කවුද මේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග?

ඡායාරූප මූලාශ්‍රය, udayanga weeratunga/facebook
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරෙකු වන, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි නුවරදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගතවූ මාස දෙක ඇතුළත ඔහු අත්අඩංගුවට පත් වූ දෙවෙනි වතාව මෙය ය.
පසුගිය පෙබරවාරි 04 වෙනි දින අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට බලධාරීන් උත්සාහ කළ නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් ඔහුව මුදා හැර තිබිණ.
රැඳවුම් භාරයෙන් මුදා හැර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිසිය ක්‍රියාත්මක කරන පරීක්ෂණ අවසන් වනතෙක් එරටින් පිටව යාම බලධාරීන් විසින් වළකනු ලැබීය.
ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ප්‍රකාර පොලිසිය කළ ඉල්ලීම අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කළේය. එම වරෙන්තුව යොදාගනිමින් උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ශ්‍රී ලංකාව යළිත් වරක් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.
කවුද මේ උදයංග?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මව, උදයංග වීරතුංගගේ මවගේ වැඩිමහල් සොහොයුරිය ය.
වීරකැටිය, මැදමුලනේ උපත ලබා හැදී වැඩුණු ඔහු පසුව කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීය.

ඡායාරූප මූලාශ්‍රය, udayanga weeratunga/facebook
ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත උදයංග වීරතුංග යුක්රේනයේ කීව් අගනුවර පිහිටි ඉංජිනේරු විශ්වවිද්‍යාලයකට ඇතුළත් විණි.
උසස් අධ්‍යාපනය හදාරන අතරවාරයේම ඔහු ව්‍යාපාරික කටයුතුවල ද නිරතව සිටියේය.
යුක්රේනයේදී විද්‍යාපති උපාධිය ලබාගැනීමෙන් අනතුරුවත් ඔහු දිගටම කීව් අගනුවර නතර වී ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අතර, තවත් ශ්‍රී ලාංකික මිතුරෙකු සමග එක් වී එහි ශ්‍රී ලාංකික බොජුන්හලක් ද පවත්වාගෙන ගියේය.
2005 දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව 2006 වර්ෂයේදී ඔහු රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරනු ලැබිණ.
එවක් පටන් වත්මන් ආණ්ඩුව බලයට පත්වන තුරු 2015 මුල භාගය දක්වාම ඔහු එම තනතුර දැරුවේය.
තානාපති පදවිය හෙබැවූ සමයේ ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රුසියානු සහ යුක්රේන සංචාර ද සංවිධාන කළ අතර, මොස්කව් නුවර සංචාරයේදී පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂට සම්මාන ආචාර්ය උපාධියක් ද පිරිනමන ලදි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔහුට එකම රටක අවුරුදු අටකට අධික කාලයක් තානාපති පදවිය දැරීමට හැකි වූයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීප ඥාතියෙකු වීම හේතුවෙන් බව එවක නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධුරය දැරූ අජිත් පී පෙරේරා අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.
තානාපති පදවියෙන් ඉවත්කරනු ලැබීමෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට නොපැමිණි ඔහු, යුක්රේනය සහ එක්සත් අරාබි අමීර් රාජ්‍යයේ වාසය කරන බවට වාර්තා පළ විය.
ඒ අතරවාරයේ ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශීය සංචාරවල යෙදුනු ඇතැම් අවස්ථාවල එම සංචාරවලට එක් වූ බව ඡායාරූප සහිතව ඔහු විසින්ම ෆේස්බුක් ජාලයේ පළ කර තිබුණි.
චෝදනා මොනවාද?
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.
එහිදී උදයංග වීරතුංග විසින් මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට පොලිසිය ඔහුට චෝදනා කරයි.
එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම පිණිස පැමිණෙන මෙන් දැනුම් දෙනු ලැබුව ද, අධිකරණය මග හරිමින් සිටින බව ඔහුට එල්ලවන චෝදනාවකි.
එහෙත් තමන්ට එරෙහිව ආණ්ඩුව එල්ල කරන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග පවසන්නේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් ආණ්ඩුව තමන්ට එරෙහි 'දේශපාලන දඩයමක' යෙදී සිටින බවය.
එබැවින් දැනට ශ්‍රී ලංකාවට පැමිණීමේ අභිලාෂයක් නොමැති බව ඔහු කිහිප වතාවක්ම ප්‍රසිද්ධ නිවේදන මගින් සඳහන් කර තිබේ.
යුක්රේනයේ සටන් වදින රුසියානු හිතවාදී බෙදුම්වාදී කැරලිකරුවන්ට ආයුධ සැපයූ බවට ද ශ්‍රී ලංකා ආණ්ඩුව ඔහුට චෝදනා කර තිබුණි.
ඒ පිළිබඳ යුක්රේනය ශ්‍රී ලංකාවට පැමිණිලි කර ඇති බව ද ආණ්ඩුව පවසයි.
එහෙත් "මා සම්බන්ධයෙන් යුක්රේනය තුළ කිසිදු අපරාධ විමර්ශනයක් සිදුවන්නේ නැති බවට යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් 2015 අප්‍රේල් මස 01 වෙනිදා නිකුත් කරන ලද අංක 668588 දරන සහතිකය මා සතුව ඇත," යනුවෙන් උදයංග වීරතුංග 2015 ජුනි මාසයේ නිකුත් කළ නිවේදනයක දැක්වේ.
අධිකරණ ක්‍රියාමාර්ග
මිග් යානා ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති උදයංග වීරතුංගට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තහනම් නියෝගයක් නිකුත් කළේය.
උදයංග වීරතුංගට අයත් ඉඩම් දෙකක් දොම්පෙ ප්‍රදේශයේ පවතින බව අධිකරණයට දැනුම් දුන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, ඊට අමතරව බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී තට්ටු නිවාස ගොඩනැගිල්ලක් ඔහු සතුව පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ඔහු සතු බැංකු ගිණුම් ගණනාවක් අත්හිටුවීමට ද අධිකරණය පසුගිය වසරේ නියෝග කළේය.
කෙසේ වුවත් යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන්ට ආයුධ සැපයීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කිසිදු පරීක්ෂණයක් පැවැත්වෙන බවක් වාර්තා නොවේ.
තවත් කියවන්න:




























