ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ආපදා මරණ ගණන 639ක් දක්වා ඉහළට

මෙරටට බලපෑ ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 639ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 203ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

සාරාංශය

  • ආපදා මරණ ගණන 639ක්: 203 දෙනෙකු අතුරුදන්
  • නැවත දැනුම් දෙන තුරු විශාල රුධිර කඳවුරු සංවිධානය නොකරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය දැනුම් දෙයි
  • දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක නම් කෙරේ
  • පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771 දෙනෙකු පීඩාවට
  • නිවාස 5,350ක් සම්පූර්ණයෙන් විනාශ වෙයි
  • ශ්‍රී පාදස්ථානයට ගමන් කරන මාර්ගයේ පැවති අවහිරතා ඉවත් කෙරේ
  • 'සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති
  • හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න - 117

සජීවී වාර්තාකරණය

  1. දිස්ත්‍රික්ක 03ක පුද්ගල මරණ 90ක්, අතුරුදන් සංඛ්‍යාව 100 ඉක්මවයි

    දිවයිනට බලපා තිබෙන දරුණු ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට මහනුවර, බදුල්ල, අම්පාර යන දිස්ත්‍රික්කවල පමණක් පුද්ගල මරණ 90ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරු පවසනවා.

    මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් මේ වන විට පුද්ගල මරණ 50ක් වාර්තා වී ඇති බවත්, තවත් පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් වී ඇති බවත් දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත බීබීසී සිංහල වෙත කියා සිටියා.

    මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට පුද්ගල මරණ 35ක් වාර්තා වී ඇති අතර තවත් පුද්ගලයින් 28 දෙනෙකු අතුරුදන්වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

    බදුල්ල දිස්ත්‍රිකක්යේ ඇතැම් ප්‍රදේශවල සිදුවූ ආපදා පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අසීරු වී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

    මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 05ක් වාර්තා වී ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.

  2. කොළඹ ගංවතුරට මුහුණ දෙන්න රජයේ වැඩපිළිවෙළ කුමක් ද?

    මේ වන විට කොළඹට ගංවතුර අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙල කුමක් ද යන්න බිබීසී සිංහල විසින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හෙමචන්ද්‍රගෙන් විමසා සිටියා.

    “කැළණි ගඟ ආශ්‍රිතව ඉන්න ජනතාව ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඊට අමතරව, අවතැන් වන ජනතාවට රැඳෙන්න ස්ථාන නම් කරලා ඒවාට ඔවුන්ව ගෙන්වගෙන, ඉදිරි දවස් කිහිපය තුළ ආහාර සැපයීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙන්නේ,” ඇය පැවසුවා.

    එලෙස ජනතාවට අරක්ෂිතව රැඳී සිටීමට ඇති ස්ථාන මොනවා ද යන්න පිළිබඳව එහිදී මන්ත්‍රීවරියගෙන් බීබීසී සිංහල විමසීමක් කළා.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇමතීමෙන් එම විස්තර ලබා ගත හැකි බව ඇය පැවසුවා.

    “බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් වැනි ප්‍රදේශවල ජනතාව ඉවත් විය යුතුයි. ඒ අයට ලොකු අවදානමක් තියෙනවා. ඒ නිසා ඒ අය ඉන්න ප්‍රදේශවලින් ඉවත් වෙන්න කියලා අපි ඉල්ලනවා.”

    “දේපළ ආරක්ෂාව ගැන හිතලා ජනතාව ගෙවල්වලින් යන්නේ නැතිවෙන්න පුළුවන්. නමුත් දැන් හමුදාව සහ පොලිසිය සම්බන්ධ කරගෙන ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් සකස් කරමින් ඉන්නේ.”

    ඇතැම් සුරක්ෂා මධ්‍යස්ථාන වෙත යාමට ජනතාවට ප්‍රවාහන පහසුකම් ද සපයන බව මන්ත්‍රීවරිය සඳහන් කළා.

  3. පඬුවස්නුවර හා නාරම්මල ප්‍රදේශවල මේ වන විට තත්ත්වය

  4. හානි වූ වැව් බැම්මක් ආරක්ෂා කර ගැනීමට ස්වේච්ඡාවෙන් එක්වූ ප්‍රදේශ වාසීන් පිරිසක් සමත් වෙති

    කලාවැව ආසන්නයේ පිහිටි බලළුවැවේ වැව් බැම්ම මතට බෝගසක් කඩා වැටීමෙන් බැම්මට හානි සිදුවිය.

    ඒ වන විට වැවේ රළපනාවට ඉහළින් ජලය පිටාර ගලමින් තිබූ අතර, වැව් බැම්ම ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රදේශ වාසීහු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී වැලි කොට්ට තබා තාවකාලික පිළියමක් යෙදීමට පියවර ගත්හ.

    එම කාර්යයට සම්බන්ධ වූ සදීප දේශාන් බීබීසී සිංහල සේවයට සිය අත්දැකීම් විස්තර කළේ මෙසේ ය.

    “වැවට පාත් වෙලා තිබුණ බෝගහක් කඩාගෙන වැටුණා. ඒකෙන් බැම්මට හානියක් වෙලා තියෙනවා. ඒ නිසා අවදානම පාලනය කරන්න ඕන හින්ද තාවකාලික විසඳුමක් විදිහට වැලි කොට්ට ගැහුවා.

    හමුදාවෙන් නම් ආවෙ නෑ. පොලිසියෙන් විතරක් ආව දැනට. පොලිසියෙන් නම් කිසි කටයුත්තක් වුණේ නෑ. ගම්වාසීන් එකතු වෙලා තමයි පෞද්ගලික වියදම්වලින් වැලි කොට්ට ගැහුවේ.”

  5. මහවැලි ගඟ පිටාර ගැලීමෙන් මනම්පිටිය නගරයේ තත්ත්වය

  6. "නිලධාරීන්ට කියන්නේ චක්‍ර ලේඛ බාධා කර ගන්න එපා. ජනතාවට සහන සලසන්න" - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

  7. දඹුල්ල සහ මාතලේ ප්‍රදේශයේ තත්ත්වය

  8. හසලක නාය යාමකින් '5 දෙනෙක් මරුට'

    හසලක ප්‍රදේශයේ යහන්ගල කන්ද ආශ්‍රිතව සිදුවූ නාය යාමක් හේතුවෙන් පුද්ගලයන් 5 ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වනවා.

    මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පැවසුවේ එවැනි ආපදා තත්ත්වයක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබෙමින් පවතින බව ය.

  9. බුලත්කොහුපිටිය නාය යාමකින් 12 දෙනෙක් අතුරුදන්

    බුලත්කොහුපිටිය, පැලම්පිටිය ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පවුල් පහක සාමාජිකයන් අතුරුදහන් වී ඇති බවට පොලිසිය තහවුරු කරනවා.

    දැනට පුද්ගලයන් 12 දෙනෙකු ඒ හේතුවෙන් අතුරුදන්ව තිබෙනවා.

  10. ගම්පහ නගරය සහ ඒ අවට ප්‍රදේශයට ඉදිරි පැය 6 තුළ මහ ගංවතුර තත්ත්වයක්

    ඉදිරි පැය 6ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

    මෙම තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් හැකි උපරිම ආරක්‍ෂිත ස්ථානයක් කරා හැකි ඉක්මනින් ළඟා වන ලෙසටත් එම දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

  11. මොරගහකන්ද, කළු ගඟ පාර අධික වර්ෂාවෙන් බලපෑමට ලක් වූ අයුරු

  12. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් සටහනක්

    දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තම ආදරණීයයන් අහිමි වූ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් හෘදයාංග ම ශෝකය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

    X පණිවුඩයක් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, බලපෑමට ලක්වූ සියලු ම පවුල්වල ආරක්ෂාව, සැනසීම සහ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ය.

    ‘අපගේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා සමග සහයෝගීතාවයෙන්, ඉන්දියාව සාගර් බන්ධු මෙහෙයුම යටතේ සහන ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය සහය කඩිනමින් යවා ඇත. තත්ත්වය වර්ධනය වුවහොත් තවත් ආධාර සහ සහන සැලසීමට අපි සූදානමින් සිටිමු.

    ඉන්දියාවේ ‘අසල්වැසියා පළමුව’ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමු,’ යනුවෙන් ඔහුගේ සටහනෙහි දැක්වේ.

  13. රත්නපුර පුළුඟුපිටිය ජල මාපකයේ දැක්වෙන පරිදි කළු ගඟේ ජල මට්ටම අඩි 10 සීමාව ඉක්මවා යයි

  14. තුල්හිරිය MAS ඇඟලුම් කර්මාන්ත ශාලාව ජලයෙන් යටවී ඇති අයුරු

  15. ‘මම දන්නා කාලෙක මේ විදිහේ ගංවතුර තත්ත්වයක් දැකලා නෑ’

    “1978 සුළි කුණාටුවේදී පේරාදෙණියේ කන්දක් කඩා වැටිලා නායයාමක් සිදු වුණා. පේරාදෙණිය හන්දියේ ම ගම්පොළ පැත්තට හැරෙන තැන කන්දක් කඩාගෙන වැටිලා කඩ ටිකක් කැඩුණා.

    අද පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගංවතුරෙන් යට වෙලා තියෙනවා. මම දන්නා විදිහට සහ මගේ මතකයේ හැටියට, අවුරුදු 40ක රාජකාරි ජීවිතය ඇතුළත මේ විදිහට ගංවතුර තත්ත්වයක් ඇති වෙලා නෑ.

    මම විශ්වවිද්‍යාලයේ හිටියේ 80 ගණන්වල වගේ. ඊට කලින් ඉඳල ම මේ විදිහට ගංවතුර තත්ත්වයක් ඇති වෙනවා දැකලා නෑ.

    පේරාදෙණිය මල්වත්ත යට වෙන්න නම් මහවැලි ගඟ උතුරන්න ඕනේ. නමුත් මම දන්නා කාලෙක එහෙම දෙයක් වෙලා නෑ. මමත් නුවර. නමුත් නුවර නගරය මේ වගේ යට වෙලා නෑ. කලින් සුළි කුණාටු කීපයක් ඇවිත් තිබුණත් මේ තරම් වර්ෂාපතනයක් ලැබිලා නෑ.”

    - සරත් ප්‍රේමලාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්

  16. මධ්‍යම පළාතේ දුරකතන සම්ප්‍රේෂණ පද්ධතිවලට හානි වීමෙන් සබඳතා ඇණ හිටී

    ආපදා තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ දුරකතන සම්ප්‍රේෂණ පද්ධතිවලට හානි සිදුවී ඇති බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් බීබීසී සිංහලට පැවසීය.

    ඔහු සඳහන් කළේ, නුවරඑළිය, පස්සර, කඩුගන්නාව සහ වැලිමඩ යන ප්‍රදේශවල විදුලි සංදේශ පද්ධති බිඳ වැටී ඇති බව ය.

    "නුවරඑළිය, පස්සර, කඩුගන්නාව සහ වැලිමඩ කියන ප්‍රදේශවල ෆයිබර් ඔප්ටිකල් ලයින්ස්වලට හානි වෙලා තියෙනවා. ඒවා දැන් රෙපයාර් කරමින් යනවා. ගොඩක් ඒවායේ රෙපයාර් කරමින් යන්නේ. ඒත් නුවරළියේ නඩත්තු කටයුතු කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එතැන සුද්ද කරමින් යන්නේ. මේ තත්ත්වයෙන් පස්සේ දුරකතන සබඳතා යථා තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතෙනවා.

    ඒත් ගැටලුවකට තියෙන්නේ මේ ෆයිබර් ඔප්ටික්ල්ස් සම්බන්ධ වෙලා තියෙන ටවර්වලට විදුලි සැපයුම අවශ්‍ය වෙනවා. විදුලි බල මණ්ඩලයේ රැහැන් පද්ධති හානි වෙලා තියෙන නිසා විදුලි සැපයුම නැතිව මේ ටවර්වලට වැඩ කරන්න පුළුවන් දවසක කාලයක් විතර යි. මේ නිසා විදුලි සැපයුම ලැබෙනකම් යම් ගැටලුවක් තියෙනවා මේ ටෙලිෆෝන් ටවර්වලට ෆන්ක්ෂන් වෙන්න. ඒ නිසා විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරන්න.

    ඒ වගේ ම පවතින ආපදා තත්ත්වය නිසා දුරකතන ක්‍රියාකරුවන් තීරණය කරලා තියෙනවා. පසුගෙවුම් පැකේජවලට සීමාව ඉක්මවා ගියත් ඒ දුරකතන සබඳතා ඩිස්කනෙක්ට් නොකරන්න. මීට අමතරව පෙර ගෙවුම් පැකේජ තියෙන දුරකතන සබඳතාවලට 1GB දක්වා ඩේටා, SMS 250 -300 සහ රුපියල් 300 දක්වා නොමිලේ ලබා දෙන්න දුරකතන ක්‍රියාකරුවන් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා."

  17. "ප්ලීස්, අපිට උදව් කරන්න. දැන් තුන්වැනි තට්ටුවේ ඉන්නේ"

  18. කටුගස්තොට දෙසින් මහවැලි ගඟේ පිවිසුමේ මේ වන විට තත්ත්වය