මානසික සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් වැඩිහිටි නිවාසයක රැඳවිය හැකි ද? ප්‍රමිතියෙන් යුතු සුරැකුම් නිවාසයක් හඳුනාගන්නේ කෙසේ ද?

අඟුරුවාතොට 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානය
Published
කියවීමේ කාලය: මිනිත්තු 7

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් රඳවා සිටි ආයතනයේ ඇති වූ ගින්නෙන් රෝහල්ගතව සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මේ වන විට මිය ගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 13ක් බවට පත්ව තිබේ.

මෙම සිද්ධියෙන් පසු සුරැකුම් මධ්‍යස්ථානවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සංවාදයක් ගොඩ නැගී ඇත.

මේ අතර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ බීබීසී සිංහල වෙත පැවසුවේ, නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව ය.

වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි මේ වන විට සකස් කර අවසන් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බවත්, පළාත් සභා සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙම රෙගුලාසි ගැසට් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

නිසි ප්‍රමිතිය අනුව පවත්වාගෙන යන සුරැකුම් මධ්‍යස්ථානයක් හඳුනාගන්නේ කෙසේ ද?

කිසියම් පවුලක සාමාජිකයෙකු වැඩිහිටි නිවාසයකට භාර දීමට පෙර එම පුද්ගලයාගේ භාරකරුවන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බීබීසී සිංහල වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චතුර මිහිදුම්ගෙන් විමසීමක් කළේ ය.

එහිදී ඔහු පැවසුවේ, යම්කිසි පුද්ගලයෙකු වැඩිහිටි නිවාසයකට ඇතුළත් කිරීමට පෙර එය ලියාපදිංචි ස්ථානයක් ද යන්න පිළිබඳ කරුණු තහවුරු කර ගත යුතු බව ය.

"මුලින් ම බලන්න ඕන ඒ වැඩිහිටි නිවාසය රජයේ ලියාපදිංචි එකක් ද කියලා. එතකොට වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ, පළාත් සමාජ සේවා එකේ ලියාපදිංචි කරල ද කියලා බලන්න ඕන. අපි කියලා තියෙන්නේ එහෙම ලියාපදිංචි කරපු එක ප්‍රදර්ශනය කරල තියෙන්න ඕන කියලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි මහ ලේකම් කාර්යාල නිලධාරියාගෙන් වගේ ම සමාජ සේවා නිලධාරීන්ගෙන් අහලා බලන්න පුළුවන් වැඩිහිටි නිවාසය ලියාපදිංචි එකක් ද කියලා.

ඇත්තට ම ලියාපදිංචි එකක් නම් ඒ කියන්නේ අපේ රෙගුලාසි අනුව තියෙනවා කියන එක යි. අනෙක් පැත්තෙන් ගාස්තු ගැන ගත්ත ම ඒ වැඩිහිටි නිවාසය ලියාපදිංචි කරනකොට අපි අහනවා අය කරන ගාස්තුව සම්බන්ධයෙන්. සමහර නොමිලේ කරන අයත් ඉන්නවා. ගොඩක් සමාජ මාධ්‍ය හරහා පෙන්නලා කරන දේවල්වල හංගල කරන දේවල් එහෙම තියෙනවා. මුලින් ම ඇතුළත් කරන්න කලින් කරන්න ඕන ලියාපදිංචි එකක් ද කියලා බලන එක," ඔහු පැවසීය.

මානසික සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් සුරැකුම් නිවාසයක රඳවන්න පුළුවන් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි 'සෙනෙහසේ කැදැල්ල' සුරැකුම් නිවාසයේ මානසික ආබාධ සහිත පුද්ගලයින් 62 දෙදෙනෙකු සිටි බවට වැඩිහිටි මහ ලේකම් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව තිබිණි.

ඒ අනුව, මානසික ආබාධ සහිත පුද්ගලයින් සහ වැඩිහිටි පුද්ගලයින් එක ම ස්ථානයක රඳවා තැබීමට හැකියාවක් තිබේ ද යන්න පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දෙමින් වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් කියා සිටියේ එවැනි අය වෙන වෙන ම රඳවා තැබිය යුතු බව ය.

''මේ සිදුවීම වුණ ස්ථානය වැඩිහිටි නිවාසයක් කියලා නම දාලා තිබ්බට එතැන වැඩිහිටි අය වගේ ම මානසික ආබාධ තියෙන අයත් ඉඳලා තියෙනවා. ඇත්තට ම මේක මානසික ආබාධිත අය රැක බලා ගන්න තැනක්.

අපි වැඩිහිටියන් කියලා හඳුන්වන්නේ අවුරුදු 60ට වැඩි අය යි. සාමාන්‍යයෙන් වයසත් එක්ක සමහර වැඩිහිටියන්ට යම් විදිහේ මානසික ගැටලු තත්ත්වයන්ට පත්වෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි නිවාසවල එහෙම වයසට යද්දී සාමාන්‍යයෙන් මානසික ගැටලු ඇති වෙන අයට ඒ අවශ්‍ය මනෝවෛද්‍ය උපදේශන වගේ ම ප්‍රතිකාර ලබා දෙන්න ඕන.

හැබැයි සමහර පුද්ගලයින් ඉන්නවා වයසින් පොඩි වුණාට එයාලා මානසික ආබාධවලින් පෙළෙන අය. ඒ අය රඳවන්න ඕන මානසික ආබාධ සහිත අය රඳවා සිටින නිවාසවල යි. ඒ අයට අවශ්‍ය මානසික ප්‍රතිකාර රෝහල් හරහා ලබා දෙන්න අවශ්‍ය යි. මේ කටයුතු ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න සමාජ ආරක්ෂණ නිලධාරීන්, වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කරන්න පුළුවන්," ඔහු පැහැදිලි කළේ ය.

ගිනි ගැනීමට ලක්වූ 'සෙනෙහසේ කැදල්ල' රැඳවුම් මධ්‍යස්ථානයේ බිත්තියක අලවා තිබු මානසික රෝග සම්බන්ධයෙන් කරුණු ඇතුලත් පෝස්ටරයක්.
ඡායාරූප ශීර්ෂ වැකිය, ''මේ සිදුවීම වුණ ස්ථානය වැඩිහිටි නිවාසයක් කියලා නම දාලා තිබ්බට එතැන වැඩිහිටි අය වගේ ම මානසික ආබාධ තියෙන අයත් ඉඳලා තියෙනවා. ඇත්තට ම මේක මානසික ආබාධිත අය රැක බලා ගන්න තැනක්."

'දොස්තරලා කිව්වා ළමයව බලා ගන්න බැහැ කියලා'

මේ අතර, අඟුරුවාතොට සෙනෙහසේ කැදැල්ල සුරැකුම් මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් ජීවිතක්ෂයට පත්වූ කාන්තාවකගේ පියා වන මොරගහහේන ප්‍රදේශයේ පදිංචි පී. සිවකුමාර බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, මානසික ආබාධයකින් පෙළුණු තම දරුවා මුල්ලේරියාව රෝහලට රැගෙන ගිය ද එහි සිටි වෛද්‍යවරුන් ඇයව රැකබලා ගැනීමට නොහැකි බවට පැවසූ බව ය.

"මගේ දුවගේ නම සන්දීපා සෙව්වන්දි. එයාව මුල්ලේරියාව රෝහලටත් ගෙනිච්චා. දොස්තරලා කිව්වා මෙයාව ඔයාලට බලා ගන්න බෑ, ටික කාලෙකට හරි ළමයව කොහාට හරි දාලා හදා වඩා ගන්න කියලා. ඊට පස්සේ තමයි මගේ නෝනා රට ගියේ. එයා තමයි මේ තැන නොම්බරේ හොයාගෙන මට කිවේවේ එයා සල්ලි ගෙවන්නම්. ඔයා ගිහින් මෙතනට භාර දෙන්න කියලා. අපි මුලින් ම 70,000ක් දීලා දරුවව ඇතුළත් කළා. ඊට පස්සේ මාසෙට රුපියල් 35,000 ගාණේ ගෙව්වා. මාස්පතා මම එනවා දරුවාව බලන්න. මෙතන ඉන්නේ අසරණ අය. මමත් පුළුවන් විදියට අනිත් අයටත් උදව් කරනවා මෙහෙ ඇවිල්ලා. මම කුලී වැඩ කරන්නේ. නෝනා දුක්මහන්සියෙන් එවන සල්ලි වියදම් කළේ දුව වෙනුවෙන්," ඔහු පැවසුවේ ය.

'මේකට සියලු දෙනා එකතු වෙන්න ඕනෙ'

වැඩිහිටි පුද්ගලයින් මෙන් ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සමග කටයුතු කිරීමේදී එක් ආයතනයකට පමණක් වගකීමක් දැරිය නොහැකි බවත්, එය සාමූහික ප්‍රයත්නයක් දැරීමට අවශ්‍ය කාර්යයක් බවත් වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසීය.

"මේ වැඩසටහන්වලදී එක ආයතනයකට විතරක් වගකීම් පවරන්න බැහැ. මේකෙදි නිරීක්ෂණ මට්ටම හරියට ම තියෙන්න ඕන. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විතරක් නෙමෙයි, MOH එක සම්බන්ධ වෙන්න ඕන, පොලිසිය සම්බන්ධ වෙන්න ඕන, පළාත් පාලන ආයතනය සම්බන්ධ වෙන්න ඕන. මොක ද ඒ තැන්වල ඉඩ පහසුකම්, වැසිකිළි පහසුකම් වාගේ ඔක්කොම දේවල් බලන්න ඕන. හැමෝගෙ ම එකතුවෙන් මේක වෙන්න ඕන.

වැඩිහිටි රැඳවුම් නිවාස, වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙන්න ඕන, ආබාධිත පුද්ගලයින් රඳවන නිවාස ආබාධිත මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන්න ඕන. හැබැයි එතැනට එන්න කලින් මේ ක්‍රියාවලියේදී පළාත් සභාව හරහා තමයි සිද්ධ වෙන්නේ. මේකේ බලය තියෙන්නේ මධ්‍යම රජයට විතරක් නෙමෙයි පළාත් සභාවටත් එක්කයි," ඔහු පැවසීය.

'සෙනෙහසේ කැදැල්ල' හිමිකරුට අයත් තවත් වැඩිහිටි රැඳවුම් නිවාසයක් ගැන තොරතුරු

මේ අතර, ජූනි මස 03 වන දා ගිනි ගැනීමට ලක්වූ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හිමිකරු විසින් පවත්වාගෙන යනු ලබන තවත් රැඳවුම් මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා පැවසීය.

දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව එම හිමිකරුට අයත් තවත් රැඳවුම් මධ්‍යස්ථානයක් මිල්ලනිය ප්‍රදේශයේ ම පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවත්, ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව එම රැඳවුම් මධ්‍යස්ථානය පිළිබඳව වැඩිදුර කරුණු සොයා බලන බවත් ඔහු සඳහන් කළේ ය.

ගිනි ගැනීමට ලක්වූ අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ හිමිකරු වන ඉසුරු අනුෂ්ක පෙරේරා නමැත්තා ජූනි මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජුනි 04) නියෝග කළේ ය.

වැඩිහිටි පුද්ගලයෙකු ඇදක වාඩිවී සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පවතින දත්ත අනුව ලියාපදිංචි නොවූ වැඩිහිටි නිවාස 308ක් ක්‍රියාත්මක වන බව වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චතුර මිහිදුම් පැවසීය

ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස 308ක්

මේ අතර, වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ මේ වන විට ඇති දත්ත අනුව ලියාපදිංචි නොවූ වැඩිහිටි නිවාස 308ක් ක්‍රියාත්මක වන බව එහි අධ්‍යක්ෂක චතුර මිහිදුම් අනාවරණය කළේ ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වැඩිහිටි නිවාස ලියාපදිංචි කිරීම සිදුකරන්නේ අදාළ පළාත් සභා හරහා ලබාදෙන නිර්දේශ මත බව ය.

"දැන් අපි ආයතන ලියාපදිංචි කරන්නේ, 2012 තියෙන නීති යටතේ යි. ඒක යටතේ යි මේ ලියාපදිංචි වීම් සිදුකරන්නේ. අපේ ඇප්ලිකේෂන් එකේ මේ ලියාපදිංචි වෙන අය එන්න ඕන පළාත් සභාවේ නිර්දේශයත් එක්ක යි. පළාත් සභා ප්‍රඥප්තිය යටතේ එයාල ලියාපදිංචි වෙන්නත් ඕන. උදාහරණයක් හැටියට දැන් ලියාපදිංචි කිරීම් දෙකක් සිද්ධ වෙනවා. අලුත් රෙගුලාසි බලාත්මක වුණා ම තැන් දෙකක ලියාපදිංචි වෙන එක අයින් කරන්න යි හදන්නේ.

දැන් අපි කියන්නේ වැඩිහිටියන් 05 දෙනෙකුට වඩා ඉන්නවා නම් ලියාපදිංචි වෙන්න ඕන කියල නේ. අලුත් රෙගුලාසිවලදී අපි හදලා තියෙන්නේ මේ වගේ දෙයක් පටන් ගන්න කලින් ම ලියාපදිංචි වෙන්න ඕන කියල යි.

අපි ළඟ දැනට වැඩිහිටි නිවාස 456ක ලිස්ට් එකක් තියෙනවා. හැබැයි ඒ ගාන සමහර වෙලාවට ඊට වඩා වැඩි වෙන්න ඕන. දැනට අපි යටතේ ලියාපදිංචි වෙලා තියෙන්නේ නිවාස 148ක් විතර යි. ඒවත් පළාත් සභා හරහා ඇවිත් තියෙන්නේ," ඔහු සඳහන් කළේ ය.

මේ අතර වැඩිහිටි නිවාසයක් ලියාපදිංචි කිරිමේදී සුදුසුකම් කිහිපයක් සපුරාලිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

"වැඩිහිටි නිවාසයක් ලියාපදිංචි කරන්න කලින් යම් ක්‍රමවේද සහ සුදුසුකම් තියෙනවා සපුරන්න. උදාහරණයක් හැටියට, වැඩිහිටි මහ ලේකම් කාර්යාලය කුලී පදනමින් ලබා ගන්න ස්ථානවල වැඩිහිටි නිවාස පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. සමහර අය රෙන්ට් එකට තැන් අරගෙන එක එක කාලවලදී වැඩිහිටි නිවාස වෙන වෙන තැන්වලට අරන් යනවා. ඒක කරන්න බැහැ නේ. අපි විශේෂයෙන් ම ඒ අයගේ ගිණුම් විස්තර එහෙම ඉල්ලනවා. ආධාර එහෙම ලැබුණ ද කියලා එහෙම බලනවා. මේකට ගොඩක් දෙනෙක් ඒ නිසා කැමති නැහැ," ඔහු පැවසුවේ ය.

මේ අතර, ගිනි ගැනීමට ලක්වූ 'සෙනෙහසේ කැදැල්ල' නමින් පවත්වාගෙන ගිය සුරැකුම් නිවාසයේ ආරක්ෂාව සහ පහසුකම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීමට මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදී බීබීසී සිංහල උත්සහ දැරුව ද, මෙම ලිපිය පළ කරන අවස්ථාව වන තෙක් කිසිදු නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.