බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්නැයි පල්ලේගම හේමරතන හිමිට නියෝග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
DNA පරීක්ෂණයක් සඳහා ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට සිකුරාදා (ජූනි 12) නියෝග කළේ ය.
සැකකාර හිමිනම සිය රුධිර සාම්පල ලබා දීමෙන් අනතුරුව සිදු කරන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂණවරයාට නියෝග කළේ ය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ, නිට්ටඹුව පොලිසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
පොලිසියෙන් අධිකරණයට වැඩිදුර වාර්තාවක්
එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය අධිකරණයට කියා සිටියේ, අධිකරණ නියෝගයකට අනුව 2026 මැයි 4 වන දින රජයේ රස පරීක්ෂකවරයා වෙත DNA පරීක්ෂණයක් සඳහා යවන ලද, දැරිය විසින් වළ දමා සඟවා තිබියදී සොයා ගත් රුධිරය තැවරුණ බවට සැක කෙරෙන ඇදුම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ බව ය.
ඒ අනුව, නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම ඇඳුම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා DNA පරීක්ෂණයක් පවත්වා ඇති බව ද අධිකරණයට කියා සිටි පොලිසිය, දැරියගේ ඇඳුම්වල "DNA ඇලීල අන්තර්ගතව ඇති බව" DNA පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවට රජයේ රස පරීක්ෂක වාර්තාව මගින් අනාවරණ වී ඇති බව ද සඳහන් කළේ ය.
ඒ අනුව, අදාළ DNA ඇලීල සමග සැසඳීමට සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට පවසා සිටි පොලිසිය ඒ අනුව, රජයේ රස පරීක්ෂකවරයා වෙත රුධිර සාම්පල ලබාදෙන ලෙසට සැකකාර හිමිනමට නියෝග කරන ලෙස අයැද සිටියේ ය.
දැරියගේ ඇඳුම්වල අඩංගු DNA ඇලීල සමග සැකකාර හිමිනමගේ රුධිර සාම්පල ගැළපේ ද යන්න අනාවරණය කර ගැනීම සඳහා සිදුකෙරෙන DNA පරීක්ෂණයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කරන ලෙස ද පොලිසිය තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
16 වන දා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් රුධිර සාම්පල දෙන්නැයි නියෝග
මෙම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට නියෝග කළේ, ලබන 16 වන දින රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් තම රුධිර සාම්පල DNA පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයාට ලබාදෙන ලෙස ය.
සැකකාර හිමිනමගේ රුධිර සාම්පල සම්බන්ධයෙන් සිදු කෙරෙන DNA පරීක්ෂණයේ වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට එහිදී නියෝග කළේ ය.
බාල වයස්කාර දැරිය බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මීට පෙර බන්ධනාගාරගත කර සිටි අතර, පසුව උන්වහන්සේ දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිණි.
සැකකාර හිමියන් දරමින් සිටි අටමස්ථානාධිපති තනතුර සහ නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටවූයේ ඉකුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී ය.
ඔබට සහයක් අවශ්‍ය ද?
ඔබත් ලිංගික හිංසනයක වින්දිතයෙක් ද? නැතිනම් බාල වයස්කරුවෙකු ලිංගික හිංසනයට ලක් වන බවක් ඔබට නිරීක්ෂණය වී තිබේ ද?
පහත අංක අමතා සහය ලබා ගන්න.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
ශ්‍රී ලංකා ළමා උපකාරක සේවය - 1929
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය
දුරකතන අංකය - 011-2444444
හදිසි ඇමතුම් අංකය - 109
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
ළමා උපකාරක සේවය - 1938


































