ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ආපදා මරණ ගණන 639ක් දක්වා ඉහළට
මෙරටට බලපෑ ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 639ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 203ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
සාරාංශය
- ආපදා මරණ ගණන 639ක්: 203 දෙනෙකු අතුරුදන්
- නැවත දැනුම් දෙන තුරු විශාල රුධිර කඳවුරු සංවිධානය නොකරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය දැනුම් දෙයි
- දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක නම් කෙරේ
- පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771 දෙනෙකු පීඩාවට
- නිවාස 5,350ක් සම්පූර්ණයෙන් විනාශ වෙයි
- ශ්‍රී පාදස්ථානයට ගමන් කරන මාර්ගයේ පැවති අවහිරතා ඉවත් කෙරේ
- 'සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති
- හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න - 117
සජීවී වාර්තාකරණය
සුළි කුණාටුවක ප්‍රබලතාව
වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයන් සමග ඇතිවන අඩුපීඩන කාලප වර්ධනය වීම තුළින් සුළි කුණාටු තත්ත්වයන් ඇතිවේ.
එහි මූලික අවස්ථාව අඩුපීඩන කලාපයක් වන අතර වායුගෝලීය සාධක අනුව එහි තිව්‍රතාව සිදුවේ.
- අඩුපීඩන කාලපය
- හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපය
- පීඩන අවපාතය - 32- 51 kmph
- ගැඹුරු පීඩන අවපාතය - 52- 61 kmph
- සුළි කුණුටුව - 62- 87 kmph
- චන්ඩ සුළි කුණාටුව - 88-117 kmph
- ඉතා චන්ඩ සුළි කුණාටුව - 118 - 165 kmph
- අතිශය චන්ඩ සුළි කුණාටුව - 166- 221 kmph
- සුපිරි සුළි කුණාටුව - 222 kmph වැඩි
ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි, කුණාටුව දිට්වා (Ditwah) ලෙස නම්කර කරයි
දිවයින ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට වර්ධනය වී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රීතිකා ජයකොඩි පැවසුවේ, මෙම සුළි කුණාටුව දිට්වා (Ditwah) ලෙස නම්කර ඇති බවයි.
මෙම නම ලබා දී ඇත්තේ යේමනයයි.
දැනට මෙම සුළි කුණාටුව පොතුවිල් ප්‍රදේශයට ආසන්නව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
දැනට පවතින ආකාරය අනුව මෙය නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ උතුරු දෙසට ගමන් ගනු ඇති බවට පුරෝකථනය කර ඇති අතර, ඇතැම් විට එය වෙනස් විය හැකි බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත කියා සිටියා.
අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 51,000කට පමණ හානි
තද වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලට බලපා ඇති ආපදා තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල, දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් විමසුවා.
අද පස්වරු 4.30 වන විට පැවති තත්ත්වය ගැන ඔවුන් අප වෙත පැහැදිලි කළා.
ඇතිව තිබෙන අධික වැසි සහත කාලගුණ තත්ත්වය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 51,000ක් පමණ හානියට පත්වී ඇති බව අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම පවසනවා.
දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ සුළං තත්ත්වය හේතුවෙන් බඩ ඉරිඟු අක්කර 21,000ක් පමණ හානියට පත්ව ඇති බවයි.
මේ අතර සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
අත්‍යවශ්‍ය කටයුත්තකට හැර කඳුකර මාර්ගවල ගමනාගමනයෙන් වළකින්නැයි දැනුම් දෙයි
මහනුවර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සඳහන් කරන්නේ, ආපදා තත්ත්වයන් හේතුවෙන් එහි පුද්ගල මරණ 5ක් වාර්තා වන බවත් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බවත් ය.
මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ සුරක්ෂා මධ්‍යස්ථාන 17ක පුද්ගලයින් 188ක් සිටින බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.
මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුදුම්බර ප්‍රදේශයේ නාය යාමක් සිදුවී ඇති බවත් යුද්ධ හමුදාව මේ වන විට මුදා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
හසලක - හෙට්ටිපොළ මාර්ගය යට කරමින් මිණිපේ ඇළ පිටාර ගොස් ඇති අයුරු
ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ ඉඩක්
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට කිලෝමීටර්120ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 6.7°N සහ දේශාංශ 82.1°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
ඒ අනුව, අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා.
උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි සහ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
රත්ගම - වෙරළ තීරයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් ධිවරයින් 05 දෙනෙකු සමග අතුරුදහන්
ගාල්ල රත්ගම වැල්ල වෙරළ තීරයෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් ධීවරයින් 05 දෙනෙකු සමග අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසනවා.
(නොවැම්බර් 26 වැනිදා) සවස මෙම බෝට්ටු ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙන අතර අද දහවල් වන විටත් ඔවුන් ගොඩබිමට නොපැමිණි බව ඔවුන්ගේ ඥාතීන් සඳහන් කළා.
පසුව මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි දැනුවත් කිරීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණය ඒකකය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට දැනුම් දී තිබේ.
ඒ අනුව නාවික හමුදාවේ ඩෝරා යාත්‍රාවක් මේ වන විට අතුරුදහන් ධීවරයින් සොයා පිටත්ව ගොස් තිබේ. කෝග්ගල ගුවන් හමුදා කඳවුරින් හෙලිකොප්ටර් යානයක්ද සෝදිසි මෙහෙයුමට එක්වීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
කොත්මලේ රුවන්පුර ප්‍රදේශයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී ඇති අයුරු
කොත්මලේ රුවන්පුර ප්‍රදේශයේ නිවාසයක් මතට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් එම නිවස සම්පූර්ණයෙන් පාහේ විනාශ වී තිබෙනවා.
සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් වී නැහැ.
නිවැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.
මනම්පිටිය ප්‍රදේශයේ තත්ත්වය
ඉදිරි කාලගුණය ගැන ඔබ දැන ගත යුතු ම කරුණු
බණ්ඩාරවෙළ - බදුල්ල මාර්ගය ‘Y හංදියේ’ සිට බණ්ඩාරවෙල දෙසට වසා දමයි
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ‘Y හංදියේ’ සිට බණ්ඩාරවෙල දෙසට මාර්ගය වසා දමා තිබේ.
එම මාර්ගය භාවිත කරන රියදුරන්ට දියතලාව හරහා මාර්ගය භාවිතා කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.
නාවලපිටිය - තලවකැලේ මාර්ගයේ කඩියන්ලෙන දිය ඇල්ලට යාබද මාර්ගයේ කොටසක නාය යෑමක්
නාවලපිටිය - තලවකැලේ මාර්ගයේ කඩියන්ලෙන දිය ඇල්ලට යාබද මාර්ගයේ කොටසක් නාය යෑමට ලක්වීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
අද දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.2ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි
සයින්දමර්දු ප්‍රදේශයේදී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළකට පෙරළී 3 දෙනෙක් මරුට
කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේදී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයකට පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
අධික වැසි සහිත කාලගුණය දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ ඇති අයුරු
ගෙවුණු පැය 24 වැඩි ම වර්ෂාපතනය රූගම් ප්‍රදේශයට - මි.මී. 300.1
අද උදෑසන 8.30 අවසන් වූ පැය 24 තුළ වාර්තා වුණ වැඩි ම වර්ෂාපතනය මඩකලපුව, රූගම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම අගය මි.මී. 300.1ක් ලෙස සටහන් වී ඇති බව යි.
දිස්ත්‍රික්ක 17ක පුද්ගලයින් 4000කට බලපෑම්
අයපහත් කාලගුණය හේතුවෙන් නොවැ. 17 වන දා සිට 27 වන දා දක්වා දිස්ත්‍රික්ක 17ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
බලපෑමට ලක් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 79ක්. පවුල් 1158ක පුද්ගලයින් 4008ක් අධික වැසි හේතුවෙන් බලපෑමට ලක්ව තිබේ.
නිවාස 3ක් පූර්ණ හානියට පත්ව ඇති අතර තවත් නිවාස 381කට අර්ධ හානි සිදුව තිබේ. මේ දක්වා පුද්ගලයින් 131 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
උතුරු සුමාත්‍රා ආශ්‍රිතව භූ කම්පනයක්: වෙරළබඩ ජනතාවට නිවේදන ගැන අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙයි
ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.6ක භූ කම්පනයක් සිදුව ඇතැයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ, ඒ හේතුවෙන් මෙරට වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන ගැන අවධානයෙන් පසුවන ලෙසයි.