නරක චීන සංචාරකයින් සඳහා කළුපොතක්

ඡායාරූප මූලාශ්‍රය, AP

Published

චීනයට අපකීර්තියක් වන පරිදි විදේශ රටවලදී හැසිරෙන චීන ජාතික සංචාරකයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට එරට සංචාරක අධීක්ෂණ අමාත්‍යාංශය තීරණය කොට තිබේ.

පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී ගැටුම් ඇති කිරීම, සූදු කෙළීම සහ ගණිකාවන ආශ්‍රය,සංස්කෘතික නීති රීති උල්ලංඝනය, පොදු දේපළවලට හානි කිරීම, පෞරාණික භුමි වලට හානි සිදු කිරීම,වැනි ක්‍රියාකාරකම් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි චීන සංචාරක බලධාරීන් පවසන්නේ.

ලොව පුරා මෙවැනි ක්‍රියාකාරකම් සිදු කරන ලද චීන සංචාරකයින් කළු ලැයිස්තුවකට ඇතුලත් කරමින් ඔවුන්ට දඬුවම් ලබා දෙන බවට චීන සංචාරක බලධාරීන් ප්‍රතිඥා දෙමින් ප්‍රකාශයක් කර ඇත.

චීන සංචාරක ශිෂ්‍යයන් පිරිසක් ඊජිප්තුවේ පෞරාණික පන්සල් බිත්තියක සිය නම් කුරුටු ගෑම

ඡායාරූප මූලාශ්‍රය, xinhua

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන සංචාරක ශිෂ්‍යයන් පිරිසක් ඊජිප්තුවේ පෞරාණික පන්සල් බිත්තියක සිය නම් කුරුටු ගෑම

එම ලැයිස්තුවට නම් ඇතුලත් කරනු ලබන සංචාරකයින්ට වසර දෙකක් යන තුරු විදේශ රටවල සංචාරය කිරීමට ඉතා අසීරු වන බවයි පැවසෙන්නේ.

චීන සංචාරක අධීක්ෂණ අමාත්‍යංශය පවසන්නේ දැනටමත් චීනයේ සමස්ත සංචාරක ප්‍රතිරූපයට ඇතැම් චීන සංචාරකයින්ගේ අනුමත කළ නොහැකි හැසිරීම මගින් හානි සිදු වී ඇති බවයි.

පසුගිය ජනවාරි මාසයේ ඉහත කී ක්‍රියාමාර්ගය ගනු ලැබුණේ චීන ජාතික ශිෂ්‍ය සංචාරකයන් කණ්ඩායමක් ඊජිප්තුවේ පෞරාණික ආගමික ස්ථානයක බිත්තියක සියනම් කුරුටු ගෑම, තවත් චීන සංචාරකයින් කණ්ඩායමක් තායිලන්තයේ බෞද්ධ පන්සලක ඝන්ටාරයකට පයින් ගසන පින්තූර අන්තර්ජාලයේ පළකිරීම ආදී සිදුවීම් කීපයකින් චීන ජනතාව කෝපයට පත් වීමෙන් පසුවයි.

ඉහත කී දර්ශන නිසා කෝපයට පත් චීන ජාතිකයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ,සමස්ත චීන ජාතියම ජාත්‍යන්තර සමාජය තුළ ලැජ්ජාවට සහ අපකීර්තියට පත් කරනු ලබන එවැනි සංචාරකයින්ට එරෙහිව කටයුතු කරන ලෙසයි.