උදයංග අත්අඩංගුවට ගැනීමට 'ලෝක පොලිසිය' වෙත වරෙන්තුවක්

ජාත්‍යන්තර පොලිසිය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය පැනවූයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙනි.
Published

පසුගිය රජය සමයේ ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම්කර තිබෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තුවක් නිකුත් කළේය.

මහේස්ත්‍රාත්වරිය එම නියෝගය පැනවූයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙනි.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව සිටින උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තුවක් නිකුත් කරන්නැයි පොලිසිය මිට සති කිහිපයකට ඉහතදී අධිකරණය හමුවේ ඉල්ලීමක්කර තිබිණ.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේපකරමින් මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ උදයංග වීරතුංග මෙතෙක් සැකකරුවෙකු ලෙස නම්කර නොමැති බැවින් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ නොහැකි බවය.

ඒ අනුව, අද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත්කරමින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේ උදයංග වීරතුංග සැකකරුවෙකු ලෙස නම්කරන අතර ඔහු අත් අඩංගුවට ගන්නැයි දන්වා ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තුවක් නිකුත් කරන ලෙසය.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය විසින් අදාළ වරෙන්තුව නිකුත් කරනු ලැබිණ.