මා පාසල් මිතුරියක වට්ස්ඇප් සමුහයක මෙසේ ලියා තිබුණි.
"අපේ ගෙදර නාය ගිහින්. අම්මයි අප්පච්චි විතරයි ගෙදර හිටියේ. එයාලාට කරදරයක් නෑ. ඊට පස්සේ එයාලා අපේ ලොකු අම්මලාගේ ගෙදර ගිහින්. එහෙත් පාන්දර වතුරට යට වෙලා. දැන් එතන කන්දේ ගෙදරකට ගියා කිව්වා. මොනවා උනාද දන්නේ නෑ. Contact කරගන්න විදිහක් නෑ... ගමම වතුරෙන් යට වෙලා..."
"අපේ කර උඩින් යන්න වතුර, කොහේටවත් යන්න බැරුව කොටු වෙලා ඉන්නේ, අපිව බේරගන්න කවුරුහරි, ගම්පොළ ප්‍රදේශයේ ප්‍රදේශවාසියෙකු විසින් එලෙස තමන් ජලයෙන් යටවෙමින් සිටින මොහොතක සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කොට තිබුණි.
බේරාගැනීම සඳහා වන අසීමිත ඉල්ලිම් වලින් සහ දුරකථන සහ විදුලි බිඳ වැට්ම් හමුවේ තම සමීපතමයින් හා කිසිදු අයුරකින් සම්බන්ධ වීමට නොහැකි වීමෙන් ඔවුන් සහ සම්බන්ධ වීමට සහාය පතමින් පළ කරන ලද දහසක් සමාජ මාධ්‍ය පොස්ටු හා වට්සැප් පණිවිඩ වලින් රාත්‍රීය ගෙවා දැමීමට අප සියල්ලන්ටම සිදුවිය.
අඳුර සමඟ වු නොනවතින තද සුළං සහිත වැසි තත්ත්වය රාත්‍රිය පුරා බිඳකඳු අඩු නොවුණු අතර, ආපදා කලාපයක් ලෙස නම් කර ඇති මහනුවර වෙසෙන මාගේ පවුලේ ඥාතීන්, පාසල් මිතුරන්, විශ්වවිද්‍යාල සඟයින් සහ මා ජිවිත කාලයෙන් හතරෙන් පංගුවක් ඇසුරු කළ බොහෝ දෙනෙකු පවතින ආපදා තත්ත්වයේ ගොදුරක් විය හැකි බව දැනීමෙන් හටගත් හැඟීම හමුවේ ඇමතිය යුත්තේ කාටද කොහෙටද කොහොමද යන්න පවා දුෂ්කර කටයුත්තක් විය.
සිය ආදරණියන් පිළිබඳ තොරතුරක් නැතුව සොවින් තැවෙන නිමක් නොවෙන හිතාදරයින්ගේ දුරකථන ඇමතුම් මැද ඒ සියල්ල දරා ගැනිමට මට මිනිත්තුවක් ගත විය.
ඒ අතර ම රාත්‍රීය පුරා අප බීබීසී සිංහල කණ්ඩායම නිදිවර්ජිතව අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්, බලධාරීන්, වෛද්‍ය කණ්ඩායම් වල සහය පතමින් අප වෙත ලැබෙන දහසකුත් තොරතුරු තහවුරු කරගනිමින් එක පිට එක ලැබෙන අතිසංවේදී දර්ශන හමුවේ කම්පනයට පත් වී සිටි බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂ වෙමින් තිබිණි.
අනතුරු ඇඟවීමේ නිවේදන අධි අවදානම් ත්ත්වයට යාවත්කාලීන වෙමින් තිබු අතර, එය අප කණ්ඩායමට විවේක ගැනීමට කිසිදු ඉඩක් තැබුවේ නැත.
මහජනතාවට ඉවත්වීමෙ නිවේදන දිගින් දිගට ම ලබා දෙමින් තිබුණි.
පැය කිහිපයක තාවකාලික විවේකයක් ගැනීම සඳහා අප විසින් යෝජනා කොට ගත්ත ද අප සියලුදෙනාගේ වට්ස්ඇප් සමුහ පිරි ඉතිරි යන මොහොතක ඒ ගැන නොසිතා සිටිමට නොහැකිවිය.
ඒ අතර මුළු රාත්‍රිය පුරා සිදු වූ බිඳ වැටීම් හේතුවෙන් විදුලිය නොමැතිව රැය පහන් කිරීමට අප බොහෝ දෙනෙකුට සිදුවිය.
රාත්‍රීය පුරා අපිට ලැබුණු වීඩියෝ දර්ශන, සමාජ මාධ්‍ය දර්ශන, දකින්නට සහ ඇසුණු දහසකුත් සිදුවිම්, ජනතා ඉල්ලීම් සහ ආපදා තත්ත්වයන් සැළකු විට නිල වශයෙන් වාර්තා විය හැකි ප්‍රමාණය ඉක්මවා කිසි සේත්ම ළගා විය නොහැකි ආපදා ස්ථාන සහ වාර්තා නොවිය හැකි ආපදා තත්ත්වයන් තිබිය හැකි බව අප නිගමනයයි.
මේ වනවිට වාර්තාකරුවන්ට බොහෝ ස්ථාන වෙත ළඟා වීමට හෝ තොරතුරු තහවුරු කර ගැනීමට නොහැකිව තිබේ. නැත්නම් ඔවුන්ට ඒවා වෙත ළඟා වීම ආරක්‍ෂිත තත්වයක නොපවතියි.
මුදා ගැනීමේ මෙහෙයුම් ඇතැම් තැන් වල අපහසු කටයුත්තක් ව තිබේ.
මා කාර්යාලයට පැමිණි මොහොතේ වෙනදාට සුබ උදෑසනක් යනුවෙන් මුව පිරි සිනහවකින් පිළිගන්නා අප පිළිගැනීමේ නිලධාරිනිය අද මා බඳා වැළඳ ගත්තේ කදුළු පිරි දෙනෙතිනි.
"අමමයි අප්පච්චිගෙනුයි කිසිම තොරතුරක් නෑ ඊයේ හවස ඉඳන්, ඒ දෙන්නා ඉන්නේ තනියම, මට හරි බයයි, ඒ පැත්තේම වතර දාලා, ඔයක් තියෙනවා ළඟ"
මේ මොහොතේ බොහෝ දෙනෙකු පසුවන්නේ එවන් දෙගිඩියාවකිනි.