PTA යටතේ 'හරක් කටාට' එරෙහිව ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය තීන්දු කරයි

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලා යාමට කුමන්ත්රණය කළේ යැයි චෝදනා කරමින් හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, චූදිතයින් කර ඇතැයි කියන වැරදි සැලකිල්ලට ගැනීමේදී දණ්ඩ නීති සංග්රහය යටතේ චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බව ද මහාධිකරණ නියෝගයේ සඳහන් කර ඇත.
විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම නඩුව ඉකුත්දා විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ඇතුළු නීතිඥවරුන් මූලික විරෝධතා මතු කරමින් සඳහන් කර සිටියේ, සිය සේවාදායකයින්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැමිණිල්ල විසින් එල්ල කරනු ලැබ ඇති චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව ය.
විත්තිකරුවන්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1)(අ) වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් කර තිබුණ ද ඔවුන් කළ වරද, පැමිණිල්ල විසින් නිශ්චිතව දක්වා නොමැති බව කියා සිටි විත්තියේ නීතිඥවරුන්, ඒ අනුව අදාළ වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවත් සිය මූලික විරෝධතාවලින් පෙන්වා දී තිබිණි.
ඊට අමතරව, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් තවත් විරෝධතා කීපයක් ද විත්තියේ නීතිඥවරු මතුකර සිටියහ.
එහෙත්, ඊට පිළිතුරු සපයමින් රජයේ නීතිඥවරයා ප්රකාශ කර තිබුණේ, විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතට වැටෙනවා ද? නැද්ද? යන්න තීන්දු කළ හැක්කේ නඩු විභාගයේදී ඉදිරිපත් වන සාක්ෂි මත පමණක් බව ය.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනාවල වලංගුභාවය මෙම අධිකරණය හමුවේ ප්රශ්න කළ නොහැකි බවත් රජයේ නීතිඥවරයා තර්ක කර තිබිණි.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල සිය නියෝගය ප්රකාශයට පත් කරමින් සඳහන් කළේ, ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කර බැලීමේදී විත්තිකරුවන්ට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට අධිකරණය තීරණය කරන බව ය.
කෙසේ වෙතත්, දණ්ඩ නීති සංග්රහය යටතේ ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවත් මෙහිදී විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කළේ ය.
මෙම නියෝගය ප්රකාශයට පත් කිරීමෙන් අනතුරුව විත්තියේ නීතිඥවරුන් විසින් විත්තිකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබී ය.
එම ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය ලබන 03 වන දා ප්රකාශයට පත් කරන බව විනිසුරුවරයා නියෝග කළේ ය.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු වන රවිඳු සංදීප ගුණසේකර, දිනේෂ් තරංග, මිදිගම රුවන් හෙවත් රුවන් චාමර, සංජය අබේසිංහ යන අය නම් කර තිබේ.
ඔවුහු මේ වන විට විට රිමාන්ඞ් භාරයේ පසුවෙති.
































