රජයේ නිලධාරීන්ට අධිකරණ මුක්තියක් නෑ

ඡායාරූප මූලාශ්‍රය, JDS
රජයේ නිලධාරීන් අධිකරණයට කැඳවීම ඔවුන්ට කරන හිරිහැරයක් සේ සැලකිය යුතු නැතැයි අභියාචනාධිකරණය රජයට දැනුම් දුන්නේය.
අභියාචනාධිකරණය බ්‍රහස්පතින්දා මේ බව දැනුම් දුන්නේ හිටපු නීතිපති වරයා අධිකරණයට කැඳවමින් කළ නියෝගයක් අත් හිටුවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ.
විනිසුරු රංජිත් ද සිල්වා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා හැර අන් කිසිවකුටත් අධිකරණය හමුවේ මුක්තියක් නැති බව.
හිටපු නීතිපති මොහාන් පීරිස් ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කැරුණේ මෙයින් දෙ සතියකට පෙර.
ප්‍රගීත් එක්නැලිගොඩ
වසර දෙකහමාරක ට ආසන්න කලකට ඉහතදී අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඉන්නා තැනක් පිළිබඳව තොරතුරු හෙළි කොට ගැනීම පිණිසයි හෝමාගම මහේස්ත්‍රාත් වරයා හිටපු නීතිපති වරයා අධිකරණයට කැඳවුයේ.
රජය එය අභියාචනාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළේ රාජකාරියක නිරත වෙමින් රජයේ නිලධාරියකු කරන ප්‍රකාශයක් පිලිබඳව විමසීම මහජන අභිලාෂයන්ට හානි පමුණුවන බව සඳහන් කරමින්.

ඡායාරූප මූලාශ්‍රය, lanka e news
හිටපු නීතිපති වරයා එක්සත් ජාතීන්ගේ කමිටුවක් හමුවේ රජය නියෝජනය කරමින් කියා තිබුනේ ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ ගතව ඉන්නා බව.
ජිනීවා විමර්ශනය
වධ හිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඉකුත් නොවැම්බරයේ ජිනීවා නුවරදී කළ විමර්ශනයක දී හිටපු නීතිපති මොහාන් පීරිස් ප්‍රකාශ කළේ එක්නැලිගොඩ මාධ්‍ය වේදියා විදේශීය රටක සරණ ලබා සිටින බව.
"මේ බව අපට හොඳටම සහතිකයි," යනුවෙන් සඳහන් කරමින් හිටපු නීතිපති වරයා ජිනීවා නුවරදී කළ ප්‍රකාශයේ වීඩියෝ පටයක්ද ඉදිරිපත් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ ඉල්ලා සිටියේ සිය සැමියා ප්‍රගීත් ඉන්නා තැනක් පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා මොහාන් පීරිස් අධිකරණයට කැඳවන ලෙස.
අභියාචනාධිකරණය ඊට ඉඩ සලසමින් දුන් තීන්දුව අගය කරමින් බීබීසී සංදේශයේ කේ එස් උදයකුමාර් ට කතා කළ සන්ධ්‍යා එක්නැලිගොඩ, හිටපු නීතිපති වරයා ඔහු දන්නා තොරතුරු හෙළි කරනු ඇතැයි විශ්වාසය පළ කළා.
ප්‍රගීත් සොයා ගැනීම සඳහා සන්ධ්‍යා ගොණු කළ නඩුව ලබන මස පස් වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතයි.



























