උදයංග වීරතුංග මුදා හැරලා - නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය

උදයංග වීරතුංග

ඡායාරූප මූලාශ්‍රය, Udayanga Weeratunga

Published

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මුදා හරිනු ලැබ ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය තහවුරු කරති.

පැවති ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මතභේදයට තුඩු දුන් මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පසුගිය ඉරිදා (පෙබරවාරි 04) පැවසීය.

කෙසේ නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින නීතිය සහ ජාත්‍යන්තර පොලිසියේ නිල නිවේදනයට අදාළ නීති මගින් උදයංග වීරතුංග තවදුරටත් රඳවා තබා ගැනීම වැළකී ඇති බව ඉහත කී අමාත්‍යංශ විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.

ඔහු රැඳවුම් භාරයෙන් මුදා හැර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පොලිසිය ක්‍රියාත්මක කරන පරීක්ෂණ අවසන් වනතෙක් උදයංග වීරතුංගට එරටින් පිටව යාම එහි බලධාරීන් විසින් වළකනු ලැබ ඇති බවත් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

හිටපු තානාපතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු සැපයීම සඳහා ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා ගොස් සිටිති.

එම පිරිස එරට බලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව පවසන ශ්‍රී ලංකා බලධාරීහු උදයංග වීරතුංගට එරෙහිව එල්ල වී ඇති චෝදනා සහ පැමිණිලි සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ආගමනික කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතීඥයන්ගේ සේවය ලබාගෙන ඇති බව සඳහන් කරති.

Sri Lankan Air Force MiG-27 aircraft fly in formation during a Victory Day parade in Colombo on May 19, 2012. President Mahinda Rajapakse, in an address to the nation, said he could not dismantle military camps in the embattled regions and undermine national security in a country emerging from nearly four decades of ethnic bloodshed.'The diaspora has not stopped their activities (against Sri Lanka),' Rajapakse said, referring to Tamil separatists abroad. 'It is no secret that LTTE (Liberation Tigers of Tamil Eelam) leaders are freely operating abroad.' AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/GettyImages)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් යානා

රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග විසින් ඔහුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග හඳුන්වනු ලබන්නේ "දේශපාලන පළිගැනීමක්" ලෙසය.

අධිකරණය මඟහැර සිටින ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2016 වසරේ දී ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තු නිකුත් කර ඇති නමුත් තමන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය එවැනි වරෙන්තුවක් නිකුත් කර නොමැති බව උදයංග වීරතුංග සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කරයි.

මේ අතර හිටපු තානාපතිවරයාට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජනවාරි 19 වෙනිදා තහනම් නියෝගයක් නිකුත් කළේය.

උදයංග වීරතුංග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ ඥාතියෙකි.

හිටපු ජනාධිපතිවරයා විදේශ සංචාරවල නියැලුණු ඇතැම් අවස්ථාවලදී උදයංග වීරතුංග ද ඔහු සමග සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මීට පෙර මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි.

සබැඳි යොමු: