ඉරානය: ඔබගේ දුරකතනය ඔබව සිරගත කරන්නේ කෙසේද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඛෝස්රෝ කල්බාසි ඉස්ෆාහානි
- Role, බීබීසී නිරික්ෂණ අංශය
- Published
"ඔබේ දුරකථනයේ පාස්වර්ඩ් එක ඇතුලත් කරන්න!" ඉරාන ආරක්ෂක නිලධාරියා විරෝධතාකරුවෙකුට කෑගැසුවේය.
කෑගසන වාරයක් පාසාම මුහුණට පහරක් එල්ල විය.
වයස අවුරුදු 20 ක් පමණ වන තරුණයකු පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ටෙහෙරාන් අගනුවර පැවති විරෝධතා වලදී අත්අඩංගුවට ගනු ලැබිණ.
"ආරක්ෂක අංශ කාන්තාවක් අත්අඩංගුවට ගත්තා," ඔහු පවසයි. "මම ඇයට පැන යන්න උදව් කළා. ඊට පස්සේ , නිලධාරියෙක් මාව අල්ලලා බිම දැම්මා.
"පස්සේ නිලධාරීන් දෙදෙනෙක් මගේ පිට සහ මුහුණ ඔවුන්ගේ පාද වලින් තද කරගෙන හිටියා, තුන් වැනි එක්කෙනා මට විනාඩි කිහිපයක් ගැහුවා."
පසුව ඔවුන් විසින් පහර දීම නතර කර ඔහුගේ දුරකතනය ඉල්ලා තිබේ. අනතුරුව දුරකතනයේ මුරපදය (පාස්වර්ඩ්) ලබා ගෙන එම තරුණයාව වෑන් රථයකට නංවා ගෙන තිබේ.
ආරක්ෂාව වෙනුවෙන් අපි මෙම ලිපියේ ඔහු සහ අනෙකුත් පුද්ගලයින් නිර්නාමිකව තබමු.
"ඔවුන් මට දිගින් දිගටම පහර දුන්නා. ඒ අතරේ තවත් නිලධාරියෙක් මගේ දුරකථනය විවෘත කරලා එය පරීක්ෂා කරන්න පටන් ගත්තා," ඔහු බීබීසීයට පැවසීය.
"විනාඩි දෙකකට පසු, මෙකේ ප්‍රශ්නයක් නැහැ" යනුවෙන් ඔහු ප්‍රකාශ කළා. අවසානයේ ඔවුන් මට යන්නට ඉඩ හැරියා."
තමන් විරෝධතා රූගත කළේ දැයි සොයා බැලීමට නිලධාරීන් තම දුරකතනයේ ඡායාරූප ගැලරිය පමණක් පරීක්ෂා කළ බව ද ඔහු කියා සිටියේය.
ඔහුගේ දුරකථනයේ එවැනි වීඩියෝ දර්ශන තිබුණේ නම්, වෙනත් බොහෝ විරෝධතාකරුවන් මෙන් ඔහුට "රාජ්‍යයට එරෙහි ප්‍රචාර කළ බවට" චෝදනාව එල්ල විය හැකිව තිබුණි.
ඉරාන පාලනය තව දුරටත් විරෝධතා මර්දනය කිරීමට උත්සාහ දරමින් සිටියි.
"අපරාධ" රූගත කිරීම සහ දර්ශන බෙදාගැනීම අපරාධයක් බවට පත් කරන පනත් කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තුව විසින් මේ වන විට සමාලෝචනය කරමින් සිටිනු ලබයි.
එය අනුමාන වශයෙන් වසර පහක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, "නීති විරෝධී" විරෝධතා ද ඊට ඇතුළත් වනු ඇත.
විරෝධතාකරුවන්ගේ ප්‍රමුඛතම ආධාරකරුවන් වන ජනප්‍රිය පුද්ගලයින් නිහඬ කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට ද ඉරාන පාර්ලිමේන්තුව අපේක්ෂා කරයි.
නව සංශෝධනය යටතේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් නොසන්සුන්තාවක් ඇති කරන "අසත්‍ය ප්‍රකාශයක්" කළහොත් ඔවුන්ට වසර 15 ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.
ඉන්ස්ටග්‍රෑම් මරණ දඬුවම
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි 'සයිබර් අවකාශය' යුද පිටියක් ලෙස හඳුනාගෙන ඇත. "සතුරන්ගේ දෙමුහුන් යුද්ධයට එරෙහිව නැවත සටන් කරන ලෙස" ඔහු බලධාරීන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේය.
ඉරාන උත්තරීතර නායකයා පවසන්නේ ඕනෑම ආකාරයක විසම්මුතියක් එක්සත් ජනපදයේ සහ එහි මිත්‍ර පර්ශවික රටවල ක්‍රියාවක් බවයි.
තවත් තරුණ විරෝධතාකරුවෙක් මා හට පැවසුවේ පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ දුරකථනය මුරපදය (පාස්වර්ඩ්) විවෘත කරන ලෙසට ඔහුට සහ අනෙක් පිරිසට බල කළ බවයි. "දූෂණය , මරණ දණ්ඩනය සහ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා" බවට තර්ජනය කළ බවද ඔහු අනාවරණය කළේය.
තවත් 300 දෙනෙකු සමඟ ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී ගබඩාවක රඳවා තබා ගෙන ඇත.
ඉන්පසුව ඔවුන්ට බොරු ස්වයං චෝදනා "පාපොච්චාරණයකට" අත්සන් කිරීමට බල කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉරාන අධිකරණය මරණ දණ්ඩනයට නියම වූ නව යොවුන් වියේ දරුවෙකුගේ වරද 'ඔප්පු කිරීම' සඳහා Instagram ස්ටෝරි සහ සබැඳි සංවාදවල තිරපිටපත් (screenshots) ද ප්‍රකාශයට පත් කර ඇත.
දහනව හැවිරිදි මොහොමඩ් බොරෝගානි "දෙවියන් වහන්සේට එරෙහි සතුරුකම" සම්බන්ධයෙන් වරදකරු වූ අතර ආරක්ෂක නිලධාරියෙකුට පිහියෙන් ඇනීමේ චෝදනාව මෙන්ම විරෝධතාවලට සහභාගී වීමට ජනතාව "දිරිමත් කිරීම" යන චෝදනා ලැබීය.
සමාජ මාධ්‍යවල මෙන්ම සහ බන්ධනාගාරයෙන් පිටත ජනතාව පසුගිය ජනවාරි මාසයේදී ජනතාව එක් රැස්වීමෙන් පසු , ඔහුගේ නඩුව සමාලෝචනය සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කෙරිණ.
හාවඩ් විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණය, නීතිය සහ මානව හිමිකම් පිළිබඳ පර්යේෂකයෙකු වන අෆ්සානේ රිගොට් පවසන්නේ ජංගම උපාංග "අපරාධ ස්ථානයේ දර්ශනය" බවට පත්වෙමින් ඇති බවයි.
ඇය දශකයක් පුරා මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ LGBTQ පුද්ගලයින්ට හිංසා පීඩා කිරීමේදී ඩිජිටල් සාක්ෂි භාවිතා කිරීම අධ්‍යයනය කර තිබේ.
"විශේෂයෙන්ම, චින්තනයේ, ප්‍රකාශනයේ සහ අනන්‍යතාවය පදනම් කරගෙන අපරාධමය නඩු පැවරීමට රාජ්‍යයන් සහ පොලිසිය මෙම උපක්‍රමය භාවිතා කරන බව අපි දන්නවා."
ඇය පවසන්නේ ඩිජිටල් සාක්ෂි ලෙස "බොහෝ විට නීති විරෝධී ලෙස" ලබාගත් ඡායාරූප, වීඩියෝ හෝ App වැනි යෙදවුම් දෘඪ සාක්ෂි ලෙස සලකන බවය.
යමෙකුගේ අන්තර්ජාල සැරිසැරීමේ ඉතිහාසය හොඳම පරිවේශනීය සාක්ෂි ලෙස "ව්‍යාජ නඩු විභාග" වලදී පාලන තන්ත්‍ර නඩුවට සහාය වීමට භාවිත කරනු ලබයි.
"LGBTQ පුද්ගලයන් අපරාධකරුවන් කරන සහ චින්තනයේ සහ ප්‍රතිරෝධයේ අපරාධයක් යැයි සලකන ඉරානය වැනි රටවල, නිර්දෝෂීභාවය පිළිබඳ උපකල්පනයක් නැහැ," ඇය පැවසුවාය.
"ඔබ වැරදිකරුවෙකු ලෙස සලකනවා, සාක්ෂි සොයා ගැනීම හෝ ව්‍යාජ ලෙස සකස් කිරීම පමණයි අවශ්‍යය වෙන්නේ."
ඉලක්කගත සෝදිසි කිරිම්
වරෙන්තු හෝ නියමිත ක්‍රියාවලියකින් තොරව ඉලෙක්ට්‍රොනික උපාංග සාමාන්‍යයෙන් ආරක්ෂක අංශ භාරයට ගැණෙනු ඇත.
ටෙහෙරානයේ මාධ්‍යවේදියෙකුගේ පවුලේ නිවසක් එරට බුද්ධි අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී වටලා ඇත.
ඔහු අත්අඩංගුවට ගෙන සති ගණනක් රඳවා තබා ගෙන තිබේ.
එහෙත් එම වැටලීමෙන් බලපෑමට ලක්වූ එකම පුද්ගලයා ඔහු පමණක් නොවේ.
සාමාන්‍ය ඇඳුමින් සැරසුණු නිලධාරීන් සියලු දෙනාගේම දුරකථන අත්පත් කර ගත් අතර පසුව ඩිජිටල් "සාක්ෂි" සොයා වයස අවුරුදු 40 ට අඩු පුද්ගලයින්ගේ උපාංග පරීක්ෂාවට ලක් කළහ.
නිලධාරීන් වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් සහ ඉන්ස්ටග්‍රෑම් සංවාද පරීක්ෂා කළ බව පැමිණ සිටි එක් තරුණයෙක් බීබීසීයට පැවසීය.
ඔවුන් සමාජ මාධ්‍ය පළ කිරීම් ද පරීක්ෂා කර ඇති නමුත් ප්‍රධාන වශයෙන් ඡායාරූප ගැලරි කෙරෙහි අවධානය යොමු කර තිබේ.
" නිලධාරියෙක් මගෙන් ප්‍රශ්න කරන්න ගත්තේ, මගේ පවුලේ ඡායාරූපයක කාන්තාවකගේ 'සාම්ප්‍රදායික නොවන' ඇඳුම් ලෙස ඔහු විස්තර කළ ඇඳුමක් ගැන"
"ඒ පින්තූර පෞද්ගලික පවුලේ ඡායාරූප බව පවසමින් මම නිලධාරියා සමඟ වාද කිරීමට පටන් ගත් විට, නිලධාරීන්ගේ කණ්ඩායම් නායකයා මැදිහත් වී 'විරෝධතා ඡායාරූප සහ වීඩියෝ පමණක් සොයන්න! පුද්ගලික පින්තූර නොසලකා හරින්න' යැයි පැවසීය."
වීදි බැසීමට බොහෝ දුරට ඉඩ ඇති බැවින් ඔවුන්ගේ වයස සහ පසුබිම නිසා නිලධාරීන් ඔවුන් ඉලක්ක කර ගත් බව ඔහු විශ්වාසය පළ කළේය.
"ඔවුන්ට අවශ්‍ය වන්නේ විරෝධතාවල දර්ශන ලෝකය නොදකින බවට වග බලා ගැනීම පමණයි."
ඉරාන බලධාරීන් විරෝධතාකරුවන් මරා දැමීමට පටන් ගත් දා සිට, වීදි රැස්වීම් වැඩි වන්නට පටන් ගෙන ඇති අතර විරෝධතා ව්‍යාපාරයේ කේන්ද්‍රය අවමංගල්‍ය උත්සව වෙත මාරු වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාලන තන්ත‍්‍රයට මාධ්‍ය සම්බන්ධයෙන් ද ඇත්තේ අයෝමය ග්‍රහණයකි.
සියලුම විකාශන නාලිකා රාජ්‍යය විසින් පාලනය කරනු ලබන අතර රාජ්‍ය අනුග්‍රහය දක්වන පුවත්පත් විසින් පාලන තන්ත්‍රයේ භාෂාව පුනරුච්චාරණය කරනු ලබයි.
රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කරන දිනපතා පුවත්පත් නිහඬ කිරීමට තහනම් කිරීම්, තර්ජනය කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් ද රාජ්‍යය විසින් භාවිතා කරනු ලබයි.
සාම්ප්‍රදායික මාධ්‍ය වසා දැමීමත් සමඟ, බොහෝ ඉරාන වැසියන් ප්‍රවෘත්ති ලබා ගැනීම සඳහා චන්ද්‍රිකා රූපවාහිනී නාලිකා සහ ඉන්ටර්නෙට් මත විශ්වාසය තබති.
ඉරාන රජය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, ලෝකයේ වඩාත්ම වාරණයට ලක් වූ අන්තර්ජාල අවකාශයක් ඉරානය සතු වුවද, මිලියන 84 ක් වන ශක්තිමත් ජනගහනයෙන් 70% අන්තර්ජාලය භාවිතා කරනු ලබයි.
සියලුම ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකා සහ පණිවුඩ මෙවලම් ඉරානයේ තහනම් කර ඇත.
මෙම සීමාවන් මග හැරීම සඳහා, ඉරානයේ ජනතාව ප්‍රොක්සි ජාල සහ ප්‍රොක්සි සේවා භාවිතා කරන අතර ඒවා රජය විසින් ද ආක්‍රමණශීලී ලෙස ඉලක්ක කර ඇත.
Article 19 මානව හිමිකම් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන අෆ්සානේ රිගෝට, මේ කිසිවක් අලුත් නොවන නමුත් ඔහු පවසන්නේ;"ඒකාධිපති රාජ්‍යයන් අතේ, ඩිජිටල් සාක්ෂි ඉතා භයානක ආයුධයක්" බවයි.
































