අන්තර්ජාලයේ විකිණෙන චීන දරුවන්

චීනයේ අන්තර්ජාල වෙබ් අඩවි තුළ දරුවන් විකිණීම සඳහා ප්‍රසිද්ධියේ දැන්වීම් පළ කෙරෙන බව බී බී සී ය විසින් කරනු ලැබූ පරීක්ෂණයකින් සනාථ වී තිබේ.
චීනයේ බී බී සී වාර්තාකරු මාර්ටින් පේෂන්ස් ගෙන ආ වර්තාවකයි මේ බව සඳහන් වන්නේ.
පොලිස් මෙහෙයුම් නිරතුරු සිදුවුව ද වසරකට ළමයින් විසි දහසක පමණ සංඛ්‍යාවක් පැහැර ගෙන යාමට ලක් වෙමින් දරුවන් වෙළඳාම චීනයේ විශාල ලෙස සිදු වන බවයි එමගින් හෙළිවන්නේ.
එලෙස පැහැර ගැනීමට ලක් වී අතුරුදහන් වී සිටින තම පුතු සොයමින් යන ක්සියා චෞහුවා නම් චීන පියෙකු ගේ ඒ අනුවේදනීය කතාවයි බී බී සී වාර්තාවට පදනම් වී ඇත්තේ.

පුතු සොයා සැරිසරයි
චීන පාසැලක සිය ගණනක් සිසු සිසුවියන් උදෑසන ශරීර සුවතාවය පිණිස පිටිය පුරා දුවන අතර ක්සියා චෞහුවා ඒ ළමයි දුවන ධාවන පථය පසෙකට වෙලා දෙනෙත් දල්වා ගෙන දුවන හැම දරුවෙකුම දිහා ඉතා උනන්දුවෙන් බලා සිටියි.
තම දරුවාද දැන් මේ වයසේ පසු වන බව දන්නා නිසාය ඔහු එලෙස බලා සිටින්නේ.
වසර අටකට පෙර, චෞහුවා ගේ වයස අවුරුදු පහක පිරිමි දරුවා ළමයින් පැහැර ගෙන යන කණ්ඩායමක් විසින් පැහැර ගෙන යනු ලබයි.
“මගෙ බිරිඳයි මමයි අපේ වෙළඳසැලේ වැඩ කරමිනුයි හිටියෙ. මගෙ පුතා එයාගෙ සහෝදරියත් එක්ක රසකැවිලි මිල දී ගන්න නුදුරින් තියන කඩයකට ගියා. ආපසු එන කොට ඔහුව පැහැරගෙන ගිහිං තිබුණ. මගේ දුව තනියෙන් ගෙදර ආව. ඒක අහපු මගෙ බිරිඳ සිහි නැතුව වැටුණ. මට වෙලාවක් තිබුණේ නැහැ ඇය ගැන බලන්න. ඇය රෝහලට යවල මම හැම තැනම ගියා පුතා හොයන්න. දුම්රියපළෙයි හැම තැනම බැලුව. මට මගෙ පුතා නැති ලෝකයක් ගැන හිතාගන්න බැහැ” යනුවෙන් චෞහුවා පවසයි.
එතැන් සිට චෞහුවා තමන්ගේ ජීවිත පරමාර්ථය කර ගත්තේ තම පුතු සෙවීමයි.
ඈත ටිබෙට් කඳුකරයේ ගම්මාන වල සිට චීනයේ අතිවිශාල නගර, ඈත පිටිසර දුවිලි වැකුණු මං මාවත් වලින් යුතු කුඩා ගම්මාන දක්වා ඔහු තම පුතු සොයමින් සැරි සරයි.
එසේම දරුවන් සොරකම් කිරීම පිළිබඳව ජනතාව දැනුවත් කරන ක්‍රියා ධරයෙක් ලෙස ද ඔහු කටයුතු කරමින් සිටියි.

චෞහුවා ගේ පුතු වසරකට චීනයේ දී පැහැරගෙන යනු ලබන ළමයින් විසි දහසෙන් එක දරුවෙක් පමණක් බවයි පැවසෙන්නේ.
චීනයේ පවතින දරුවන් හැදීමේ දැඩි නීති රීති වල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස දරුවන් පැහර ගැනීම සිදුවන්නේ යැයි පැවසෙන නමුත් පොලීසිය පවසන්නේ මෙලෙස පැහර ගන්නා දරුවන් හදා වඩා ගැනීම පිණිස අන්තර්ජාලයේ විකුණන බවයි.
චීනයේ හදා වඩා ගැනීම පිණිස දරුවෙක් පිලිබඳ දැන්වීම් පළකිරීම නීති විරෝධී නොවුනද නීත්‍යනුකූල වන්නේ එක දරුවෙක් පිලිබඳ දැන්වීම් පළ කිරීම පමණි.
විසිපන්දහසක දරුවෙක්
දරුවෙක් මිලදී ගැනීම කෙතරම් පහසුදැයි බැලීම පිණිස කළ පරීක්ෂණයක් පිළිබඳවද බීබීසී වාර්තාකරු සඳහන් කරයි.
“අන්තර්ජාලයේ සැකමුසු පළකිරීම් අතර අපි දැක්ක දරුවෙක් විකිණීම සඳහා තිබුණු එක දැන්වීමක්. දැන්වීමේ කියන විදියට මේ ගැහැණු දරුවා මාස අටක් වයසයි, නිරෝගීයි. පවුම් විසිපන්දහසක මුදලකට ඇයව මිල දී ගන්න පුළුවන්. ගැනුම් කරුවෙක් විදියට අපි මෙම විකිණුම් කරුවට දුරකථන ඇමතුමක් දුන්න. වීඩියෝ දුරකථන ඇමතුමේ කාන්තාවක් දරුවා අතැතිව පෙනී සිටිය. ඒ දරුවගේ පුංචි මුහුණ ඉතා හොඳින් පෙනුන. දරුවා අඬනවා. විකුණුම්කරුවා කිව්වේ ඇය දරුවන් තුන් දෙනෙක් ඉන්න සැමියා නැති කාන්තාවක් කියල. ඇය කිව්වෙ ඇයට දරුවන් පෝෂණය කිරීමේ හැකියාවක් නැහැ කියල. අපි මේ තොරතුරු අදාළ බලධාරීන් ට දුන්න. එත් මේක එකම සිදුවීම නොවන බවයි අපිට දැන ගන්න ලැබුණේ” යනුවෙන් ඔහු සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty
රෝහල් තුළදීමත් මෙලෙස දරුවන් විකිණීම සිදුවන බවයි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ. රහසින් පටිගත කළ හඬ පටයක දී දොස්තරවරිය පවසන්නේ ළදරුවන් විකිණීම සඳහා ඇති බවයි.
“පවුල් සංවිධාන නීති වලට පටහැණි ව ලැබෙන දරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. පවුල් දෙකක් අතරෙ ගිවිසගත් ගනුදෙනුවක් විදියට උපතේදී මේක කරන්න පුළුවන්. කවුරුවත් දැනගන්න අවශ්‍ය නැහැ” යනුවෙන් දොස්තරවරිය පවසයි.
දරුවන් පැහැර ගැනීම පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස පාසැලේ දී ළමයින් පැහැරගැනීම පිලිබඳ වීඩියෝවක් පෙන්වන චෞහුවා පවසන්නේ ළමයි විකුණන අයට පමණක් නොව ළමයින් මිල දී ගන්නා අයටත් දඬුවම් කළ යුතුයි බවයි.
එසේ කළහොත් මෙම අමානුෂික වෙළඳාම නවතනු හැකිවේය යනු චෞහුවා ගේ විශ්වාසයයි.

























