ඉන්දියාවේ කොටි-මිනිස් ගැටුම පිටුපස රහස

මෙයින් සියවසකට පෙර ඉන්දියානු වනගැබ අලංකාර කළ ව්‍යාඝ්‍ර සංඛ්‍යාව ලක්ෂයක් පමණ විනැයි සැලකෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙයින් සියවසකට පෙර ඉන්දියානු වනගැබ අලංකාර කළ ව්‍යාඝ්‍ර සංඛ්‍යාව ලක්ෂයක් පමණ විනැයි සැලකෙයි
Published

ඉන්දියාවේ ව්‍යාඝ්‍ර මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පැවතීම සම්බන්ධයෙන් පාරදෘශ්‍ය මට්ටමින් ක්‍රියා කිරීමට අසමත්ව ඇති බවට එරට වන සත්ව සංරක්ෂණය වෙනුවෙන් ක්‍රියාත්මක වෙන කණ්ඩායම් බලධාරීන්ට චෝදනා කරති.

මේ අවුරුද්ද ඇතුළත පමණක් ව්‍යාඝ්‍ර මරණ හැට හතක්(67) වාර්තා වී ඇති නමුත් ඊට හේතු සැඟවුන මට්ටමක පවතින බව එම ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

එම මරණ හැට හතෙන් වැඩි හරියක් දඩයක්කාරයන් අතින් හෝ කොටි-මිනිස් ගැටුම නිසා සිදුව ඇතිබව ඔවුන්ගේ සොයා ගැනීමයි.

ඉන්දියාවේ ව්‍යාඝ්‍ර සංරක්ෂණය සඳහා වන ජාතික බල අධිකාරියේ (NTCA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බීබීසියට අදහස් දක්වමින්, පසුගිය ජනවාරි මාසයේ පටන් ජූනි මාසය අතර කාලය ඇතුළත ව්‍යාඝ්‍ර මළ සිරුරු 58 ක් සොයාගත් අතර තවත් ව්‍යාඝ්‍රයන් නවයක සිරුරු කොටස් හමු වූ බවත් තහවුරු කළහ.

ව්‍යාඝ්‍ර සම් ඇතුළු සිරුරු කොටස්වලට ආසියානු රටවලින් විශාල ඉල්ලුමක්

ඡායාරූප මූලාශ්‍රය, Belinda wright/WPSI

ඡායාරූප ශීර්ෂ වැකිය, ව්‍යාඝ්‍ර සම් ඇතුළු සිරුරු කොටස්වලට ආසියානු රටවලින් විශාල ඉල්ලුමක්

එම මළ සිරුරුවලින් දාහතරක්(14) කර්ණාටක ප්‍රාන්තයෙන් හමු වී ඇති අතර තවත් දහතුනක්(13) සොයා ගනු ලැබ ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි.

ඇතැම් ව්‍යාඝ්‍ර මරණ ස්වාභාවික හේතූන් අනුව සිදුව ඇතත්, බොහෝ මරණවලට හේතුව එම ජීවීන්ගේ පාරම්පරික වාසභූමි මහා පරිමාණයෙන් අහිමි කර දැමීමේ ප්‍රතිවිපාකය වන බවත් ඔවුහු පවසති.

"මේ මරණ පිටුපස ඇති රහස්‍යභාවය පිළිබඳව වනජීවී සංරක්ෂණය උදෙසා පෙනී සිටින ක්‍රියාධරයන් බලධාරීන්ට අනතුරු ඇඟවීමක් කරනවා.තවත් දෙයක් තමයි,වන ජීවීන් පිළිබඳව පර්යේෂණය කරන්නන් සහ වනජීවී දෙපාර්තමේන්තුව අතර සම්බන්ධතාවයක් නැහැ"ඉන්දීය වන සත්ව සංරක්ෂණ භාරයේ හිටපු ප්‍රධානී තියඩෝර් බාස්කරන් පවසයි.

චීනය ඇතුළු ආසියානු රටවල ව්‍යාඝ්‍ර සිරුරු කොටස් සඳහා ඉල්ලුමක් පවතී.

බොහෝ ව්‍යාඝ්‍ර මරණවලට හේතුව එම ජීවීන්ගේ පාරම්පරික වාසභූමි මහා පරිමාණයෙන් අහිමි කර දැමීමයි
ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ ව්‍යාඝ්‍ර මරණවලට හේතුව එම ජීවීන්ගේ පාරම්පරික වාසභූමි මහා පරිමාණයෙන් අහිමි කර දැමීමයි

ලෝකයේ ව්‍යාඝ්‍ර සම්පතින් 60% කම ජීවත්වන්නේ ඉන්දියානු වනාන්තර තුළයි.

ව්‍යාඝ්‍රයන් සොයා යන සංචාරකයන් ද එම ජීවීන්ගේ පැවැත්ම කෙරෙහි බලපෑමක් ඇති කරන බවට මැසිවිලි පළ වෙයි.

ඉන්දියාවේ ව්‍යාඝ්‍ර සංරක්ෂණය සඳහා වන ජාතික බල අධිකාරිය බීබීසියට ප්‍රකාශයක් කරමින්,සම්පූර්ණ වාර්තාවක් ලැබෙන තෙක් එම මරණ කෙරෙහි බලපා ඇති හේතූන් හෙළිදරව් කිරීමට නොහැකි වූ බව කියා සිටියේය.

ව්‍යාඝ්‍ර මරණ සම්බන්ධයෙන් එවැනි තත්වයක් ඇතත්,ඉන්දියාවේ ව්‍යාඝ්‍රගහනයෙහි වැඩිවීමක් ද පෙන්නුම් කෙරෙයි.

මෙම සියවස ආරම්භ වෙනවිට ඉන්දීය ව්‍යාඝ්‍ර සංඛ්‍යාව 1500 ක් පමණ යයි ඇස්තමේන්තු කරනු ලැබ තිබුණ අතර මේවනවිට එය 2226 ක් යයි වාර්තා කොට ඇත.

ව්‍යාඝ්‍රයන් සොයා එන සංචාරකයන් ද අහිතකර බලපෑමක් ඇති කරන බවට මැසිවිලි පළවෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ව්‍යාඝ්‍රයන් සොයා එන සංචාරකයන් ද අහිතකර බලපෑමක් ඇති කරන බවට මැසිවිලි පළවෙයි

2011-16 අතර කාල පරාශය තුළ ඉන්දීය ව්‍යාඝ්‍ර සංඛ්‍යාව 1706 පටන් 2226 තෙක් වර්ධනයක් පෙන්නුම් කරයි.

එහෙත් ප්‍රශ්නය වී පවතින්නේ ව්‍යාඝ්‍ර මරණ සංඛ්‍යාව වසරින් වසර වැඩි වීමයි.

2014 වසරේ 78 ක් වූ ව්‍යාඝ්‍ර මරණ සංඛ්‍යාව 2015 වසරේ 80 ක් බවට පත් විය.

එම මරණ ප්‍රමාණය වේගයෙන් වැඩිවෙන බවක් පෙන්නුම් කරමින්,2016 පසුගිය වසරේ ව්‍යාඝ්‍ර මරණ 120 ක් වාර්තා වූ අතර එය 2006 වසරින් පසු ලේඛනගත කෙරුණ වැඩිම මරණ සංඛ්‍යාවයි.

මෙයින් සියවසකට පෙර ඉන්දියානු වනගැබ අලංකාර කරන ලද ව්‍යාඝ්‍ර සංඛ්‍යාව ලක්ෂයක් පමණ විනැයි සිතන අතර එය මෙම සියවස ආරම්භ වෙනවිට 1550 දක්වා පහත වැටී තිබුණි.

ව්‍යාඝ්‍රයන් තේමා කරගත් ඉන්දියානු සාහිත්‍යක් ද වෙයි
ඡායාරූප ශීර්ෂ වැකිය, ව්‍යාඝ්‍රයන් තේමා කරගත් ඉන්දියානු සාහිත්‍යක් ද වෙයි

(බීබීසී දෙමළ සේවයේ පී. සිවරාමක්‍රිශ්නන් ගේ ලිපියක් ඇසුරිනි)