'අගමැති ධූරයෙන් ඉවත්වීමෙන් පසු මගේ ජීවිතයේ වැදගත් ම දේ වෙනුවෙන් කැපවෙනවා': කියර් ස්ටාර්මර්ගේ ඉල්ලා අස්වීමේ සම්පූර්ණ කතාව

වීඩියෝ ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කරමින් සිදු කළ සම්පූර්ණ කතාව
Published
කියවීමේ කාලය: මිනිත්තු 4

කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරමින් සිදු කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.

ස්තූතියි. ස්තූතියි. මීට වසර දෙකකට පෙර මේ වීදියේ ඉහළට ඇවිද ගිය අවස්ථාව මගේ ජීවිතයේ ආඩම්බර ම අවස්ථාව යි. නව කම්කරු රජයක්. වසර 14කට පසු බිහිවූ පළමු කම්කරු රජය. වසර ගණනාවක කලකිරීම් සහ බලාපොරොත්තු සුන්වීම්වලින් පසුව අපේ රටේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළුණා.

මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත යහපත් අතට හැරවීමේ අවස්ථාවක් හිමි වුණා. ඒකට තමයි මම දේශපාලනයට ආවේ. ඒ තත්ත්වයට ළඟාවීමට පැමිණි ගමන පහසු වුණේ නැහැ.

මීට වසර 6කට පෙර මට දේශපාලනික, මූල්‍යමය සහ සදාචාරමය වශයෙන් බංකොලොත් වූ කම්කරු පක්ෂයක් උරුම වුණා. මට ගොඩක් අය නිතර ම කිව්වා මගේ පක්ෂය ඉවරයි කියලා.

කියර් ස්ටාර්මර් සහ බිරිඳ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කියර් ස්ටාර්මර් සිය බිරිඳ සමග...

මහ මැතිවරණයේදී අතිබහුතර බලයක් ලබා ගැනීම තියා සාමාන්‍ය බහුතරයක් ලබා ගැනීම කළ නොහැකි දෙයක් බව ඉතිහාසයේ අපව නම් කර තිබුණා. ඒත් අපි පක්ෂය වෙනස් කරපු නිසා ඒ මිනිස්සු වැරදියි කියලා ඔප්පු කළා.

යුදෙව් විරෝධී විෂ ඉවත් කිරීම, ආර්ථිකය, ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්වාසය නැවත ඇති කරන්න හැකි වුණා.

නැවත වරක් අපේ ජාතික ධජයට එරෙහිව නොව ඊට පක්ෂපාතීව අභිමානයෙන් නැගී සිටි පක්ෂයක් බවට පත්වුණා. පක්ෂය වෙනස් කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කළේ, තනි අරමුණක් ඇතුව යි. ඒ, බලය සඳහා බලය ලබා ගැනීම නොව බ්‍රිතාන්‍යය වඩා යහපත් ලෙස වෙනස් කිරීම සඳහා යි.

සෑම කෙනෙකුට ම ගරු කරමින් සියලු දෙනාට වටිනාකමක් දෙමින් සාධාරණ රටක් ගොඩනැගීමට අපි උත්සහ කළා. වරප්‍රසාද ලත් සුළු පිරිසකට පමණක් නොව සැමට ධනය සහ අවස්ථාව ලබා දීම අපේ අරමුණ වුණා. ඒ වගේ ම අපි අවුරුදු දෙකක් තුළ ඉටු කර ඇති දේ ගැන බලන්න.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අපගේ සම තත්ත්වයේ පසු වන වෙනත් රටවලට වඩා ශක්තිමත්, වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ඇති කළා. අපි බලයට පත් වූ දා සිට සෑම මාසයක ම උද්ධමනයට වඩා වේගයෙන් වැටුප් වැඩි වුණා. ආයෝජන සුරක්ෂිත යි, යටිතල පහසුකම් ඉදිවෙමින් පවතිනවා. වසර 17ක් පුරා ජාතික සෞඛ්‍ය සේවයේ පොරොත්තු ලේඛන අඩු කිරීමත් සමග සෞඛ්‍ය සේවයේ අඩුපාඩු වේගවත්ව අවම කළා.

පරම්පරාවක් පුරා කම්කරුවන් සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම්වල විශාලතම දියුණුවක් ඇති කළා. සීතල යුද්ධයෙන් පසු ආරක්ෂක වියදම්වල විශාලතම නංවාලීම. අනාරක්ෂිත බෝට්ටුවලින් එක්සත් රාජධානියට පැමිණීම වැළැක්වීම, සරණාගතයින් නේවාසිකව සිටින හෝටල් වැසීම, තරුණ තරුණියන් සමාජ මාධ්‍යවලින් ආරක්ෂා කිරීම සහ දරුවන් මිලියන භාගයක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට මා ගත් තීරණ නිසා හැකි වුණා.

බ්‍රිතාන්‍යය නැවත වරක් විනීතභාවය, ගෞරවය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීමත් සමග ලෝකයේ අපගේ කීර්තිය යළිත් ගොඩ නැගුණා. වෙළෙඳ ගාස්තු සුරක්ෂිත කිරීම, යුක්රේනය වෙනුවෙන් නැගී සිටීම, අපගේ වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම සහ යුරෝපයේ අපගේ මිත්‍ර පාක්ෂිකයින් සමග අපගේ සම්බන්ධතා නැවත ගොඩනඟා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළා.

කම්කරු රජයක් විසින් පොරොන්දු දෙන ලද වෙනසක්, කම්කරු රජයක් සටන් කර ලබාගත් වෙනසක්. කම්කරු රජයක් සැබෑවට ම ක්‍රියාත්මක කර ලබා දුන් වෙනසක් ඇති කළා.

නමුත් දැන් අසන ප්‍රශ්නය කම්කරු පක්ෂය වෙනස් කිරීමටත්, බලයට පත්වීමටත්, මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමේ අත්‍යවශ්‍ය කාර්යය ආරම්භ කිරීමටත් අපට හැකි වුණා. ඒ ප්‍රශ්නවලට දැනි පිළිතුරු ලැබී තිබෙනවා.

අපේ පක්ෂය දැන් අහන ප්‍රශ්නය තමයි ඊළඟ මහ මැතිවරණයට අපිව ගෙනියන්න හොඳ ම තැන ඉන්නේ මම ද කියන එක. ඒ ප්‍රශ්නයට මගේ පාර්ලිමේන්තු පාර්ශ්වයේ පිළිතුර මම ලබාගෙන තිබෙනවා. ඒ වගේ ම මම ඒ පිළිතුර හොඳ කරුණාවෙන් පිළිගන්නවා.

මා ගන්නා සෑම තීරණයක් ම ගන්නේ, මා ආදරය කරන රටට මුල් තැන දෙමින්. ඒ නිසා මම කම්කරු පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත් වෙනවා. මම අද උදයේ රජතුමාට කතා කරලා මගේ තීරණය දැනුම් දුන්නා.

ජූලි 9 වන දින නාමයෝජනා විවෘත කර ගිම්හාන විවේකයෙන් අවසන් වන පරිදි කාලසටහනක් සකස් කරන ලෙස මම කම්කරු පක්ෂයේ ජාතික විධායක කමිටුවෙන් ඉල්ලා සිටිනවා. තරගයක් සම්බන්ධයෙන් ගත් කල, සැප්තැම්බර් මාසයේදී පාර්ලිමේන්තුව නැවත පැමිණීමට පෙර නව නායකයෙකු සිටින බව එමගින් සහතික කරනු ඇති.

නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීම අවසන් වන තුරු මම අගමැති ධූරයේ කටයුතු කරනවා. ඒ වගේ ම විධිමත් ලෙස බලය පැවරීම සහතික කිරීමට මට කළ හැකි සෑම දෙයක් ම මම කරනවා.

මීට වසර දෙකකට පෙර මට උරුම වූ බ්‍රිතාන්‍යයට වඩා ශක්තිමත් සහ සාධාරණ, ඉදිරි අභියෝගවලට වඩා හොඳින් සූදානම් වූ සහ ලේබර් පක්ෂයට දෙවන ධුර කාලය සහතික කිරීමට වඩා හොඳ බ්‍රිතාන්‍යයක් ඔවුන්ට උරුම වන බව දැනගෙන, මගේ අනුප්‍රාප්තිකයාට මගේ පූර්ණ සහ නිසැක සහය ලබා දෙනවා.

ඇදහිය නොහැකි කැපවීම, සේවය සහ සහයෝගය වෙනුවෙන් පසුගිය වසර හයක් හෝ ඊට වැඩි කාලයක් මගේ පැත්තේ සිටි මිතුරන් සහ සගයන් සියල්ලන්ට ම ස්තූති කිරීමට මට අවශ්‍ය යි.

රාජ්‍ය සේවය සඳහා තම ජීවිතය කැප කරන විශිෂ්ට අංක 10 කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ අපේ රටේ සුවිශේෂී සිවිල් සේවයට මම ස්තූතිවන්ත විය යුතු යි.

මම රටේ ඉහළ ම රැකියාවෙන් ඉවත් වී ගියාට පසු මම මගේ ජීවිතයේ වැදගත් ම කාර්යය වෙනුවෙන් වැඩි කාලයක් ගත කරනවා. ඒ තමයි, හොඳ සහ නරක කාලවලදීත් මගේ පැත්තේ නොසැලී සිටි මගේ සුන්දර බිරිඳ වික් වෙනුවෙන් හොඳ ම ස්වාමිපුරුෂයා ලෙස කටයුතු කිරීම සහ මගේ ආඩම්බරය සහ ප්‍රීතිය වන මගේ ලස්සන දරුවන්ට මට කළ හැකි හොඳ ම ආකාරයෙන් හොඳ ම පියා වීම.

ගොඩක් ස්තුති යි.