රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම අධිචෝදනා ගොනු කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබේ.
ඒ, දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනි.
2012 වසරේ ජූනි මස 12 වන දා සහ 2012 අගෝස්තු 06 වන දා අතර කාල සීමාව තුළ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට බලපෑම් කිරීමක් තුළින් "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා පත්‍රය ගොනුකර තිබේ.
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කර වෙළෙඳපොළට විකිණීමේ කාර්යය සඳහා "සී වූ කම්පැනි ලිමිටඩ්" නමැති කොරියානු සමාගමක් තෝරාගෙන එම කටයුතු සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් "වැලිගොව්වා" නමැති නෞකාව පවරා දීම සඳහා එම සංස්ථාවේ සභාපතිවරයාට බලපෑම් කිරීමට එරෙහිව මෙම චෝදනා ගොනු කර ඇත.
මේ තුළින් විත්තිකරුට එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව 05 කි.
අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නමැති වරද යටතේ විත්තිකරුට එරෙහිව මෙම අධිචෝදනා ගොනු කර තිබේ.
මෙහි සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 13 දෙනෙකු නම් කර ඇත.
නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇති ලේඛන සංඛ්‍යාව 25කි.
මෙම සිද්ධියට අදාළව මීට පෙර පැවති නඩු විභාගයකදී 2025 සැප්තැම්බර් 09 වන දා රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.


































