදිසියේ ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් ඇති වූ ජල ගැලීම් නිසා එයින් පිටවන ස්ථානය අවහිර වී තිබේ.

Thailnd boys trapped in caves
ඡායාරූප ශීර්ෂ වැකිය, "දරුවන් සොයා ගැනීමට පෙර අපි කාලය සමග තරගයක යෙදුනා. දැන් අපි වතුර සමග තරගයක යෙදෙනවා"

ඔවුන් සොයා ගන්නා ලද්දේ ලෙන් මුඛයෙන් කිලෝමීටර හතරක් පමණ දුරින් පිහිටි ගල් පර්වතයක රැඳී සිටියදීය.

මෙතෙක් කල් දරුවන් සිරවී සිටින ලෙන තිබෙන ප්‍රදේශයේ වියළි කාලගුණයක් පැවතුනද ඉතා ඉක්මනින් කාලගුණය වෙනස් වීමට ඉඩ ඇති බැවින් ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීමට කටයුතු කර තිබේ.

Thailnd boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෙන තුළට යෑමට සැරසෙන කිමිදුම්කරුවන්

"දරුවන් සොයා ගැනීමට පෙර අපි කාලය සමග තරගයක යෙදුනා. දැන් අපි වතුර සමග තරගයක යෙදෙනවා," යැයි ආණ්ඩුකාර නරෝන්ග්සක් ඔසොතනකොන් (Narongsak Osottanakorn) පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.

සිය පවුලේ සාමාජිකයන් සමග අදහස් හුවමාරු කරගැනීමට ළමුන්ට හැකිවන පරිදි දුරකථන පද්ධතියක් ස්ථාපනය කර ඇති නමුත් එහි රැහැන් තවමත් දරුවන් සිටින ස්ථානය දක්වා රැගෙන ගොස් නැත.

මින් පෙර ලෙන තුලට රැගෙන ගිය දුරකථනය ජලයට වැටීමෙන් ක්‍රියා විරහිත වූ නිසා නව දුරකථනයක් එහි රැගෙන යාමට සිදුවිය.

මේ තොරතුරුද දැනගන්න:

වර්ෂාව නතර වුවහොත් ජල මට්ටම අඩු වී දරුවන් පිරිසට ඇවිද හෝ ජලයේ පාවී ලෙනෙන් පිටතට පැමිණීමට හැකියාව තිබේ.

නමුත්, ලෙන තුළ පවතින තත්වය නිසා ආරක්ෂාකාරීව ළමුන් පිටතට ගෙන ඒම අතිශය භයානක කාර්යයක් වී තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ලෙන තුළ සිරවී සිටින දරුවන්ගේ පළමු වීඩියෝ දර්ශන

උතුරු තායිලන්තයේ පිහිටි මෙම ලෙන් තද වැසි පවතින කාලය තුළ දී ජලයෙන් යටවන අතර, සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස තෙක් ගංවතුර බැස නොයයි.

එම කාලයට පෙර ළමුන් එයින් පිටතට රැගෙන ඒමට නම් ඔවුන් සියලු දෙනාටම මූලික කිමිදුම් පුහුණුවක් ලබා දීමට සිදු වේ.

නමුත් අත්දැකීම් රහිත කිමිදුම්කරුවන් දැඩි අඳුරේ, මඩ සහිත පටු මාවත් ඔස්සේ රැගෙන ඒම ඉතා අනතුරුදායක බව විශේෂඥයෝ අනතුරු හඟවති.

Thailnd boys trapped in caves

මේ අතර පොම්ප ආධාරයෙන් ජල මට්ටම අඩු කිරීමට බේරා ගැනීමේ කණ්ඩායම උත්සාහ කරමින් සිටිති.

බ්‍රහස්පතින්දා (ජූලි 05) වන විට ජලය ලීටර මිලියන 128ක් පමණ පොම්ප ආධාරයෙන් ඉවතට යවා ඇති නමුත් ජල මට්ටම අඩු වන්නේ පැයකට සෙන්ටිමීටර 1.5ක් පමණි.

මේ දක්වා සෙන්ටිමීටර 40කින් ජල මට්ටම අඩු වී ඇති අතර, සහන සේවකයන්ට ලෙන් මුඛයේ සිට කිලෝමීටර 1.5ක් එක දිගට ඇවිද යාමට හැකි වී තිබේ.

ලෙන තුළ ජල මට්ටම අඩු වනතෙක් සිටියහොත් ඔවුන්ට මාස ගණනක් ලෙන තුළ රැඳී සිටීමට සිදුවන අතර, අවශ්‍ය ආහාර සහ අනෙකුත් ආධාර නිරන්තරව සැපයීමට සිදු වේ.

Thailnd boys trapped in caves
ඡායාරූප ශීර්ෂ වැකිය, සෞඛ්‍ය සේවා කණ්ඩායම්

තවත් තොරතුරු:

ලෙන් මුඛයේ සිට දරුවන් සිරවී සිටින ස්ථානයට ගමන් කර ආපසු පැමිණීමට පැය 11ක කාලයක් ගතවේ.

මේ අතර, වෛද්‍යවරයෙකු සහ හෙදියක ඇතුළු කිමිදුම්කරුවන් හත් දෙනෙකුද තායිලන්තයේ උතුරු දිග පිහිටි ලෙනේ සිරව සිටින කණ්ඩායම හා එක් වී සිටිති.

Thailnd boys trapped in caves
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම සිද්ධිය ගැන ලොව පුරා මාධ්‍ය වාර්තා පළ වෙමින් තිබේ

"ඔවුන් මාගේ සොහොයුරන් ලෙස සලකා උදව් කරනවා"

බීබීසී වාර්තාකරු Helier Cheung සහ තම් ලුවන්ග් (Tham Luang) ලෙන් අසල සිට ගෙන එන වාර්තාවකි මේ:

ජීවිතාරක්ෂක කණ්ඩායම් අතිශය දුෂ්කර තත්වයන් යටතේ කටයුතු කරමින් සිටිති. ලෙන් පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ට වඩා අධික වන අතර, බොහෝ ස්ථානවල අගල් ගණනක් ඝනකමින් යුතු තිබෙන මඩ තට්ටුවක් දැකිය හැකිය. ඒ හේතුවෙන් බොහෝ ස්ථාන ලිස්සා යන සුළු මතුපිටකින් යුක්තය.

Thailnd boys trapped in caves
ඡායාරූප ශීර්ෂ වැකිය, ගලවාගැනීමේ මෙහෙයුම් අතරතුර ලෙන පිටත හමුදා ආරක්ෂක වළල්ලක් යොදා ඇත

එහෙත් ඉතා වේගයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී. මෝසම් වැසි ආරම්භ වූ පසු, මුදවාගැනීමේ මෙහෙයුම් වඩාත් අපහසු වනු ඇති බව සියල්ලෝ දනිති.

මේ අතර, මෙහෙයුම් පහසු කිරීමේ අරමුණින් සිය ගණනක පිරිසක් ලෙන පිටත සිට සිය සහය ලබා දෙති. ලෙනට පිවිසෙන මාර්ගයේ මඩ මතට බොරළු දැමීමට මාර්ග ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටින අතර, සියලු දෙනා සඳහා උණුසුම් ආහාර සැපයීමට තායි රාජකීය මුළුතැන්ගේ සේවකයන් කටයුතු කරමින් සිටී. ඒ අතර, ස්වේච්ඡා සේවකයන් වතුර බෝතල් සහ අයිස්පලම් බෙදා හරිනු ලබයි.

Thailnd boys trapped in caves

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සියලු දෙනා සඳහා උණුසුම් ආහාර සැපයීමට තායි රාජකීය මුළුතැන්ගේ සේවකයෝ කටයුතු කරමින් සිටිති

මෙම ක්‍රියාන්විතයට සහය දක්වන එක් ස්වේච්ඡා සේවකයකු පැවසුවේ, ලෙන තුළ සිටින දරුවන් පෞද්ගලිකව නොදන්නා නමුත්, "ඔවුන් මාගේ සොහොයුරන් ලෙස සලකා උදව් කරනවා" යනුවෙනි.

Thailand boys trapped in caves - map