සත්වලෝලියා ඇළි දිවියාට බිලි

දිල්ලි සත්වෝද්‍යානයේ ඇළි දිවියා සිටින කුඩුව

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, දිල්ලි සත්වෝද්‍යානයේ ඇළි දිවියා සිටින කුඩුව
Published

දිල්ලි සත්වෝද්‍යානයේ සිටින ඇළි දිවියකු තම කුඩුවතුළට වැටුණු නරඹන්නෙකු වෙත කඩා පැන මරා දමා ඇත.

සත්වෝද්‍යානයේ කළමනාකාර රියාස් ඛාන් පැවසුවේ එම තරුණ නරඹන්නා දිවියා සිටින කුඩුවේ වැටට උඩින් එබී බැලීමට යාමේදී මෙය සිදුවී ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ පාසැල් සිසුවකු බව මුලින් වාර්තා වුවද පසුව පොලීසිය පැවසුවේ මියගිය තරුණයා අවුරුදු විස්සක් වයසැති කම්හල් සේවකයකු බවයි.

තම පුතු මානසික රෝගයකට ප්‍රතිකාර ලබන අයෙකු බවයි මියගිය තරුණයාගේ දෙමව්පියන් පොලීසියට පැවසූ බවයි වාර්තා වන්නේ.

රූපවාහිනී දර්ශන මගින් දිස් වන්නේ බියට පත් තරුණයා බිත්තියට හේත්තු වී සිටින අතර දිවියා ඔහු අසල සිටින අයුරුයි.

විපතට පත් තරුණයා එතරම් උස් නොවූ ආරක්ෂක වැටට උඩින් එබී බැලූ අතර පසුව දිවියා සිටින කුඩුව තුළට වැටෙන්නට ඇති බවයි සිදුවීම ඇසින් දුටු හිමන්ෂු CNN-IBN ප්‍රවෘත්ති චැනලයට පැවසුවේ.

“සවස 1.30 ට පමණ එක පාරටම මහ හඬින් කෑ ගහන ශබ්දය ඇසෙන වෙලාවේ අපි හිටියේ උරගයෝ ඉන්න ප්‍රදේශයේ. මම ඇළි දිවියා ඉන්න කුඩුව පැත්තට දුවගෙන ගියා. එතකොට මම දැක්ක දිවියා තරුණයෙකුගේ බෙල්ලෙන් අල්ලගෙන ඉන්න හැටි. තරුණයා වේදනාවෙන් දඟලමින් හිටිය. අසළ හිටපු ළමයි කෝටු කෑලි සහ ගල් කැට දිවිය ඉන්න දිහාවට වීසි කළා. මිනිත්තු දහයක් විතර මේ විදියට ගත වුනත් කවුරුවත් එම තරුණයාව බේරගන්න ආවේ නැහැ” යනුවෙන් ඔහු පැවසීය.