ඉරානය: දිවි නොතකා හිජාබ් නීතිවලට එරෙහිව උපවාස කරන ගුරුවරයා

මහත් කම්පනයක් ඇති කරන ඉරානයේ උපවාසයේ යෙදී සිටින සිරකරුවෙකුගේ ඡායාරූප ඔහුගේ ජීවිතය ගැන බියක් ඇති කිරීමටත්, කෝපය ඇවිස්සීමටත් හේතූ වී තිබේ.
53 හැවිරිදි ගුරුවරයෙකු සහ මානව හිමිකම් ආරක්ෂකයෙකු වන ෆර්හාඩ් මේසාමි 2018 වසරේ සිට සිරගතව සිටී.
හිජාබ් පැළඳීම අනිවාර්ය කරමින් පැනවූ නීතිවලට එරෙහිව ඉරාන කාන්තා ව්‍යාපාරයට සහය දැක්වීම හේතුවෙන් ඔහුට වසර 6ක සිර දඬුවමක් නියම විය.
මේසාමි පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සිය උපවාසය ආරම්භ කළේ, 'විරෝධතාකරුවන්ට මරණ දණ්ඩනය පැනවීම අවසන් කිරීම, දේශපාලන සිරකරුවන් 6 දෙනෙකු නිදහස් කිරීම සහ හිජාබ් පැළඳීම අනිවාර්ය කිරීම හේතුවෙන් සිදු වන හිරිහැර නතර කිරීම' යන ඉල්ලීම් දිනා ගැනීම සඳහා ය.
ඔහුව සිරගත කිරීමට යොදාගත් සාක්ෂි අතරට වැක්ලව් හැවෙල්ගේ (Vaclav Havel) 'ද පවර් ඔෆ් ද පවර්ලස් (The Power of the Powerless)' වැනි අවිහිංසාවාදී ලෙස විරෝධය පෑම පිළිබඳව සඳහන් පොත් සහ ඔහුගේ කාර්යාලයේ 'හිජාබය අනිවාර්ය කිරීමට මම විරුද්ධයි' යනුවෙන් සඳහන් කුඩා ලාංඡන ඇතුළත් විය.
ඉස්ලාමීය විප්ලවයේ 44 වන සංවත්සරය සැමරීම සඳහා ඉරානයේ දින 10ක නිල උත්සව ආරම්භ වීමත් සමග මේසාමි සිය අදහස් සමාජගත කිරීම සඳහා ඔහුගේ ශරීරය භාවිත කරයි.
සිරගෙදර සිට ලියන ලද ලිපියක ඔහු සඳහන් කර ඇත්තේ [එහි පිටපතක් බීබීසී පර්සියානු සේවයට යොමු කර ඇත], තමාගේම ජලය පානය කළ නොහැකි තත්ත්වයට පත් කිරීමෙන් තම සෞඛ්‍යය තවත් පීඩාවට පත් කරන බව ය.
"ඉදිරි දින 10 තුළ මම බොන වතුර තිත්ත රස ගන්වනවා,ඉස්ලාමීය ජනරජය යටතේ දිවි ගෙවන එක වස වලටත් වඩා කටෝර ජිවිතයක් බව සංකේතවත් කරන්න," යැයි ඔහු ලිවීය. පර්සියානු සාහිත්‍ය සම්ප්‍රදායේ දුෂ්කර කාල පරිච්ඡේද හෝ වේදනාව පිළිබඳ අදහස බොහෝ විට සංකේතවත් කරන්නේ, තිත්ත රසයෙන් හෝ පානයට නුසුදුසු ජලයෙනි.
'ඉරාන වැසියන්ගේ ගෞරවය සහ ආරක්ෂාව අහිමි කිරීම' සහ 'ඔවුන්ට දුක් වේදනා ගෙන දෙන' බවට එම ලිපියෙන් ඔහු ඉරාන නායකයින්ට චෝදනා කරයි.
ඔහුගේ තනි ක්‍රියාව 'සාමූහික ක්‍රියාවකට' මග පාදනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ. එල්ලා මැරීම් ආරම්භ වූ මුල් කාලයේදී රට පුරා පැවති විරෝධතා මේ වනවිට සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇත.
ඉරානයේ උත්තරීතර නායකයා පවසන්නේ, ජාතික සංවත්සර සැමරුම්වල කොටසක් ලෙස මෑත කාලීන විරෝධතාවලට සම්බන්ධ වූ ඇතැම් සිරකරුවන් ද ඇතුළුව 'දස දහස් ගණනක්' සිරකරුවන්ට ඔහු සමාව දුන් බව ය. නමුත් එම පියවරට මේසාමි, හෝ 'ජාතික ආරක්ෂාවට එරෙහිව ක්‍රියා කිරීම' හෝ 'දෙවියන්ට එරෙහිව සටන් කිරීම' සම්බන්ධයෙන් බරපතළ දඬුවම්වලට මුහුණ දෙන විරෝධතාකරුවන් සහ ක්‍රියාකාරීන් ඇතුළත් නොවේ..

ඡායාරූප මූලාශ්‍රය, Mohammad Moghimi via Reuters
රඳවාගෙන සිටින බොහෝ දෙනා විදේශීය බලපෑම් සහ ප්‍රචාරණය හේතුවෙන් නොමග යන ලද තරුණයින් ලෙස නිරූපණය කර ඇති අධිකරණ ප්‍රධානියාගේ ලිපියකින් පසුව මෙම සමාව ලබා දී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේය. තරුණ සිරකරුවන් ගණනාවක් තම කණගාටුව ප්‍රකාශ කර සමාව ඉල්ලා සිටි බව ද එම ලිපියේ සඳහන් විය.
සමාව ලැබීමට සුදුසුකම් ලැබූ රැඳවියන් තමන් කළ දේ ගැන කනගාටු වන බවට ලිඛිතව ප්‍රතිඥා දිය යුතු බවත්, එසේ නොවුවහොත් ඔවුන් නිදහස් නොකරන බව ත් නියෝජ්‍ය අධිකරණ ප්‍රධානී සදීක් රහිමි පවසා තිබේ.
එහෙත් දැනට අත්අඩංගුවේ පසුවන කිසිදු ද්විත්ව පුරවැසියෙකුට මෙම නියමය අදාළ නොවේ.
මේසාමිගේ ඉළ ඇට ඉදිරියට නෙරා ඇති ඡායාරූප සමාජ මාධ්‍යවල විශාල වශයෙන් හුවමාරු වී තිබේ.
'උපවාසය කියන්නේ සිරකරුවෙක් විරෝධතා දැක්වීමට සහ ඔහුගේ අයිතිය ඉල්ලීමට යොදා ගන්නා අවසාන ආයුධය', සිරගතව සිටි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන ඇතීනා ඩේමි පවසයි.
ඇතැම් ප්‍රමුඛ ඉරාන ක්‍රියාකාරීන් වර්ජනය අවසන් කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින අතර අන් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීම ගැන තවත් බොහෝ දෙනෙක් ඔහුට ප්‍රශංසා කොට තිබේ.
නිදහස් කරන ලෙස මේසාමි විසින් ඉල්ලීම් කරන ලද සිරකරුවන් 6 දෙනාගෙන් එක් අයෙකු වන බහරේහ් හිදායත්, ඔහුගේ උපවාසය අවසන් කරන ලෙස ඔහුට ලිඛිතව දන්වා තිබේ. 'හිජාබ් පැළඳීම අනිවාර්ය කිරීමේ නීති ඇතත් නැතත්, ඉස්ලාමීය ජනරජය බලයෙන් ඉවත් විය යුතුයි' යනුවෙන් ඇය එහි සඳහන් කර ඇත.
හිටපු ඉරාන පාපන්දු ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වන අලි කරිමි, 'මෙය ඉස්ලාමීය ජනරජයේ දේශපාලනික සිරකරුවන්ගේ වධකාගාරය' යනුවෙන් පවසමින් මේසාමිගේ ඡායාරූප අවුෂ්විට්ස් ඡායාරූප සමග සංසන්දනය කර තිබේ.
2012දී සිය පුත්‍රයා සිරගෙදරදී වධ හිංසාවලට ලක්ව ඝාතනය වූ සහ එතැන් සිට ඉරානයේ මානව හිමිකම් සඳහා වන අරගලයේ ප්‍රමුඛ චරිතයක් බවට පත් වූ ගෝහාර් එස්ජී ඔහුට සහය පළ කර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්: 'ජීවත් වන්න හිතවත! මිනිසුන්ගේ ජීවිත අපායක් කළ පුද්ගලයාගේ ජීවිතයට වඩා ඔබේ ජීවිතය සිය ගුණයක් වටිනවා.' යනුවෙන් පවසයි.
බන්ධනාගාර බලධාරීන් පවසන්නේ, ෆර්හාඩ් මේසාමි උපවාසයක නිරත නොවන නමුත් ජීවතුන් අතර සිටින අතරතුර තමාට හැකි පමණට සුළු ආහාර ප්‍රමාණයක් අනුභව කරන බව ඔහුගේ කුටියේ සිටින අනෙක් සිරකරුවන්ට සහ බන්ධනාගාර ආරක්ෂකයින්ට පවසා ඇති බව ය.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මෙසේ පැවසීය: "මෙම පින්තූර ඉරාන බලධාරීන් මානව හිමිකම් කෙරෙහි දක්වන අවඥා සහගත බව පිළිබඳ කම්පනසහගත මතක් කිරීමක්."
ඔහුගේ ජීවිතය බරපතළ අනතුරක පවතින බවට ඔහුගේ නීතිඥ මොහොමඩ් මෝගිමි අනතුරු අඟවා තිබේ.





























