ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ආපදා මරණ ගණන 639ක් දක්වා ඉහළට

මෙරටට බලපෑ ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 639ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 203ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

සාරාංශය

  • ආපදා මරණ ගණන 639ක්: 203 දෙනෙකු අතුරුදන්
  • නැවත දැනුම් දෙන තුරු විශාල රුධිර කඳවුරු සංවිධානය නොකරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය දැනුම් දෙයි
  • දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක නම් කෙරේ
  • පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771 දෙනෙකු පීඩාවට
  • නිවාස 5,350ක් සම්පූර්ණයෙන් විනාශ වෙයි
  • ශ්‍රී පාදස්ථානයට ගමන් කරන මාර්ගයේ පැවති අවහිරතා ඉවත් කෙරේ
  • 'සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති
  • හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න - 117

සජීවී වාර්තාකරණය

  1. රාජාංගණය, ගිරිබාව ප්‍රදේශයේ සිරවී සිටි 33 දෙනෙකු බේරා ගත් අයුරු

    රාජංගණය, ගිරිබාව ප්‍රදේශයේ ජලගැලීම්වලට හසුව සිරවී සිටි පුද්ගලයින් 33 දෙනෙකු මුදා ගැනීමේ මෙහෙයුමක් ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් සිදුවිය.

  2. කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ඇළේ පැති බැම්මක් කැඩී යාමෙන් අවදානම් තත්ත්වයක්

    උතුරු පළාතේ විශාලතම ජලාශය ලෙස සැලකෙන කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් ඇළේ පැති බැම්මක් කැඩී ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    කිලිනොච්චිය ඉරණමඩු ජලාශය වාන් ජල මට්ටම අඩි 36ක උසින් යුතු ජල ධාරිතාවකින් යුක්ත වන අතර, පවතින ජලගැලීම් තත්ත්වය සමග ජලාශයේ අඩි 36ක ප්‍රමාණය ඉක්මවා ජල ධාරිතාවක් පැවති බැවින් ජලාශයේ වාන් දොරටු සියල්ල අද (නොවැ: 29) උදෑසන විවෘත කළ බව වාරිමාර්ග නිලධාරීහු පැවසූහ.

    මේ අතර, එම වාන් ඇළේ පැති බැම්ම කැඩී යාම හේතුවෙන් ජලාශය පහත නිම්නයේ පදිංචිව සිටින කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයකින් පසුවන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

    කිලිනොච්චිය ජලාශයේ අවදානම් තත්ත්වයක් ඇතිවුවහොත් පරන්තන් සිට මුලතිව් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වනු ඇති අතර, වගා බිම් විශාල ප්‍රමාණයක් ද ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

  3. මරණ සංඛ්‍යාව 132ක් දක්වා ඉහළට: 176 දෙනෙක් අතුරුදන්

    ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    පස්වරු 2.00 වන විට වාර්තා වී තොරතුරු අනුව පුද්ගලයින්

    176 දෙනෙකු අතුරුදන්ව සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

    මේ වන විට, පවුල් 179,868කට අයත් පුද්ගලයින් 646,567 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

  4. කොළඹ නගරයේ ජල සැපයුමට කුමක් වෙයි ද?

    කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සිදුකළ අනතුරු ඇඟවීම අනුව කොළඹ නගරයේ ජල සැපයුමට යම් බාධාවක් ඇති විය හැකි බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සුනිල් රණසිංහ බීබීසී සිංහල වෙත තහවුරු කළේ ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වන විට අඹතලේ ජල පවිත්‍රාගාරය සඳහා ජලය ලබා ගන්නා ස්ථානයට බලපෑමක් එල්ල වී නොමැති හෙයින් කොළඹ නගරයට ජලය සැපයීමේ ගැටලුවක් මේ දක්වා පැන නැගි නොමැති බව ය.

    "හමුදාව එක්ක එකතු වෙලා අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ගන්නා ස්ථානයේ වැලි කොට්ට දාලා ආරක්ෂා කරන්න කටයුතු යොදලා තියෙනවා.

    ඒත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීම අනුව කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගියොත් අඹතලේ ජල පවිත්‍රාගාරයට වතුර ගන්න ස්ථානයට බලපෑමක් එල්ල වුණොත් කොළඹ නගරයට ගැටලුවක් වෙන්න හැකියාවක් තියෙනවා.

    මේ නිසා කොළඹ නගරයේ ජනතාව හැකි තරම් ජලය රැස් කර ගන්න, ඒ ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා අපි කියනවා. ඒ වගේ ම වැසි ජලය රැස් කර ගන්න අනිත් වැඩවලට.”

    “සති අන්තයේ කොළඹ නගරයට එන ජනතාව අඩු නිසා” ජනතාවගේ සහයෝගය ලැබුණහොත් තත්ත්වය කළමනාකරණය කර ගත හැකි වනු ඇතැයි ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  5. මුළු දිවයිනට ම බලපැවැත්වෙන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

    මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා පවසයි.

    බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු ඒ බව තහවුරු කළේ ය.

    පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේ අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

  6. වවුනියාවට වැසි අඩු වෙයි: ජලගැලීම් තවදුරටත්: පුද්ගලයින් 4158ක් පීඩාවට

    වවුනියාව දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයේ අඩුවීමක් සිදුව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    කෙසේ වෙතත්, එම මධ්‍යස්ථානය පවසන්නේ, ජලගැලීම් තවදුරටත් පවතිනු ඇති බව ය.

    වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 1228කට අයත් පුද්ගලයින් 4158 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

    ඉන් පවුල් 367කට අයත් පුද්ගලයින් 1279 දෙනෙකු දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත තාවකාලික රැඳවුම් ස්ථාන 18ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

  7. “අපි බෝට්ටු ගෙනල්ලා සහන සේවා ආරම්භ කරලා තියෙනවා" - මන්ත්‍රී අශෝක රන්වල

    කැලණි ගඟ පිටාර ගැලීම නිසා විපතට පත්වූවන්ට සහන සැලසීමට රජය කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පවසනවා.

    සහන කටයුතුවල නිරත වන අතරතුර බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “කැලණිගඟ දෙපස මේ වන විට අධික ලෙස පිටාර ගලලා, කැලණි ගඟ දැන් බියගම, බණ්ඩාරවත්ත හන්දිය දක්වා ගඟ ගලනවා ප්‍රධාන පරාත් එක්ක, අධික රළ පහරක් සහිතව” යනුවෙනි.

    “අපි බෝට්ටු ගෙනල්ලා සහන සේවා ආරම්භ කරලා තියෙනවා, ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සම්පූර්ණ සහය දක්වනවා වැඩවලට.”

    දැනට බියගම ප්‍රධාන කඳවුරු 6ක් පවත්වා ගෙන යන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

    මල්වාන දේවස්ථානය, ගනේවත්ත පන්සල, බියගම ප්‍රාථමික විද්‍යාලය, බෝධි රුක්ඛාරාම විහාරස්ථානය, බොල්ලෑගල ප්‍රාතමික විද්‍යාලයේ, පමුණුවිල ආශ්‍රිතව එම කඳවුරු පවත්වා ගෙන යන බව ඔහු කියා සිටියා.

    මේ වන විට 3000කට ආසන්න පිරිසක් කඳවුරුගතව සිටින බව ද අශෝක රන්වල මන්ත්‍රිවරයා කියා සිටියා.

    “කෑම බීම සැපයීම කරගෙන යනවා. ග්‍රාම සේවා වසම් 12ක කෑම පිසින ස්ථාන පවත්වාගෙන යනවා, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සමග ගම්වාසීන්ගෙත් සහය ඇතිව”

    අශෝක රන්වල මන්ත්‍රීවරයා පවතින ගංවතුර තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ, “2016 ගංවතුරට ගොඩක් කිට්ටු කරලා තියෙන්නේ දැන්” යනුවෙනි.

    කැලණි ගඟට ආසන්නව පිහිටි තම නිවසට ද ගංවතුර පැමිණ ඇති බව ඔහු සඳහන් කළා.

  8. විපතට පත්වූවන් බේර ගන්න ඉන්දියාවෙන් මුදාගැනීමේ භටයින් 80 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණෙති

    අධික වර්ෂාවෙන් සහ ජලගැලීම්වලින් විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාවේ සිට විශේෂ මෙහෙයුම් බළකායක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පළ කළ X පණිවුඩයක දැක්වෙන්නේ, කණ්ඩායම් දෙකකට අයත් භටයින් 80 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ය.

    ඊට අමතරව, සහන උපකරණ ටොන් 27ක් ද ගුවන් සහ නෞකා මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති බව එහි දැක්වේ.

  9. 'වහලේ ඉන්නකොට තුන් දෙනෙක් ගහගෙන ගියා. දුකේ බෑ. මං ඇස් වහ ගත්තා': කලාඔය මෙහෙයුම

    අනුරාධපුර - පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිටි, පසුව අසල නිවසක වහලයක් මත රැඳී සිටි පිරිස මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතී.

    එම පිරිස මුදාගැනීමේ මෙහෙයුම් සිදුවන්නේ, නාවික හමුදාවේ මැදිහත් වීමෙනි.

  10. ආපදාවන්ට ලක්ව මිය ගිය සංඛ්‍යාව 123ක් දක්වා ඉහළ යයි: 130ක් අතුරුදන්

    ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 123ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ පවසයි.

    ඔහු සඳහන් කළේ, තවත් පුද්ගලයින් 130 දෙනෙකු අතුරුදන්ව ඇති බව ය.

    මේ වන විට පවුල් 102,877කට අයත් පුද්ගලයින් 373,428 දෙනෙකු විපතට පත්ව ඇති බව ද ඔහු පැවසීය.

  11. ඉන්දීයානු ආධාර රැගත් ගුවන් යානයක් දිවයිනට

    අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද (නොවැ. 29) දින අලුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළගා වී තිබෙනවා.

    ඉන්දීයානු රජය විසින් පිරිනමන ලද සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ඉන් රැගෙනවිත් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.

  12. ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි

    උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි යි.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

  13. හෙට සිට වැසි තත්ත්වයේ අඩු වීමක්

    පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩුවීමක් හෙට (නොවැම්බර් 30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.

    'දිට්වා' [Ditwah] සුළිකුණාටුව නොවැම්බර් මස 28 දින ප.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී. 70ක් වයඹ දෙසින්, අක්ෂාංශ 9.0°N සහ දේශාංශ 80.8°E ආසන්නයේ කේන්ද්‍රගතව වී තිබුණු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

  14. අද පස්වරු 6:00 වන විට දිවයින පුරා තත්ත්වය

    ඇද හැළුණු අධික වැසි හේතුවෙන් දිවයිනේ සියලු ම දිස්ත්‍රික්ක බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    බලපෑමට ලක් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 331කි. පවුල් 61,175ක පුද්ගලයින් 219,282 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එම මධ්‍යස්ථානය සඳහන් කළේ, පුද්ගලයින් 18443 දෙනෙකු සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් වෙත යොමු කර ඇති බවයි.

    අත්තනගලු ද්‍රෝණිය, ගල් ඔය ද්‍රෝණිය, යාන් ඔය ද්‍රෝණිය, කුඹුක්කන් ඔය ද්‍රෝණිය සහ කැලණි ගං ද්‍රෝණිය සඳහා අධිඅවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

    එමෙන් ම බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනනුවර, කෑගල්ල, කුරුණෑගල, මොණරාගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යාමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කළා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අම්පාර, මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව, මාතර, වවුනියා, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක් ම ජලයෙන් යට වී ඇති බව යි.

  15. අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව නිකුත් වෙයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබෙනවා.

    එම සේවා පහතින් දැක්වෙනවා.

    1. විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා

    2. ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම

    3. රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑ ම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය

    4. මගීන් හෝ බදු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා

    5. මංමාවත්, පාලම, බෝක්කු, ගුවන් තොටුපළවල්, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව, මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගින් ගමනාගමන සේවා, සංචාරක සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වා ගෙන යාම

    6. ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවාවන්

    7. ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා

    8. සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර, ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා කේන්ද්‍රීය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රදෙහිය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලු ම සේවා, වැඩ හෝ ශ්‍රම දායකත්වය

    9. ගිලන් රථ සේවා

    10. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලු ම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු

    11. ජලය සැපයීම, විදුලි බලය, ජලාපවහනය සහ කසළ කාණු ක්‍රමය, ගිනි නිවීමේ හා ගිලන් රථය සේවය, කසළ ශෝධනය සහ කුණු ඉවත් කිරීම සඳහා යම් පළාත් පාලන ආයතනක් මගින් කරගෙන යනු ලබන යම් කාර්යභාරයක් සහ පළාත් පාලන ආයතන මගින් සිදු කරන සියලු ම සේවා

    12. වාරිමාර්ග සම්බන්ධ සියලු සේවා

    13. දුරකතන, විදුලි සංදේශ සහ මාධ්‍ය සම්බන්ධ සියලු සේවා

    14. පහත් බිම් ගොඩ ක්රිඑඑම සහ සංවර්ධනය කිරීම සම්බන්ධ සියලු සේවා

    15. කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා සම්බන්ධ සියලු සේවා

  16. කැළණි ගඟ දෙපස පුද්ගලයින් 25,000ක් ඉවත් කෙරේ

    කැළණි ගඟ ආශ්‍රිතව ඇතිව තිබෙන ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ, කොලොන්නාව, කඩුවෙල සහ සීතාවක යන ප්‍රදේශවල පුද්ගලයින් 25,000ක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න කුමාර බීබීසී සිංහල වෙත පැවසුවා.

    මෙම පිරිස් මේ වන විට ආරක්ෂිත කඳවුරුවල රඳවා ඇති බවත් ඔවුන්ට පීසූ ආහාර ලබාදීමට පියවර ගෙන ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

  17. කොළඹ පහත්බිම් අවට ජනතාව ඉදිරි පැය 24 තුළ සැලකිලිමත් විය යුත්තේ ඇයි?

  18. ශ්‍රී ලංකාවට පකිස්ථානයේත් සහය

    ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට බලපෑ සුළි සුළං තත්ත්වය සහ පෙර නොවූ විරූ අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ දරුණු කාලගුණික අර්බුදය හමුවේ, පකිස්ථාන රජය සහ ජනතාව ශ්‍රී ලංකා රජය සහ ජනතාවට සහය පළ කරන බව පකිස්ථානය පවසයි.

    ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් (විශ්‍රාමික) ෆහීම්-උල්-අසීස් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ‘ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරන අතර අවතැන් වූ දහස් ගණනක් පුරවැසියන්ට ශෝකය ප්‍රකාශ කරන,” බව ය.

    ‘ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සිදු කිරීමේදී කඩිනම් සහ සම්බන්ධීකරණ ප්‍රතිචාරයක් සහිතව ක්‍රියාශීලීව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් ගන්නා උත්සහයට පකිස්ථාන රජයේ ප්‍රශංසාව හිමි වන බවත්,

    අන්‍යෝන්‍ය ගෞරවය සහ අභියෝගාත්මක කාලවලදී ශ්‍රී ලංකාවට සහය වීම මත පදනම් වූ කාලානුරූපී මිත්‍රත්වයට පකිස්ථානය සිය කැපවීම නැවත තහවුරු කරන බවත්,’ එම නිවේදනයේ සඳහන් වේ.

    ‘ශ්‍රී ලංකාව දරා ගැනීමේ ශක්තියක් සහිත ජාතියක් බවත් මෙම ඛේදවාචකයෙන් ජය ගැනීමට නිසැකව ම ශක්තිය සහ ධෛර්යය ඔවුන් සතු බවත් පාකිස්තානය විශ්වාස කරන’ බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.

  19. පොළොන්නරුව, දියබෙදුම ප්‍රදේශයේදී ජලයෙන් වටවූ නිවසක් තුළ සිරවී සිටි කාන්තාවක සහ දැරියන් ‍දෙදෙනෙකු ගුවන් හමුදාව විසින් බේරා ගත් අයුරු

  20. උසස් පෙළ විභාගය දින නියමයකින් තොරව කල් දමයි

    උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමු බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ බීබීසී සිංහල වෙත තහවුරු කර සිටියා.

    උසස් පෙළ විභාගය පැවැත්වෙන නව දිනයන් පවතින ආපදා තත්ත්වය පහව ගිය පසු දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය කියා සිටියා.

    මේ අතර දෙසැම්බර් මස 06 වැනිදා 12 ශ්‍රේණියේ සිසු දරුවන් වෙත පැවැත්වීමට නියමිතව තිබු සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය දින නියමයකින් තොරව කල් දැමු බව ඇය සඳහන් කළේය.