T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: ශ්‍රී ලංකා කණ්ඩායමේ නිහඬ වීරවරිය කෞෂිනී නුත්‍යාංගනා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකාව කෞෂිනී නුත්‍යාංගනා ය.
ජූනි මස 16 වන දා ලෝක ශුර නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව වාර්තා කළ සුවිශේෂී ජයග්‍රහණයේ නිහඬ වීරවරිය වූයේ ඇයයි.
එම තරගයේදී කඩුලු රකින්නියක් ලෙස නවසීලන්ත පිතිකාරිණියන් තිදෙනෙකු දවා ගැනීම සඳහා සිය දායකත්වය දැක්වූ ඇය නිලක්ෂිකා සිල්වා සමග එක්ව දක්ෂ පිතිහරඹයක ද නිරත වූවා ය.
පවුල් පසුබිම
එදිරිසූරිය මොහොට්ටිලාගේ කෞෂිනී නුත්‍යාංගා සේරම් සෙනවිරත්න 2002 වසරේ අගෝස්තු 5 වන දා කොළඹදී උපත ලැබුවා ය.
වැඩිමල් සහෝදරියන් දෙදෙනෙකු සහ වැඩිමල් සොහොයුරෙකුගෙන් යුතු වූ පවුලේ බාලයා ඇයයි. කෞෂිනීගේ පවුලේ සාමාජික සාමාජිකාවන් වැඩි පිරිසක් ක්‍රීඩාවට දායකත්වය ලබා දී තිබේ.
ඇගේ මව පාසල් සමයේදී ක්‍රීඩා කිහිපයක ම නිරත වී ඇති අතර පියා මලල ක්‍රීඩකයෙකු වේ. ඇයගේ වැඩිමහල් සහෝදරිය මලල ක්‍රීඩිකාවක වන අතර ඇයගේ සහෝදරයා ද ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී තිබේ.
කොටහේන රෝමානු කතෝලික බාලිකාවෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වන්නේ රන්දිකා ගල්හේනගේ මග පෙන්වීම යටතේ ය. ඇය පිතිකාරිණියක ලෙස ද දක්ෂතා දක්වන්නීය.
ක්‍රිකට් ක්‍රීඩාවට ඇති දක්ෂතාව හේතුවෙන් ම එම ක්‍රීඩාවේ ඉදිරියෙන් ම සිටි බාලිකා පාසලක් වන නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළු වීමේ අවස්ථාව කෞෂිනීට හිමි විය. එහිදී ඇගේ දක්ෂතා ඔප්නැංවුණේ දිනේෂ් වීරසිංහ සහ ලලංග රාජපක්ෂ යන පුහුණුකරුවන් යටතේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ක්‍රිකට් ක්‍රීඩාවේදී දක්වා ඇති දස්කම්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෞෂිනී පාසල් ක්‍රිකට් තරග පිටියේ කැපී පෙනෙන ක්‍රීඩිකාවක වූවා ය.
වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් සීමිත පන්දුවාර බාලිකා ක්‍රිකට් තරගාවලියේ ඉනිමකදී වැඩි ම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩිකාව ලෙස ඇය වාර්තාවක් පිහිටවූයේ නොදැවී ලකුණු 374ක් රැස් කරමිනි. පසුව එම වාර්තාව විශ්මි ගුණරත්න විසින් බිඳ දමන ලදී.
ජාතික මට්ටමට ඇය රැගෙන එන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න ය.
එස්. කැපිටල්, කෝල්ට්ස්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම, ශ්‍රී ලංකා කාන්තා A ක්‍රිකට් කණ්ඩායම, මහනුවර දිස්ත්‍රික් කාන්තා කණ්ඩායම සහ SLC Blue women ඇතුළු කණ්ඩායම් රැසකට ක්‍රීඩා කරමින් කෞෂිනී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළා ය.
2022 වසරේ ඔක්තෝබර් දෙවන දා එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව බංගලාදේශයේදී ඇය විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගත්තා ය. ඒ, ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ය. ඒවන විට ඇගේ වයස අවුරුදු විස්සකි.
කෞෂිනී මේ වනවිට විස්සයි 20 ජාත්‍යන්තර තරග 15කට සහභාගි වී ඉනිම 11කදී ලකුණු 85ක් රැස් කර ඇත.
ඉකුත් පෙබරවාරි මස 20 වන දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කෞෂිනී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තා ය. එම තරගයේදී ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුලු තුනක් දවා ගැනීමට ඇය කඩුල්ල පිටුපස සිට තම රාජකාරිය මැනවින් ඉටු කළා ය.
මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 6කට සහභාගි වී ඇති ඇය ලකුණු අතරට පැමිණීමට අසමත් වුව ද, කඩුලු රකින ක්‍රීඩිකාවක් ලෙස තම යුතුකම ඉටු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මතකයේ රැඳුණු පිති හරඹය
මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්‍යවශ්‍ය ක්‍රීඩිකාවක් බවට ඔප්පු කර පෙන්වූයේ පසුගිය 16 වන දා නවසීලන්තය සමග පැවති තරගයේදී ය.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය අත්‍යවශ්‍ය මොහොතේ නිලක්ෂිකා සිල්වා සමග එක්වී 6 වන කඩුල්ලට ලකුණු 48ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගමිනි.
ඇය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ එම තරගයේදී පන්දු 14කදී හතරේ පහරවල් 3ක් ද සමගින් නොදැවී ලකුණු 24ක් රැස් කරමිනි.































