ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

ආපදා මරණ ගණන 639ක් දක්වා ඉහළට

මෙරටට බලපෑ ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 639ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන් පුද්ගලයින් සංඛ්‍යාව 203ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

සාරාංශය

  • ආපදා මරණ ගණන 639ක්: 203 දෙනෙකු අතුරුදන්
  • නැවත දැනුම් දෙන තුරු විශාල රුධිර කඳවුරු සංවිධානය නොකරන්නැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය දැනුම් දෙයි
  • දිට්වා සුළි කුණාටුවේ ව්‍යසනයට ලක්වූ දිස්ත්‍රික්ක නම් කෙරේ
  • පවුල් 529,741ක පුද්ගලයින් 1,824,771 දෙනෙකු පීඩාවට
  • නිවාස 5,350ක් සම්පූර්ණයෙන් විනාශ වෙයි
  • ශ්‍රී පාදස්ථානයට ගමන් කරන මාර්ගයේ පැවති අවහිරතා ඉවත් කෙරේ
  • 'සීරුවෙන් සහ ක්‍රමානුකූලව හිස එසවීමට පොර බදිමින් සිටි රටකට මේ තත්ත්වය සුළුපටු අභියෝගයක් නොවෙයි' - ජනපති
  • හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න - 117

සජීවී වාර්තාකරණය

  1. ඉදිරි දින කිහිපයේ දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

    ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමට හැකියාවක් පවතිනවා.

    මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලා ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

    තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

  2. ආයුබෝවන්

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ වන තද වැසි ඇද හැලෙමින් තිබෙනවා.

    ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

    දැනට ගංවතුර හා නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

    ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ නිල ආයතන මගින් නිකුත් කරන අනතුරු ඇඟවීම් ඇතුළුව දිවයින පුරා සිටින අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් සහ ප්‍රදේශවාසීන් ලබා දෙන ආපදා සිද්ධි පිළිබඳ සියලු තොරතුරු මෙම සජීවී වෙබ් පිටුව ඔස්සේ බලාපොරොත්තු වන්න.