විභාග අක්‍රමිකතා චෝදනා: කොළඹ සරසවි පාලනාධිකාරියෙන් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා සිසුවෙක් නඩු පවරයි

විභාග අක්‍රමිකතා සිදුකර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා එහි උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරු ශිෂ්‍යයෙකු විසින් නුගේගොඩ දිසා අධිකරණය හමුවේ වන්දි නඩුවක් පවරා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 5

විභාග අක්‍රමිකතා සිදුකර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා එහි උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරු ශිෂ්‍යයෙකු විසින් නුගේගොඩ දිසා අධිකරණය හමුවේ වන්දි නඩුවක් පවරා ඇත.

මුලින් විභාගය අසමත් වූ බව දැනුම් දී තිබියදී කිසිදු විභාගයක් හෝ නොපවත්වා පසුව අවස්ථාවක විභාගය සමත් කර ඇති බව දැනුම් දෙමින් විශ්වවිද්‍යාල බලධාරීන් විසින් උපාධි ප්‍රධානෝත්සවයක් ද පවත්වා ඇතැයි පවසන පෙත්සම්කාර සිසුවා මුලින් විභාගය අසමත් කළ සිසුන් යළිත් විභාගයක් හෝ නොපවත්වා පසු අවස්ථාවක විභාගය සමත් කළේ කෙසේ ද? යන්න පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තමන්ට මෙතෙක් සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැතැයි ද පවසමින් වන්දි නඩුව ගොනුකර ඇත.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් සිසුවෙකු මාර්ගයෙන් තමාගෙන් රුපියල් 80,000 ක මුදලක් ඇගේ ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටි බව ද විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්ට මුදල් දීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු සිද්ධීන් හේතුවෙන් ඔවුන් තමා සමග අමනාපයෙන් පසුවීම නිසා ඔවුන් තමන්ව විභාගයෙන් අසමත් කළ බවද පවසමින් සනත් කුමාර අතුකෝරළ නමැති මෙම ශිෂ්‍යයා විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් වන්දි ඉල්ලා මෙලෙස නඩු පවරා තිබේ.

ඔහු විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි, ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න සහ එහි අංශ ප්‍රධානී සෂිකා අබේදීර මනෝරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක සහ නීතිපතිවරයාට එරෙහිවය.

නීතිඥ දනෝෂා පෙරේරා මගින් සිය පැමිණිල්ල ඉදිරිපත් කරන පැමිණිලිකරු, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2022/2023 වසරේ හැදෑරීම සඳහා කළ ඉල්ලීමකට අනුව තමන් බඳවා ගත් බවත්, පාඨමාලාවේ පළමු අධ්‍යන වාරයේදී කිසිදු අර්බුදයක් උද්ගත නොවූ නමුත් දෙවැනි අධ්‍යයන වාරයේදී 508 විෂය වශයෙන් හඳුන්වනු ලබන කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය සහ 510 විෂය වශයෙන් හඳුන්වනු ලබන ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය යන විෂයන්වලදී තමන්ට විශාල අසාධාරණයක් වූ බවත් සිය පෙත්සමේ සඳහන් කර ඇත.

508 විෂය ඉගැන්වූ ඩී.සී.එල්. දියගුආරච්චි කථිකාචාර්යවරිය එක් අවස්ථාවක සිසුවකු මාර්ගයෙන් මුදල් හදිස්සියක් බව පවසමින් ඇගේ ගිණුමට රුපියල් 80,000 ක මුදලක් බැර කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් ඊට එකඟ නොවූ බව ද සඳහන් කර ඇත.

මෙම සිද්ධියෙන් අනතුරුව 2024 මැයි මස 18 සහ 19 වැනි දිනවල කිරිඇල්ල විජය රිසෝට් ආයතනයේදී පාඨමාලාවට අදාළ දෙදින වැඩමුළුවක් සංවිධානය කර තිබූ බවත්, එම වැඩමුළුවට ඩී.සී.එල්. දියගුආරච්චි කථිකාචාර්යවරියගේ සැමියා ද පැමිණ සිටි බවත් සඳහන් කරන මෙම පෙත්සම්කරු, එක් සිසුවකු පැමිණ කථිකාචාර්යවරියගේ සැමියාට තමාගේ කාමරයේ නවාතැන් ගැනීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීමට තමා විරුද්ධත්වය පළ කළ බවත‍් ඉන් අනතුරුව ඇය තමා සමඟ වෛරයක් ඇතිකරගත් බවත් සඳහන් කර ඇත.

ඉන් පසු අවස්ථාවක පැවති විභාගයේදී 508 විෂය සඳහා ඇය නියමිත ලකුණු දීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව ගොස් අසාධාරණ අත්තනෝමතික හා පළිගන්නා අන්දමින් තමන්ට අගතිදායක වන ලෙස අඩු ලකුණු ලබා දී තමන් විභාගයෙන් අසමත් කර ඇතැයි පවසන පෙත්සම්කාර සනත් අතුකෝරල, විභාගය පැවැත්වීමට පෙරම ඇය විභාගයේදී එන ප්‍රශ්න මොනවා ද යන්න වෙනත් සිසුන් කණ්ඩායමකට හෙළි කර ඇති බවට ද චෝදනා කර සිටියි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2025 වසරේ ජනවාරි මාසයේදී තමන් මේ ආකාරයෙන් අසමත් කර ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව තමා මේ පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කළ බවත්, 2025 වසරේ අප්‍රේල් මාසයේදී තමන් ඇතුළු සිසුන් කිහිපදෙනෙකු විභාගය සමත් වී ඇති බවත් දක්වමින් නව ප්‍රතිඵල ලේඛනයක් නිකුත් කර ඇතැයි පවසන පෙත්සම්කාර සනත් කුමාර අතුකෝරළ ජනවාරි මාසයත් අප්‍රේල් මාසයත් අතර කාලය තුළදී මේ විෂයට අදාළව කිසිදු විභාගයක් නොපැවැත්වූ බවට ද අවධාරණය කර සිටියි.

510 විෂය සඳහා බාහිර ක්‍රියාකරකමක් වශයෙන් සිසුවකුගෙන් රුපියල් 3500 බැගින් මුදල් එකතු කර කණ්ඩායම් ව්‍යාපෘතියක් පැවැත්වූ බවත්, එම ව්‍යාපෘතිය සඳහා සිසුන් පිරිසක් මුදල් දී ව්‍යාපෘතියට ද සක්‍රීයව සම්බන්ධ වුවත් නම් සඳහන් කළ සිසුන් කිහිපදෙනෙකු මුදල් ලබා දුන්න ද ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ නොවූ බවත් පෙන්වා දෙන පෙත්සම්කරු ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ වූ සිසුන්ට මෙන්ම ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ නොවූ එම සිසුන්ට ද සම්පූර්ණ ලකුණු ලබාදී ඇති බවට ද චෝදනා කර සිටියි.

නියමිත ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය අනුව කටයුතු කළේ නම් තමන්ට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව කථිකාචාර්යවරුන්ගේ මෙම අත්තනෝමතික, අනීතික හා අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙන් තමන්ට අහිමි වූ බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ සම්බන්ධයෙන් තමන් විශ්වවිද්‍යාලයේ ඉහළ පාලනාධිකාරියට මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට කළ පැමිණිලිවලට අනුව ආරම්භ කළ විමර්ශන තවමත් සිදුවන බවද පෙන්වා දී ඇත.

මුලින් විභාගය අසමත් කළ සිසුන් යළිත් විභාගයක් හෝ නොපවත්වා පසු අවස්ථාවක විභාගය සමත් කළේ කෙසේද? යන්න පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තමන්ට මෙතෙක් සාධාරණ හේතුවක් ඉදිරිපත් කර නැතැයි සඳහන් කරන පෙත්සම්කරු, වගඋත්තරකාර විශ්වවිද්‍යාල නිලධාරීන් අනීතික සහ නීතිවිරෝධී ක්‍රමෝපායන් අනුගමනය කරමින් මුලින් විභාගය අසමත් වූ බව පැවසූ සිසු පිරිස පසු අවස්ථාවක විභාගය සමත්කර ඇති බවට ද චෝදනා කර සිටියි.

විශ්වවිද්‍යාලයේ මෙම විභාග අක්‍රමිකතාවය පිළිබඳ ඉහළ බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බවත්, එම විමර්ශනය අවසන් කර තමාගේ විරෝධය ද නොතකා විශ්වවිද්‍යාල බලධාරීන් විසින් විභාගය අසමත් වූ සිසුවකුට ද උපාධි ලබා දී ඇතැයි චෝදනා කරන පෙත්සම්කාර සනත් කුමාර අතුකෝරල, කොළඹ විශ්වවිද්‍යාලයේ මෙම නීතිවිරෝධී හා වංචනික ක්‍රියාකලාපය හේතුවෙන් තමාට අදාළ පාඨමාලාවෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ බවත්, මිතුරන් අතර තමා සමච්චලයට ලක්ව ඇති බවත් පෙත්සමෙන් පෙන්වා දී සිටියි.

කොළඹ විශ්වවිද්‍යාලයේ වගඋත්තරකාර බලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමාගේ කාලය, ශ්‍රමය මෙන්ම ධනය ද නිස්කාරණයේ නාස්ති වී ඇති බවට චෝදනා කරන පෙත්සම්කාර සනත් කුමාර අතුකෝරළ, තමාට සිදුවූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50ක වන්දියක් වගඋත්තරකාර විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් අයකර දෙන ලෙස ද ඉල්ලා සිටියි.