අලි මිනිස් ගැටුම: 'මීට වඩා හොදයි අපිව මුහුදට දාන්න'

ඡායාරූප මූලාශ්‍රය, Shanthi Selvadurai
- Author, ශාන්තී සෙල්වදොරේ
- Role, මඩකලපුවේ සිට
- Published
මඩකලපුවේ වෙල්ලාවලි ප්‍රදේශයට එල්ල වී තිබෙන වන අලි තර්ජනයට වහා විසඳුම් ලබා දෙන මෙන් ඉල්ලා තිහකට අධික ගම්මානවල වෙසෙන වැසියෝ උද්ඝෝෂණයක නිරත වෙති.
දිගින් දිගටම සිදු වන, වන අලි ප්‍රහාරයන්ට ගොදුරු වන ගම්වාසීහු සිය ආරක්ෂාව තහවුරු කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට විශාල පිරිසක් එක් වී සිටියහ.
වන අලි ප්‍රහාර හමුවේ මරණ බයෙන් රාත්‍රිය ගෙවීමට සිදු වී ඇති බව උද්ඝෝෂණයට එක් වූ එක් කාන්තාවක් පැවසුවාය.
‘හවස හයේ ඉඳන් උදේ හය වෙනකන් හරිම බයේ ඉන්නේ. මෙහෙම ජීවත් වෙන්න බැහැ. මීට වඩා හොදයි අපිව අරන් මුහුදට දාන්න’

ඡායාරූප මූලාශ්‍රය, Getty
වන අලි තර්ජනයට දින පහක් ඇතුළත විසඳුමක් ලබා දෙන මෙන් උද්ඝෝෂකයෝ බලධාරීන්ට බල කොට සිටිති.
විරෝධතාකරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රධාන දොරටුව අවහිර කිරීම හේතුවෙන් එහි රාජකාරි වැඩ කටයුතු වලට බාධා එල්ල විය.
පසුගිය සති දෙකක කාලය තුළ වන අලි ප්‍රහාරයට ලක් වීම හේතුවෙන් තිදෙනෙක් මරුමුවට පත් වී ඇති බව පවසන ගම්වැසියෝ, නිවාස හතළිහකට අධික සංඛ්‍යාවකට වන අලි අලාභහානි කර ඇති බවයි කියා සිටියේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
උද්ඝෝෂකයන්ගේ බල කිරීම් හමුවේ මඩකලපුව දිසා ලේකම්වරිය පීඑම්එස් චාල්ස් පැවසුවේ හමුදාවේ සහ වන ජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව දින දහයක් ඇතුළත ගම්වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බවයි.
‘මේ අලි අල්ලලා හබරණ අලි පුනරුත්තාපන මධ්‍යස්ථානයට ගෙන යාමට අමාත්‍යවරයා නියෝග කළා’ දිසා ලේකම්වරිය සඳහන් කළාය.
ගම්වැසියන්ගේ ආරක්ෂාව පිණිස ඉදිරියේදී විදුලි වැටක් ඉදි කිරීමට පියවර ගන්නා බවත් ඇය වැඩිදුරටත්කියා සිටියාය.


























