T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: T20 ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ ඉමේෂා දුලානි

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Cricket | Facebook
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා සංචිතයට දකුණු පළාතෙන් ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත්ව සිටිති.
2002 වසරේ ජනවාරි 20 වන දා උපන් ඉමේෂා දුලානි විතාරණ ගාල්ල රත්ගම ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ තවත් දක්ෂ ක්‍රීඩිකාවකි.
බාලිකා ක්‍රිකට් සඳහා ප්‍රසිද්ධියක් උසුලන රත්ගම, දේවපතිරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ, ඇගේ වැඩිමහල් සහෝදරිය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ආකාරය දැකීමෙන් පසුව ඇති වූ කැමැත්ත හේතුවෙනි.
ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූ අයුරු
ඉමේෂා දුලානි ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹුවේ, පාසලේ 8 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සමයේදී ය. රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු මහේෂ් සඳරුවන්ගේ මග පෙන්වීම යටතේ ඇය තම ක්‍රීඩා දක්ෂතා වර්ධනය කර ගත්තා ය.
දකුණත් පිතිකාරියක ලෙස ඉමේෂා පාසලේ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ඉහළ දක්ෂතා දැක්වූ අතර ඇයට "ගුණ ජය සතුට පදනම" යටතේ සීනිගම ක්‍රිකට් සමාජයට එක් වීමේ අවස්ථාව උදා විය.

ඡායාරූප මූලාශ්‍රය, BCCI
ජාතික කණ්ඩායමට පිවිසි අයුරු
ඉමේෂාට ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමට පිවිසීමට මූලික අඩිතාලම විවර වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ගමට ක්‍රිකට් වැඩසටහන හරහා ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික් තරගාවලි සහ පළාත් තරගාවලි යටතේ දකුණු පළාත් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා ඇයට එහිදී අවස්ථාව හිමි විය.
හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ද ක්‍රීඩා කරමින් සිය දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට සමත් වූ ඇය, දේශීය තරගාවලිවලදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාතික තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත් විය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඇය දැක්වූ දක්ෂතා නිසා සිම්බාබ්වේහිදී පැවැති ICC සුදුසුකම් ලැබීමේ තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූ නමුත් කොවිඩ් වසංගතය නිසා එම තරගය පැවැත්වීමට නොහැකි විය.
මේ හේතුවෙන් ඇයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට හැකි වූයේ, 2023 අප්‍රේල් 29 වන දා බංග්ලාදේශයට එරෙහිව කොළඹ පැවති තරගයේදී ය.
ඇය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 07කදී ලකුණු 142ක් රැස් කරගෙන සිටින අතර, එයට අර්ධ ශතක දෙකක් ද ඇතුළත් වේ.
2023 වසරේදී ම නවසීලන්තයට එරෙහිව කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ඉමේෂා ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරග වරම් දිනා ගත්තා ය. ඇය තරග පන්දු වාර 20 තරග 9කදී ලකුණු 249ක් රැස් කර තිබේ.
පසුගිය වසරේදී ඉන්දියාව සමග ඉන්දියාවේචී පැවති විස්සයි 20 තරගාවලියේදී ඉමේෂා දැක්වූ දක්ෂතා බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.
ඉන්දියාව සමග පැවති පස් වන විස්සයි 20 තරගයේදී ඇය අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර ඒ ඇගේ පළමු ජාත්‍යන්තර විස්සයි 20 අර්ධ ශතකය විය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ අඩු ම විස්සයි 20 ඉනිම ගණනකදී අර්ධ ශතකයක් වාර්තා කරන ලද ක්‍රීඩිකාව ලෙස ද ඇය වාර්තා අතරට එක්වූවා ය.
2026 අප්‍රේල් මාසයේ ICC දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ඉමේෂා දුලානි ද නිර්දේශ වී තිබිණි.
ඉමේෂා දුලානි සහභාගි වන පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය යි.

































