කලවා මහත පුද්ගලයින්ට දිගු කාලයක් ජීවත් විය හැකි ද? අලුත් ම පර්යේෂණයකින් හෙළිවූ කරුණු

Six women of different shapes, sizes and ethnicities stand in a line facing away from the camera. They each wear different coloured underwear. Behind them a blue cross has been edited.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශාල කලවා තිබීම ආයුෂ වැඩිවීම සමග සම්බන්ධ වී ඇති අතර විශේෂඥයන් පවසන්නේ මෙයට ප්‍රධාන ම හේතුව කලවාවල ඇති සුවිශේෂී ව්‍යුහය බව ය
    • Author, කේට් බෝවී
    • Role, ගෝලීය සෞඛ්‍යය, බීබීසී ලෝක සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

"අනේ මේවා මේ තරම් මහත නැත්නම් කොච්චර හොඳ ද?" එක්සත් රාජධානියේ ධාවන ශූරියක වන ටාෂා තොම්සන්ට ඇගේ කලවා දෙස බලන හැම වෙලාවක ම හිතුණේ එවැනි අදහසකි.

ඇතැම් සංස්කෘතීන්වල, රූපලාවණ්‍ය ප්‍රමිතීන්ට අනුව සිහින් පාද තිබීම කාලයක සිට ම ඉතා අගය කොට සලකනු ලබයි.

"ඔබට ඒ බලාපොරොත්තු මට්ටමට ළඟා වෙන්න බැරි වුණොත්, ඔබට ඔබ ගැන ම යම් අසාර්ථකත්වයක් දැනෙන්න පුළුවන්," තොම්සන් බීබීසී ලෝක සේවය වෙත කියා සිටියා ය.

නමුත්, විශාල කලවා තිබීම අසාධාරණ ලෙස විවේචනයට ලක්ව ඇති බවත්, ඇත්ත වශයෙන් ම එය ආයුෂ වැඩිවීමට හේතු වන බවත් නවතම පර්යේෂණ සාක්ෂි පෙන්වා දෙයි.

පුද්ගලයන් 25,000ක් යොදාගෙන කළ දැවැන්ත සමීක්ෂණයකට අනුව, කලවාවල වටප්‍රමාණය සෙන්ටිමීටර 5කින් වැඩි වන සෑම අවස්ථාවක ම, ඕනෑ ම හේතුවකින් සිදුවන මරණ අවදානම 18%කින් අඩු වන බව සොයාගෙන ඇත.

නමුත් මෙයින් ඇත්තට ම අදහස් කරන්නේ, අප අපගේ කලවා ලොකු කර ගැනීමට උත්සහ කළ යුතු බව ද?

Tasha beams at the camera with a hand on her hip. She stands outside on the street, and in the blurry background you can make out some passersby and a stall. Her hair is braided, and she wears a blue t-shirt, with pink writing that reads 'Black Girls Do Run UK.'

ඡායාරූප මූලාශ්‍රය, Delene Adams

ඡායාරූප ශීර්ෂ වැකිය, ටාෂා තොම්සන් හැදී වැඩෙන වියේදී, ඇගේ කලවා මහත් වීම ගැන ඇය තුළ තිබුණේ අකැමැත්තකි

මහත කලවා තිබීමේ ඇති වාසි මොනවා ද?

2020 වසරේ කළ (Meta-analysis) පර්යේෂණයට සහභාගී වූවන් දිගුකල් ජීවත් වීමට හේතුව, ඔවුන්ගේ කලවා මහත් වීමට බලපෑ පාද මස්පිඩුව විශාලව තිබීම විය හැකි බව විශේෂඥයෝ විශ්වාස කරති.

එක්සත් රාජධානියේ ලන්ඩන් කිංග්ස් කොලේජ්හි වයස්ගත වීම සහ සෞඛ්‍යය පිළිබඳ මහාචාර්ය ක්ලෙයාර් ස්ටීව්ස් පවසන පරිදි, "කලවයේ ඇති පටක වර්ග තුනෙන් එකක් වන 'මස්පිඩු', සෞඛ්‍යයට සහ දිගුකල් ජීවත් වීමට ඉතා තදින් ම සම්බන්ධ වී ඇති බවට ඉතා ශක්තිමත් සාක්ෂි තිබේ."

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශරීරයේ වැඩි මස්පිඩු ප්‍රමාණයක් තිබීම මගින් ලේවල සීනි මට්ටම පාලනය කිරීමට උදව් වන අතර, එමගින් දියවැඩියාව, හෘද රෝග සහ අනෙකුත් කල් පවතින ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩු කරයි.

බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ 2009 වසරේ පළ වූ අධ්‍යයනයකට අනුව, කුඩා හෝ සිහින් කලවා තිබීම පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවයේ ම හෘද රෝග සහ මරණ අවදානම වැඩි වීමට හේතු වී ඇත.

එසේ ම, ශක්තිමත් කලවා තිබීම නිසා වයස්ගත පුද්ගලයන් ශාරීරිකව දුර්වල වීම වැළැක්වෙන අතර, අනුන් මත යැපීමකින් තොරව ස්වාධීනව තමන්ගේ කටයුතු කර ගැනීමට උපකාරී වේ.

"කලවයේ ඉදිරිපස ඇති මස්පිඩු වයස්ගත වන විට ශාරීරික ක්‍රියාකාරකම් සඳහා ඉතාමත් වැදගත් වෙනවා. මොක ද, පුටුවකින් නැගිටින්න සහ එහා මෙහා ඇවිදින්න අපට උදව් කරන්නේ ඒ මස්පිඩු," ලන්ඩන්හි Guy's and St Thomas රෝහලේ වයස්ගත රෝගීන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන ස්ටීව්ස් පැහැදිලි කළා ය.

අපගේ පාදවලට නිපදවිය හැකි ශක්තිය, වයසට යන විට අපගේ මොළයේ සෞඛ්‍යය යහපත්ව තබා ගැනීමට ද හේතු වන බව සොයාගෙන ඇත.

නිවුන් කාන්තාවන් 300කට වැඩි පිරිසකගේ පාදවල ශක්තිය මැන බැලූ පර්යේෂණයකින් හෙළි වූයේ, පර්යේෂණය ආරම්භයේදී වඩා හොඳ පාද ශක්තියක් තිබූ නිවුන් සහෝදරියට, වසර දහයකට පසුව අනෙක් සහෝදරියට වඩා හොඳ සිතීමේ හා මතක තබා ගැනීමේ හැකියාවක් සහ ශක්තිමත් මස්තිස්ක ව්‍යුහයක් පැවති බව ය.

මෙයට හේතුව කුමක් ද? ක්‍රියාශීලී මස්පිඩු මගින් විශේෂ රසායනික ද්‍රව්‍ය නිපදවයි. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, මෙම රසායනික ද්‍රව්‍ය මගින් මොළයේ ඇති වන ප්‍රදාහයන් අඩු කර, මොළයේ ස්නායු ජාල ආරක්ෂා කරමින් වයස්ගත වන විට අපගේ මොළය ආරක්ෂා කරන බව ය.

"එමෙන් ම, ශාරීරික ක්‍රියාකාරකම් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටත් ඉතා තදින් ම බලපානවා," එම පර්යේෂණය සිදුකළ ස්ටීව්ස් මහාචාර්යවරිය වැඩිදුරටත් පවසයි.

ලන්ඩන් කිංග්ස් කොලේජ් මගින් කරන ලද තවත් පර්යේෂණයකදී, නිතර ම පාපැදි පදින ක්‍රියාශීලී වයස්ගත පුද්ගලයන් පරීක්ෂා කළ අතර, ඔවුන් සතුව වයස අවුරුදු 20ක තරුණයන්ගේ මෙන් ඉතා තරුණ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවතින බව සොයාගෙන ඇත.

Elizabeth Davies sits on a fitness block in a gym, which has exposed brick and weights that can been seen at the edges of the photo. She crosses one leg on top of the block while the other hangs off. She is smiling and wears dark leggings and shoes, and a t-shirt that reads: 'Training for my old lady body.' She has shoulder length brown hair.

ඡායාරූප මූලාශ්‍රය, Ella Cuchet

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබේ වයස කොපමණ වුවත්, කලවාවල මාංශ පේශි ශක්තිමත් කිරීම ආරම්භ කිරීමට තවමත් ප්‍රමාද නැතැයි ශාරීරික යෝග්‍යතා පුහුණුකාරිනී එලිසබෙත් ඩේවිස් පවසන්නී ය

මගේ කලවා වඩා ශක්තිමත් කර ගන්නේ කොහොම ද?

දිගුකල් ජීවත් වීම සඳහා මිනිසුන් කළ යුත්තේ තමන්ගේ කලවාවල හැඩය වෙනස් කිරීමට උත්සහ කිරීම නොව, එහි මස්පිඩු ප්‍රමාණය වැඩි කර ගැනීම බව ශාරීරීක යෝග්‍යතා පුහුණුකාරියක වන එලිසබෙත් ඩේවිස් පවසයි.

"Training for Your Old Lady Body" නමැති පොතේ කතුවරිය වන ඇය වැඩිදුරටත් මෙසේ පවසන්නී ය: "ඔබේ කලවා කුඩා කර ගැනීමට, ලොකු කර ගැනීමට හෝ හැඩය වෙනස් කර ගැනීමට වසර ගණනාවක් තිස්සේ ප්‍රාර්ථනා කරමින් සිටියා නම්, දැන් ඒ සිතුවිලි අත්හැරීමට කාලය ඇවිත්. ඒ වෙනුවට ඔබේ කලවාවලට කොතරම් වැඩ කොටසක් කළ හැකි ද යන්න ගැන අවධානය යොමු කරන්න"

කලවා කුඩා වුවත්, විශාල වුවත් ඒවා එක සේ ශක්තිමත් විය හැකි බව ඇය පෙන්වා දෙයි.

ප්‍රමාණයට වඩා ශක්තිය වැදගත් බව විද්‍යාවෙන් ද තහවුරු වී ඇත. වයස අවුරුදු 70 ගණන්වල පසුවන වැඩිහිටියන් ඇසුරින් 2006 වසරේදී කළ පර්යේෂණයකින් හෙළි වූයේ, කලවා කුඩා වීමට වඩා පාදවල මාංශ පේශි දුර්වල වීම ඔවුන් මිය යාමට ඇති අවදානම බෙහෙවින් වැඩි කරන බව ය.

ඩේවිස් පවසන පරිදි, ඔබ කලවාවල ශක්තිය වැඩි කර ගැනීමට කැමති නම්, ඒ සඳහා හොඳ ම ක්‍රමය වන්නේ ප්‍රතිරෝධී ව්‍යායාම කිරීම ය. බර ඉසිලීම මගින් අස්ථිවල ඝනත්වය වැඩි වන අතර, අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩී යාමට බලපාන 'ඔස්ටියෝපොරෝසිස්' (Osteoporosis) රෝගය වැළැක්වීමේ අමතර වාසිය ද ලැබේ.

සතියකට දෙවරක් හෝ තුන් වරක් පාද සඳහා ව්‍යායාම කිරීම ආරම්භ කිරීමට හොඳ ම පියවරක් බව ඩේවිස් යෝජනා කරයි. "මෙහිදී වැදගත් ම දේ තමයි, තමන්ට පුළුවන් මට්ටමෙන් ව්‍යායාම පටන්ගෙන, කාලයත් එක්ක ඒක ටිකෙන් ටික වැඩි දියුණු කිරීම," ඇය වැඩිදුරටත් පවසයි.

බර ඉසිලීමේ ව්‍යායාම ඔබ වඩාත් ම කැමති ව්‍යායාම ක්‍රමය නොවන්නට පුළුවනි. නමුත් එය ඔබේ දෛනික ජීවිතයේ මග හැරිය නොහැකි, අනිවාර්යයෙන් ම කළ යුතු කොටසක් ලෙස සිතන්නට ඇය තම සේවාදායකයන් දිරිමත් කරයි. "මම මගේ දත් මැදීමට එතරම් කැමති නැහැ. නමුත් මම එය කරන්නේ මගේ මුඛ සෞඛ්‍යයට එය හොඳ බව දන්නා නිස යි," ඇය පවසයි.

එමෙන් ම, ශක්තිමත් වීමේ ව්‍යායාම නිසා අපට සැබෑ ජීවිතයේදී ලැබෙන පොඩි පොඩි ප්‍රායෝගික වාසි ගැන සිතා සතුටු වන ලෙසට ද ඩේවිස් අපව දිරිමත් කරයි.

"මම නිතර ම මිනිසුන්ගෙන් මෙවැනි දේවල් අහනවා: 'මම මගේ මුණුබුරා වඩාගෙන මීටර් 100ක් විතර ගියා, මට කිසි ම මහන්සියක් දැනුණේ නැහැ'... 'මම කොම්පෝස්ට් පොහොර මල්ල කාර් එක ගාවට ම ඇදගෙන ගිහින් කිසි ම අමාරුවක් නැතුව ඒක ඩිකියට දැම්මා."

කලවාවල ඇති මේදය මගින් සෞඛ්‍යමය වාසියක් ලැබේ ද?

මහාචාර්ය ස්ටීව්ස් පවසන පරිදි, ශරීරයේ අනෙක් ස්ථානවල තැන්පත් වන මේදය තරම් කලවාවල ඇති මේදය අහිතකර නැත. විශේෂයෙන් ම උදරය වටා තැන්පත් වන මේදය ඉතාමත් ගැටලුකාරී විය හැකි ය.

ඇතුළාන්ත අවයව වටා තැන්පත් වන 'විසිරල් ෆැට්' ලෙස හැඳින්වෙන මෙම උදරයේ මේදය නිසා, 2 වන වර්ගයේ දියවැඩියාව, හෘද රෝග සහ අක්මාව අක්‍රිය වීමට මෙන් ම පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරන 'මෑෂ්' (MASH - අක්මාවේ මේදය තැන්පත් වීමේ බරපතළ රෝගී තත්ත්වයක්) වැනි රෝග වැළඳීමේ අවදානම ඉහළ යයි.

නමුත් පර්යේෂණවලින් සොයාගෙන ඇති පරිදි, ශරීරයේ කලවා සහ තට්ටම් ප්‍රදේශයේ ඇති මේදය මගින් ශරීරයට ආරක්ෂාවක් පවා සැලසේ. මන්ද, එම ප්‍රදේශයේ ඇති මේද සෛලවලට ශරීරයට අහිතකර නිදහස් මේද අම්ල අවහිර කර තබා ගැනීමේ හැකියාව පවතින බැවිනි.

මෙයින් අදහස් කරන්නේ, සිරුරේ පහළ කොටසේ (කලවා ප්‍රදේශයේ) මේදය තිබීම මගින්, 'අහිතකර' කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන LDL මට්ටම අඩු කිරීමටත්, 'හිතකර' කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන HDL මට්ටම ඉහළ නැංවීමටත්, රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමටත් උපකාරී වන බව ය.

එමෙන් ම, මෙම මේදය ශරීරය අසනීප වන අවස්ථාවලදී හදිසි ශක්ති ගබඩාවක් ලෙස ප්‍රයෝජනවත් වන අතර, එය විශේෂයෙන් ම වයස්ගත පුද්ගලයන්ට බෙහෙවින් උපකාරී වේ.

කලවාවල ඇති අනෙක් ප්‍රධාන පටකය වන්නේ අස්ථි ය. අප වයස්ගත වන විට, 'සාර්කෝපීනියා' (Sarcopenia) නමැති තත්ත්වය නිසා අපගේ මාංශ පේශි ප්‍රමාණය සහ ශක්තිය අඩු වී යා හැකි ය. මෙම තත්ත්වය, අස්ථිවල ඝනත්වය අඩු කර ඒවා බිඳෙනසුලු කරන 'ඔස්ටියෝපොරෝසිස්' රෝග තත්ත්වය තවත් වේගවත් කරයි. එබැවින්, බර ඉසිලීම වැනි ව්‍යායාම මගින් ශක්තිමත් අස්ථි පද්ධතියක් ගොඩනගා ගැනීම වයස්ගතවීමේදී ඉතා වැදගත් වන බව ස්ටීව්ස් පවසයි.

A close up shot of a man's thighs from behind. He is holding the back of his thigh with his hand. He is outside, and we can see blurry trees in the background. He is wearing gray shorts, a blue t-shirt and a smart watch.

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබේ කලවාවල මහත ගැන සිතා දුක් වනවා වෙනුවට, ඔබ අවධානය යොමු කළ යුත්තේ ඒවා කෙතරම් ශක්තිමත් ද යන්න පිළිබඳව ය

ඔබේ ශක්තිය ගැන සතුටු වන්න

'බ්ලැක් ගර්ල්ස් ඩූ රන්' නමැති ක්‍රීඩා එකමුතුවේ නිර්මාතෘවරිය වන ටාෂා තොම්සන්ට, ඇගේ කලවාවලින් කළ හැකි දේ ගැන අවධානය යොමු කිරීම නිසා, ඇය කලවා දෙස බලන ආකාරය වෙනස් කර ගැනීමට උපකාර වී ඇත.

දියණියක ලැබීම නිසා ඇය තම කලවා හැඳින්වීමට භාවිත කරන වචන පවා වෙනස් කිරීමට පෙළඹී ඇත. අතිවිශාල දුරක් ධාවනයේ යෙදෙන 'අල්ට්‍රා මැරතන්' සහ අතිශය දුෂ්කර 'ට්‍රයිඇත්ලන්' ක්‍රීඩා පවා නිම කර ඇති තොම්සන් පවසන්නේ, "මම දැන් ඒවාට මහත යි හෝ ලොකු යි කියන්නේ නැහැ, මම ඒවා හඳුන්වන්නේ 'ශක්තිමත්' (Powerful) කලවා කියලා," යනුවෙනි.

"අපි හැමෝම එකිනෙකට වෙනස් හැඩයන්ගෙන් සහ ප්‍රමාණවලින් යුක්ත යි... ඇත්තට ම වැදගත් වෙන්නේ අපේ ශරීරය පෙනෙන විදිහ නෙවෙයි, අපේ ශරීරයට කරන්න පුළුවන් දේ මොනවා ද කියන එක යි," ඇය වැඩිදුරටත් පවසයි.