උදයංග වීරතුංගගේ දේපළ තහනම් කළේ ඇයි?

උදයංග

ඡායාරූප මූලාශ්‍රය, DefenceLK

Published

පසුගිය පාලන සමයේ සිදු වූ මිග් යානා ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් අදාළ නියෝගය ලබා දෙනු ලැබුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇති බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටින උදයංග වීරතුංගට අයත් ඉඩම් දෙකක් දොම්පෙ ප්‍රදේශයේ පවතින බවය.

ඊට අමතරව බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී තට්ටු නිවාස ගොඩනැගිල්ලක් ඔහු සතුව පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

මිග් යානා මිලදී ගැනීමේදී නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල්වලින් ඉහත දේපළ මිලදී ගෙන ඇති බවට සැක පහළ වී ඇතැයි කී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බැවින් අදාළ දේපළ විකිණීම පැවරීම සහ උකස් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය ඉහත කී දේපළ විකිණීම, උකස් කිරීම සහ පැවරීම වළකාලමින් කොළඹ සහ අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරු වෙත අදාළ තහනම් නියෝග නිකුත් කළේය.

මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින උදයංග වීරතුංග මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තු නිකුත් කර තිබේ.

තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනා සියල්ල අසත්‍ය බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

සබැඳි යොමු: