එක්සත් රාජධානිය: ටී රෙක්ස් වර්ගයේ නව ඩයිනසෝරයෙක් සොයා ගනී

dinosaur UK

ඡායාරූප මූලාශ්‍රය, Trudie Wilson

ඡායාරූප ශීර්ෂ වැකිය, චිත්‍රයට නඟා තිබෙන Vectaerovenator inopinatus ගේ අවසාන මොහොත
Published

එක්සත් රාජධානියට අයත් 'අයිල් ඔෆ් වයිට්' දූපතෙන් නව ඩයිනසෝර විශේෂයක් සොයාගෙන තිබේ.

සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ පසුගිය වසරේ දී අයිල් ඔෆ් වයිට් දූපතේ 'ෂැන්ක්ලින්' නගරයේ තිබී හමුවූ අස්ථි හතර ද මෙම නව 'තෙරපෝඩ්' ඩයිනසෝර විශේෂයට අයත් බවය.

ඔවුන් මීට වසර මිලියන 115 කට පෙර ජීවත් වූ අතර දිග අඩි 13 ක් දක්වා වූ බවට ගණන් බලා ඇත.

මොවුන් 'Vectaerovenator inopinatus' ලෙස නම් කර තිබෙන අතර, ටී රෙක්ස් නම් ඩයිනසෝරයන් කණ්ඩායමට අයත් වේ. මොවුන්ගේ සමහර ලක්ෂණ වර්තමානයේ දකින පක්ෂීන්ගේ ද දැකිය හැකිය.

සත්වයාගේ බෙල්ල, පිටුපස සහ වලිගයේ සමහර අස්ථිවල දක්නට ලැබෙන විශාල වායු අවකාශයන් හේතුවෙන් ඔවුනට Vectaerovenator inopinatus යන නම යොදා ඇත. එය මෙම නව සත්ව හඳුනා ගැනීමට විද්‍යාඥයින්ට උපකාර කළ එක් ලක්ෂණයකි.

මෙවැනි ලක්ෂණ නූතන පක්ෂීන් තුළ ද දැකිය හැකිය.

dinosaur UK

ඡායාරූප මූලාශ්‍රය, Michael Garlick

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩයිනසෝර පොසිල හමු වී ඇත්තේ 'ෂන්ක්ලින්' වෙරළෙනි

නූතන පක්ෂීන් තුළ ද දැකිය හැකි මෙම වායු පෙනහළු මලු විස්තාරණයන් වන අතර, ඒවා "හුස්ම ගැනීමේ පද්ධතිය කාර්යක්ෂම කිරීමට උපකාරී වන අතර, එමගින් ඇටසැකිල්ල සැහැල්ලු කරනවා" යැයි සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය පවසයි.

2019 දී සිදු කළ වෙනම සොයාගැනීම් තුනකින් සොයාගත් පොසිල අයිල් ඔෆ් වයිට් දූපතේ සැන්ඩවුන් හි පිහිටි ඩයිනසෝර් කෞතුකාගාරයට භාර දෙන ලදී.

නිරන්තරයෙන් පොසිල සොයන්නෙකු වන රොබින් වෝඩ්, ඔහුගේ පවුලේ අය සමඟ අයිල් ඔෆ් වයිට් වෙත ගොස් සිටියදී මෙම සොයා ගැනීම සිදු කර ඇත.

"අප මේ ඇටකටු සොයා ගැනීමේ ප්‍රීතිය ඇත්තෙන්ම අපූරුයි," ඔහු පැවසීය.

එංගලන්තයේ ලින්කන්ෂයර් හි දිවිගෙවන ජේම්ස් ලොක්යර් ද මෙම දූපතට ගොස් සිටියදී තවත් ඇටකටු කීපයක් සොයා ගෙන ඇත.

dinosaur UK

ඡායාරූප මූලාශ්‍රය, University of Southampton

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 දී සොයා ගන්නා ලද අස්ථි හතරක්

"අතීතයේ දී මට හමු වූ සමුද්‍ර උරග කශේරුකා වලට වඩා වෙනස් පෙනුමක් මෙහි තිබෙන්නේ," ඔහු පැවසුවේය.

"මම සැමවිටම අන් අය අවධානය යොමු නොකරන ප්‍රදේශවල සෙවීම් සිදු කිරීමට වග බලා ගත්තා. මේ අවස්ථාවේදී එය සාර්ථක වුණා."

"මම වෙරළ දිගේ ඇවිදිමින්, ගල් ගසමින් යනවිට ඩයිනසෝරයකුගේ වගේ පෙනෙන ඇටකටු වගයක් දැක්කා," එංගලන්තයේ රයිඩ් ප්‍රදේශයේ පදිංචි පෝල් ෆැරල් පැවසුවේය.

"එය නව විශේෂයක් විය හැකි බව දැනගැනීමෙන් මම ඉතා පුදුමයට පත්වුණා."

'සියුම් ඇටසැකිල්ල'

"මෙම සත්වයාගේ පිහිටා තිබුණු කුහර දැකලා අපි පුදුමයට පත් වුණා. එය වායු අවකාශයන්ගෙන් පිරී තිබෙනවා," සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයට නායකත්වය දුන් ක්‍රිස් බාකර් පැවසීය.

"සත්වයාගේ ඇටසැකිල්ලේ කොටස් තරමක් සියුම්ව තිබෙන්න ඇති."

"වසර මිලියන ගණනකට පෙර යුරෝපයේ සිටි තෙරපෝඩ් ඩයිනසෝරයන්ගේ වාර්තාව එතරම් විශිෂ්ට නැහැ. ඒ නිසා ඩයිනසෝර විශේෂවල විවිධත්වය පිළිබඳ අපගේ අවබෝධය මෙතැන් සිට වැඩි කර ගැනීමට හැකිවීම ඇත්තෙන්ම සතුටට කරුණක්."

dinosaur UK

ඡායාරූප මූලාශ්‍රය, Darren Naish

"සාමාන්‍යයෙන් ඩයිනසෝරයන් ෂන්ක්ලින් වගේ මුහුදු ප්‍රදේශවලින් හමු වෙන්නේ නැහැ. මේ ප්‍රදේශවලින් ඔබට බොහෝ විට හමුවන්නේ පොසිල බෙල්ලන් හෝ වතුරට ගසා ගෙන ආපු දැව. ඒ නිසා මෙය දුර්ලභ සොයා ගැනීමක්."

බොහෝ විට මේ Vectaerovenator ජීවත් වූයේ එහි දේහය හමු වූ ස්ථානයට උතුරින් වන අතර, මළකඳ අසල නොගැඹුරු මුහුදට ගසාගෙන ගොස් ඇත.

මේ තොරතුරු ද කියවන්න: