නිශාන් වේලුපිල්ලේ: FIFA ලෝක කුසලානයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩකයාට ශ්‍රී ලාංකික මූලයක් තිබේ ද?

නිශාන් මැතිව් වේලුපිල්ලේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 5

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වී මේ වන විට සතියක කාලයක් ගත වී තිබේ.

කේප් වර්ඩ් කණ්ඩායමේ දැල් රකින්නා වන වෝසින්‍යා ගේ දක්ෂ ගෝල රැකීම, ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී සිය කණ්ඩායම වෙනුවෙන් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීම සහ ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ඇමෙරිකාවේ පැවති තරගයට සහභාගිවීම ඇතුළුව මෙවර 2026 පාපන්දු කුසලානයේ සිදුවූ බොහෝ සුවිශේෂී සිදුවීම් හේතුවෙන් බොහෝ දෙනෙකුගේ අවධානය තරගාවලිය වෙත යොමුව ඇත.

මේ අතර මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන දමිළ ජාතික ක්‍රීඩකයෙකු ගැන ලාංකිකයින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති අතර ඔහුට ශ්‍රී ලාංකික සම්භවයක් තිබේ ද යන්න බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ විමසමින් තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් තිබේ ද?

2001 වසරේ මැයි මස 7 වන දා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී උපත ලැබූ නිශාන් මැතිව් වේලුපිල්ලේ ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙකි.

නිශාන්ගේ පියා ශ්‍රී ලංකාව නෑකම් කියන දමිළ ජාතික පවුලකින් පැවත එන සසිනාත් වේලුපිල්ලේ වන අතර ඔහු මැලේසියාවේ ජීවත්ව සිට පසුව ඔස්ට්‍රේලියාව බලා සංක්‍රමණය වී ඇත. පාපන්දු ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දක්වන සසිනාත් වේලුපිල්ලේ කලක් පාපන්දු ක්‍රීඩාවේ ද නියැලී සිටි බව සඳහන් වේ.

නිශාන්ගේ මව වන ගිලියන් වේලුපිල්ලේ බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු මිශ්‍ර සම්භවයක් ඇති ඇන්ග්ලෝ ජාතික කාන්තාවකි,

පාපන්දුවට මුල් කාලයේ තිබූ අකැමැත්ත

ඔස්ට්‍රේලියාවේ හැදී වැඩුණු නිශාන් වයස අවුරුදු 5 සිට පාපන්දු ක්‍රීඩාවට යොමු වී තිබේ. පළමු මාස කිහිපයේදී ඔහුට පාපන්දු ක්‍රීඩාව ගැන එතරම් ආශාවක් නොතිබුණ ද පසුකාලීනව තරගවලදී ගෝල රැස් කිරීමත් සමග ක්‍රමයෙන් පාපන්දු ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දක්වා තිබේ.

තරුණ ක්‍රීඩකයෙකු ලෙස නිශාන්ගේ ප්‍රියතම ක්‍රීඩකයින් බවට පත්ව තිබුණේ ප්‍රහාරාත්මක ක්‍රීඩකයින් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ නෙයිමාර් වැනි ක්‍රීඩකයින් ය.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පිහිටි පාපන්දු තාක්ෂණික පාසලේ පුහුණුවීම් සඳහා කුඩා නිශාන් යොමු කරනු ලැබූ අතර එහිදී ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ජැස්පර් ක්‍රිස්ටෙන්සන් ය.

නිශාන් එන්ඩෝවර්, යුනයිටඩ් පාපන්දු කණ්ඩායම සමග කනිෂ්ඨ පාපන්දු ක්‍රීඩා කිරීම ආරම්භ කළ අතර ඉන්පසු ඔහු බෙන්ට්ලී ග්‍රීන්ස් වෙනුවෙන් 18න් පහළ සහ 20න් පහළ කණ්ඩායම් නියෝජනය කරමින් දක්ෂ ලෙස ක්‍රීඩා කරන්නට විය.

තුර්කිය සමග පැවති පාපන්දු ලෝක කුසලාන තරගයේදී නිශාන් වේලුපිල්ලේ ක්‍රීඩා කරමින්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තුර්කිය සමග පැවති තරගයේ 61 වන මිනිත්තුවේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පාපන්දු පිටියට පිවිසීමට නිශාන් වේලුපිල්ලේට අවස්ථාව හිමි විය

පළමු ගෝලය වෙනුවෙන් ගත වූ කාලය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මෙල්බර්න් වික්ටරි (Melbourne Victory) ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට පිවිසීමට පෙර සති 4ක කාලයක් එම කණ්ඩායමේ ක්‍රීඩා කිරීම සඳහා නිශාන්ට අවස්ථාව හිමි විය.

2019 දී මෙල්බර්න් වික්ටරි පාපන්දු කණ්ඩායම සමග නිශාන් පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස පළමු වෘත්තීය ගිවිසුම අත්සන් කළේය.

2021 මැයි 19 වන දින මෙල්බර්න් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කිරීමට ඔහුට අවස්ථාව උදාවූ නමුත් තරගය පුරාවට ඔහුට ආදේශකයෙකු ලෙස සිටීමට සිදුවිය.

සිඩ්නි පාපන්දු ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති එම තරගය ගෝල 0–2 ක් ලෙස මෙල්බර්න් පාපන්දු ක්‍රීඩා සමාජය පරාජයට පත්විය.

සිය වෘත්තීය පාපන්දු ජිවිතයේ පළමු ගෝලය වාර්තා කිරීමට නිශාන්ට අවස්ථාව උදාවූයේ 2021 වසරේදී ඇඩිලේඩ් යුනයිටඩ් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදීය. එම තරගය ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට මෙල්බර්න් පාපන්දු ක්‍රීඩා සමාජය සමත් විය.

2022 වසරේ මෙල්බර්න් වික්ටරි පාපන්දු සමාජයේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානය දිනා ගැනීමට නිශාන් වේලුපිල්ලේ සමත් විය.

2024 - 2025 පාපන්දු තරග වාරයේදී නිශාන් වේලුපිල්ලේ මෙල්බර්න් පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්ෂතාවක් දක්වමින් නිත්‍ය තරග වාරයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ සම ක්‍රීඩකයා බවට පත්ව සිටිය ද, ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙල්බර්න් සිටි කණ්ඩායමට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට තිබූ අවස්ථාව ඔහුට අහිමිවිය.

කෙසේ වුව ද 2025 තරග වාරයේදී වික්ටරි ගෝල්ඩන් බුට් සම්මානයෙන් පිදුම් ලැබීමට නිශාන්ට අවස්ථාව හිමි විය.

නිශාන් වේලුපිල්ලේ කොළ පැහැති ටීෂර්ට් එකකින් සැරසී සිටින අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 තරග වාරයේදී වික්ටරි ගෝල්ඩන් බුට් සම්මානයෙන් පිදුම් ලැබීමට නිශාන්ට අවස්ථාව හිමි විය

ජාතික කණ්ඩායමෙන් ලැබුණු කැඳවීම

ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස නිශාන් වෙලුපිල්ලෙට ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සඳහා පළමු කැඳවීම හිමි වන්නේ 2024 වසරේදී ය. ඒ, 2026 පාපන්දු ලෝක කුසලාන තරගවලියට සුදුසුකම් ලැබීමේ තරග සඳහා චීනය සහ ජපානයට එරෙහි තරග දෙක ක්‍රීඩා කිරීමට පෙර ය.

ඔක්තෝබර් 10 වන දා චීනය සමග පැවති තරගයේ 83 වන මිනිත්තුවේදී ඔස්ට්‍රේලියා ජාතික කණ්ඩායම වෙනුවෙන් පළමු වරට ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසුණු නිශාන්, ඉන් මිනිත්තු 7ක් ගත වූ තැන සිය පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය. චීනය සමග පැවති එම තරගයේ දී ඔස්ට්‍රේලියාව ගෝල 3-1ක් ලෙස ජයග්‍රහණය කළේය.

ඉන් පසුව ඉකුත් මාර්තු මාසයේදී පැවති FIFA සුදුසුකම් ලැබීමේ තරගවලදී ඉන්දුනීසියාවට එරෙහිව ගෝලයක් රැස් කළ නිශාන්, නැවත වරක් චීනය සමග පැවති තරගයේදී ද ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

2026 මැයි 31 වන දා 2026 FIFA ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රේලියාව ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර නිශාන් වේලුපිල්ලේගේ නම ද ඊට ඇතුළත් විය.

මෙවර ලෝක කුසලාන තරගයේදී තුර්කිය සමග පැවති තරගයේ 61 වන මිනිත්තුවේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පාපන්දු පිටියට පිවිසීමට නිශාන් වේලුපිල්ලේට අවස්ථාව හිමි විය. එම තරගය ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

'මට මගේ පවුල ගැන ආඩම්බරයි'

පසුගිය ජූනි මස 9 වන දා මාධ්‍ය හමුවකට එක්වෙමින් නිශාන් වේලුපිල්ලේ කියා සිටියේ, තමන්ගේ පවුලේ සාමාජිකයින් විශාල කැපකිරීමක් සිදුකළ බවය.

"මගේ පවුල ගැන ආඩම්බරයි. එයාලා මාව මෙතනට ගේන්න ගොඩක් දේවල් කළා, ගොඩක් කැපකිරීම් කළා. මට එයාලට ආපහු ගෙවන්න පුළුවන් නම්... මම හිතන්නේ ඒක තමයි මගේ හීනය. අපේ රටේ විවිධ දේශසීමාවලින් මෙහෙට ආපු අය ඉන්නවා. අපි ඔක්කොම එක ම පවුලක් විදිහට ඉන්නේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඇත්තට ම විශේෂයි," ඔහු පැවසුවේ ය.