අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අපරාධයක් සිදු කිරීමේ සිද්ධිය: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

anuradhapura hospital

ඡායාරූප මූලාශ්‍රය, Google

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මහත් ආන්දෝලනයකට තුඩු දුන් අනුරාධුපර ශික්ෂණ රෝහලේ ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී බරපතළ ලෙස ලිංගික අපරාධයකට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාස 6කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි, දැනට දැඩි ඇප කොන්දේසි මත මුදා හැර සිටින හිටපු යුද හමුදා සෙබෙළාට එරෙහිව වෙන් වෙන් වශයෙන් අධිචෝදනා දෙකක් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක ඉදිරිපිටදී භාර දෙනු ලැබී ය.

ඒ, නීතිපතිවරයා නියෝජනය කරමින් අනුරාධපුර මහාධිකරණයේ රජයේ අධිනීතිඥ ඔමායා නාගොඩවිතාන විසිනි.

1995 අංක 22 සහ 2006 අංක 16 දරන (සංශෝධිත) දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව සහ, 1995 අංක 22 දරන (සංශෝධන) පනත මගින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 364 (1) වගන්තිය ප්‍රකාරව මෙලෙස සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ.

අධිචෝදනා කියවා භාර දීමෙන් අනතුරුව, පැමිණිලි පාර්ශවය තමන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එකී චෝදනාවන්ට තමන් නිවැරදිකරු බවත් විත්තිකරු ඔහුගේ නීතිඥවරයා මගින් මහාධිකරණයට දැනුම් දුන්නේ ය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ පුහුණු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක බරපතළ ලෙස ලිංගික අපරාධයකට ලක් කළ බවට මෙසේ අනුරාධපුර මහාධිකරණය්දී අධිචෝදනා භාර දෙනු ලැබුවේ, ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි කේ. බී. මධුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළෙකු මෙන් ම හිටපු චීවරධාරියෙකුට ය.

මෙම අපරාධයට අදාළව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන මූලික නඩු විභාගයක් නොපවත්වා විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා ඍජුව ම අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ, මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකමිනි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර, අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශානි සෙනෙවිරත්න, එම කාර්යංශයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද යන අය සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්, සිවිල් පුද්ගලයින් ඇතුළු 42 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

ජංගම දුරකතනයක්, පිහියක්, ඇඳුම් කිහිපයක්, ඇඳ ඇතිරිල්ලක්, කෙස් සාම්පල කිහිපයක්, රුධිර සාම්පල අධිකරණ වෛද්‍ය වාර්තාවක් ඇතුළු කිහිපයක් මෙම නඩුවේ නඩු භාණ්ඩ ලෙස නම් කර තිබේ.

මෙම නඩුව එළඹෙන ජූලි මස 20 දින පළමු වරට විභාගයට ගැනීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක, එදිනට සාක්ෂි ලබා දීමට අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින්, පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කෙරිණි.

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු අධිචෝදනා ගොනු කළේ, 2026 මැයි මස 22 දා ය.