හෙද සේවයට අයැදුම්පත් කැඳවයි: අයැදුම් කිරීමට පෙර ඔබ දැනගත යුතු කරුණු

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Nursing Council
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
හෙද හිඟයට කඩිනම් පිළියම් සෙවීම සඳහා නවක සිසු හෙද හෙදියන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. මෙම බඳවා ගැනීමට අදාළ නිල නිවේදනය 2026 මැයි 29 වැනිදා නිකුත් කෙරුණු අංක 2487 දරන රජයේ ගැසට් පත්‍රයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අපේක්ෂකයින් 2026 ජුනි මස 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒ සඳහා අයදුම් කළ යුතු වේ.
2025 සිට 2029 දක්වා වූ ඉදිරි පස් වසරක කාල සීමාව තුළ මෙරට සමස්ත රාජ්‍ය හෙද සේවාවට අලුතින් සාමාජිකයින් 13,600ක් එක් කර ගැනීමේ පුළුල් ජාතික උපායමාර්ගික සැලැස්මේ පළමු පියවර වනු ඇත.
වර්තමාන දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ හෙද නිලධාරීන් 43,553ක් සේවය කරන අතර, ගෝලීය වශයෙන් හෙද වෘත්තිකයින්ට පවත්නා ඉහළ ඉල්ලුම හා වෘත්තිකයින් විදේශගත වීම හේතුවෙන් හෙද ක්ෂේත්රයේ දැඩි පුරප්පාඩු ප්‍රමාණයක් මෑතකාලීනව නිර්මාණය වී තිබේ.
පසුගිය වසර 3 කාලය ගත්විට මෙරට හෙද නිලධාරීන් සංඛ්‍යාව ක්‍රමිකව පහළ ගොස් ඇති ආකාරය දත්ත නිරීක්ෂණය කිරීමේදී පෙනී යයි.
මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවට අනුව, 2023 වසරේදී මෙරට සිටි හෙද නිලධාරීන් සංඛ්‍යාව 53,283කි. 2024 වසරේදී එය 49,665 දක්වා පහළ ගොස් ඇති අතර, 2025 වසරේදී එම සංඛ්‍යාව 45,459 දක්වා තවදුරටක් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය සහ සමස්ත රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්රය මුහුණ දී ඇති දැඩි සේවක හිඟයට නව බඳවා ගැනීම් වලින් සහයක් වනු ඇත.
හෙද වෘත්තිය යනු කුමක් ද?
ශ්‍රී ලංකාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිණියක වන පුෂ්පා රම්‍යානි සොයිසා හෙද වෘත්තිය පිළිබඳව බීබීසී සිංහල වෙත මෙලෙස අදහස් දැක්වූවාය.
"සෞඛ්‍ය සේවාවක කොඳු නාරටිය කියන්නේ හෙද සේවාව. හෙද සේවාව පරාඝාතයට [අඩපණ වුණොත්] ලක් වුණොත් මුළු සෞඛ්‍ය සේවාවම පරාඝාතයට ලක් වෙනවා. විද්‍යාව තාක්ෂණය සහ වෙනත් දැනුමටත් වඩා ආදරය, කරුණාව, දයාව මනුෂ්‍යායට ලැබිය යුතුයි."
"මේක වෘත්තියකට වඩා සේවාවක් ලෙස සලකා ක්‍රියාත්මක වීම ගොඩක් වටිනවා කියල මම විශ්වාස කරනවා."
අයදුම් කළ හැක්කේ කාට ද? සපුරා තිබිය යුතු සුදුසුකම් මොනවා ද?
අපේක්ෂකයින් අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා (Biology) විෂය ධාරාවෙන් හෝ භෞතික විද්‍යා/ගණිත (Physical Science) විෂය ධාරාවෙන් පෙනී සිට එකම වරකදී විෂයන් තුනම සමත්ව තිබීම අනිවාර්ය වේ.
එමෙන්ම සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව, ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්ට සම්මාන සාමාර්ථ සහිතව දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 06කින් අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම අත්‍යවශ්‍ය වේ.
වලංගු විභාග වර්ෂ: රජයේ නව තීරණයකට අනුව, පවතින විශේෂ තත්වයන් සලකා බලා වර්ෂ කිහිපයක සිසුන්ට මේ සඳහා අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව 2021, 2022, 2023 හෝ 2024 යන වර්ෂවල උසස්පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයින්ට මෙවර අයදුම් කළ හැකිය.
වයස් සීමාව: අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට (2026 ජූනි 30) අපේක්ෂකයාගේ වයස අවුරුදු 18ත් 28ත් අතර විය යුතුය.
ස්ත්‍රී පුරුෂ භාවය : මෙම වෘත්තීය පාඨමාලාව සඳහා ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයටම අයදුම් කිරීමට අවස්ථාව පවතී.
අනෙකුත් සුදුසුකම්: උස අඩි 04යි අඟල් 10කට (147.3cm) නොඅඩු විය යුතුය.
කඩඉම් ලකුණු තීරණය වන්නේ කෙසේද?
මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) ක්‍රියා පටිපාටියෙන් පරිබාහිරව, සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂිත බඳවා ගැනීමේ රීති මඟින් පාලනය වන්නකි.
දිස්ත්‍රික් පදනම: කඩඉම් ලකුණු (Z - Score) තීරණය කරනු ලබන්නේ සමස්ත ලංකා පදනමින් නොව දිස්ත්‍රික් මට්ටමිනි. ඒ අනුව එක් එක් දිස්ත්‍රික්කයට වෙන් කර ඇති කෝටාවන් සහ අපේක්ෂකයා විභාගයට පෙනී සිටි වර්ෂයට සාපේක්ෂව අවම Z - Score වෙනස් වේ. මේ හේතුවෙන් කොළඹ හෝ මහනුවර වැනි දිස්ත්‍රික්කවල ලකුණු මට්ටම් වලට වඩා දුරස්ථ දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු මට්ටම් පහළ අගයක් ගත හැක.
ස්ත්‍රී පුරුෂ ප්‍රතිශත: සාමාන්‍යයෙන් හෙද සේවයේ පවතින ඉල්ලුම සහ අවශ්‍යතාවය මත, ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවය සඳහා වෙන වෙනම කඩඉම් ලකුණු මට්ටම් ප්‍රකාශයට පත් කෙරේ.
ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂණ පටිපාටිය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මාර්ගගතව ලැබෙන අයදුම්පත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ඉහළම Z - Score ලබා සිටින අපේක්ෂකයින් ලකුණු ප්‍රමුඛතා පදනම මත ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය (Structured Interview) සඳහා කැඳවනු ලැබේ.
ලියකියවිලි පරීක්ෂාව: සම්මුඛ පරීක්ෂණයේදී අපේක්ෂකයාගේ අ.පො.ස. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ මුල් සහතික පරීක්ෂා කරනු ලබයි. මෙහිදී සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විශයන් සඳහා ලබා ඇති සාමාර්ථ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.
යෝග්‍යතාව සහ පෞරුෂය: හෙද වෘත්තිය සඳහා අත්‍යවශ්‍ය වන කායික මානසික සෞඛ්‍ය තත්ත්වය මෙන්ම, රෝගීන් සමඟ කටයුතු කිරීමේදී අවශ්‍ය වන මූලික පෞරුෂ ලක්ෂණ සහ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ මූලික හැකියාව මෙහිදී නිරීක්ෂණය කරයි.
සුරැකුම් බැඳුම්කර: සම්මුඛ පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂණවලින් සමත් වන අපේක්ෂකයින් දිවයිනේ පවතින හෙද පුහුණු පාසල් (Nursing Training Schools - NTS) වෙත ඇතුළත් කරනු ලැබේ.
පුහුණුව ආරම්භ කිරීමට ප්‍රථම, තමන් පුහුණුවෙන් පසු නියමිත වසර ගණනාවක් අනිවාර්යයෙන්ම රජයේ සේවයේ නිරත වන බවට වන සුරකුම් බැඳුම්කරයකට (Surety Bond) සහ ගිවිසුමකට අත්සන් තැබීම අනිවාර්ය වේ.
මාර්ගගතව (Online) අයදුම් කරන්නේ කෙසේද?
මෙවර බඳවා ගැනීම සඳහා තැපැල් මාර්ගයෙන් අයදුම්පත් භාර නොගන්නා අතර සියලුම අයදුම්පත් භාර ගැනීම සිදු කෙරෙන්නේ මාර්ගගත (Online) ක්‍රමයටයි.
අයදුම් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.health.gov.lk වෙත පිවිසිය යුතුය. එහි ප්‍රධාන පිටුවේ ඇති Vacancies & Recruitment යන කොටසට ගොස් ලබා දී ඇති බඳවා ගැනීමේ පුරප්පාඩු ලැයිස්තුවේ Call for Applications Online for the Nursing Training - 2026 යොමුව හරහා විද්‍යුත් Online අයදුම්පත්‍රය වෙත පිවිසිය හැක.
- එක් අයදුම්කරුවෙකුට යොමු කළ හැක්කේ එක් අයදුම්පතක් පමණි. කිහිපවරක් අයදුම්පත් යොමු කිරීම ප්‍රතික්ෂේප වීමට හේතුවක් විය හැක.
- අයදුම්පත පිරවීමට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යංශය වෙබ් අඩවියේ පළ කර ඇති උපදෙස් පත්‍රිකාව හොඳින් කියවිය යුතුය.
- අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය වන 2026 ජුනි මස 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් අන්තර්ජාල පද්ධතිය ස්වයංක්‍රීයව වසා දැමෙනු ඇත.
වෘත්තීය පුහුණුව, මාසික දීමනා සහ රැකියා සුරක්ෂිතභාවය
සමස්ත වෘත්තීය පුහුණු පාඨමාලා කාලය වසර 03කි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව යාවත්කාලීන කිරීමේ අරමුණින්, සියලු දේශන, න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණු කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වේ.
මෙම ව්‍යාපෘතියේ පවතින සුවිශේෂී වාසියක් වන්නේ පුහුණුව ලබන කාලසීමාව තුළත් සිසුන් සඳහා රජයෙන් මාසික දීමනාවක් (Monthly Allowance) ගෙවනු ලැබීමය.
එමෙන්ම වසර 03ක පුහුණුව සාර්ථකව නිම කරන සියලු සිසු සිසුවියන් කිසිදු ප්‍රමාදයකින් තොරව රජයේ රෝහල් පද්ධතිය තුළ ස්ථීර තෙවන ශ්‍රේණියේ (Grade III) හෙද නිලධාරී පත්වීම් සඳහා සෘජුවම අනුයුක්ත කරනු ලැබේ.
































