T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: හෙල්ල වෙනුවට ක්‍රිකට් පන්දුව අතට ගත් සුගන්ධිකා

සුගන්ධිකා කුමාරි කඩුල්ලක් දවා ගැනීමේ සතුට පළ කරන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමට සුගන්ධිකා කුමාරිගෙන් ප්‍රබල දායකත්වයක් ලැබෙනු ඇත.

1991 වසරේ ඔක්තෝබර් 5 වන දා ආණමඩුවේදී උපත ලද දසනායක මුදියන්සේලාගේ සුගන්ධිකා මානෙල් කුමාරි පවුලේ බාලයා ය.

ඇයට වැඩිමහලු සහෝදරයින් සිව් දෙනෙකු සහ සහෝදරියන් සිව් දෙනෙක් සිටිති. සුගන්ධිකාගේ මව මියගොස් ඇති අතර, පියාගේ ජීවනෝපාය ගොවිතැන යි.

හෙල්ල විසි කිරීමෙන් ජාතික ජයග්‍රහණ

ආණමඩුව, කන්නන්ගර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඇය පාසල් සමයේදී වැඩි දක්ෂතා දැක්වූයේ මලල ක්‍රීඩාවට ය.

සුගන්ධිකා පාසල් සමයේදී හෙල්ල විසි කිරීම ඉසව්වෙන් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබා ඇත.

ඇයට ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වීමේ අවස්ථාව හිමි වූයේ, එම මලල ක්‍රීඩා දක්ෂතා හේතුවෙනි. යුද හමුදා අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලිය ඇගේ ක්‍රීඩා දිශානතිය වෙනස් කළ ප්‍රබල ම සාධකය විය.

යුද හමුදාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කළ ඇය පසුව මලල ක්‍රීඩාව වෙනුවට ක්‍රිකට් තෝරා ගැනීමට තීරණය කළා ය.

හෙල්ල අතහැරීමට තීරණය කළ ඇය ක්‍රිකට් පන්දුව අතට ගෙන වමතින් දඟ පන්දු යවන ක්‍රීඩිකාවක ලෙස සිය ක්‍රීඩා දිවියේ දෙවන ගමන ආරම්භ කළා ය.

ශ්‍රී ලංකා යුද හමුදා, බස්නාහිර පළාත් කණ්ඩායම, මධ්‍යම පළාත් කණ්ඩායම, ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම ඔස්සේ ඇය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එක් වූවා ය.

2015 වසරේ පකිස්ථානයට එරෙහිව සාජාහිදී ඇය එක්දින වරම් ලැබුවා ය.

එම පළමු තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇය, ප්‍රතිවාදී පකිස්ථාන කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 24ක් පමණක් ලබා දෙමිනි.

ඇය එම සංචාරයේ පන්දු වාර 20 තරග සඳහා ද සුදුසුකම් ලැබුවා ය.

එක්දින ජාත්‍යන්තර තරග 51කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සුගන්ධිකා, කඩුලු 45ක් දවාගෙන සිටී.

ඇගේ හොඳ ම එක් දින පන්දු යැවීම ලකුණු 39කට කඩුලු 4ක් දවා ගැනීම ය.

පන්දු වාර 20 ජාත්‍යන්තර තරග 94කට ක්‍රීඩා කර ඇති සුගන්ධිකා දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 70කි.

පන්දු වාර 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ඇය පසුවන්නේ, 26 වන ස්ථානයේ ය.