එංගලන්තයේදී කැමරාවට හසුවූ මුහුදට ඉහළින් 'පාවෙන නැවක්'?

ඡායාරූප මූලාශ්‍රය, DAVID MORRIS/APEX
මුහුදේ යාත්‍රා කරන නැව් විනා මුහුදු ජලයට ඉහළින් පාවෙන නැවක් දකින්නට ලැබීම සැබවින් ම අමුත්තක්.
නමුත් දුර්ලභ දෘශ්‍ය මායාවක ප්‍රතිඵලයක් හැටියට එවැන්නක් දකින්නට ලැබුණේ එංගලන්තයේ වෙරළාසන්න ප්‍රදේශයක දී ගන්නා ලද ඡායාරූපයකයි.
කෝර්න්වෝල් හි ෆැල්මත් ප්‍රදේශයට ආසන්නයේදී ඩේවිඩ් මොරිස් නම් තැනැත්තා ගත් එම ඡායාරූපයේ පෙනුනේ මුහුදේ ඇති නැවක් ජලයට ඉහළින් පාවෙමින් තිබෙන ආකාරයක්.
බීබීසී හි කාලගුණ විද්‍යාඥ ඩේවිඩ් බ්‍රේන් පවසන ආකාරයට මේ "අති සුවිශේෂී මිරිඟුව" හටගන්නේ "ආලෝකයේ නැම්මක් ඇති කරන විශේෂ වූ වායුගෝලීය තත්ත්ව" හේතුවෙන් බවටයි.
ආර්ක්ටික් කලාපයේ සුලබව දැකිය හැකි මෙම මායාව බ්‍රිතාන්‍යයේද ශීත සෘතුව තුළදී "ඉතා දුර්ලභ" ලෙස දැකිය හැකි බවයි.
'ගිලන්' නම් කුඩා ග්‍රාමීය ප්‍රදේශයේදී මුහුද දෙසට දෑස් යොමා සිටින අතරේ මෙම ඡායාරූපය ගැනීමෙන් පසු තමන් මහත් විමතියකට පත් වූ බව ඩේවිඩ් මොරිස් සඳහන් කළා.
මේ අතර ඩේවිඩ් බ්‍රේන් කියා සිටින්නේ, "සිසිල් වාතය මුහුදට ආසන්නව පවතිද්දී ඊට ඉහළින් උණුසුම් වාතය රැඳෙමින් හටගන්නා උෂ්ණත්ව අපවර්තනය නමින් හැඳින්වෙන කාලගුණ තත්ත්වයක් නිසා මේ අති සුවිශේෂ මිරිඟු ඇතිවනවා" යනුවෙනුයි.
"උණුසුම් වාතයට වඩා සිසිල් වාතය ඝනවීම හේතුවෙන් එයින්, භූමියේ හෝ වෙරළේ සිටගෙන ඉන්න කෙනෙකුගේ දෑස වෙත ආලෝකයේ නැම්මක් ඇති කරන්නේ වස්තුවක් පෙනෙන දුරස්ථභාවයේ වෙනසක් කරමින්" යැයි මේ අතර ඩේවිඩ් බ්‍රේන් පැහැදිලි කළා.

ඡායාරූප මූලාශ්‍රය, DAVID MORRIS/APEX
ඔහු තවදුරටත් මේ තත්ත්වය පැහැදිලි කළේ, "අති සුවිශේෂ මිරිඟු, ආකාර කිහිපයක සේයා මවනවා. මෙහිදී දකින්නට ලැබුනේ ඈතින් ඇති නැවක් එහි සැබෑ ස්ථානයට වඩා ඉහළින් පාවෙන ස්වභාවයක්. නමුත් සමහර විටෙක ක්ෂිතිජයට පහළින් ඇති වස්තුවක් පෙනෙන්නටත් ලැබේවි." යනුවෙන්.

























