ඇමෙරිකාවේ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ට්‍රම්ප් හැර යයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් තවත් ප්‍රබලයෙකු ඉවත් වී තිබේ. අලුතින් ම ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ නිලධාරියා වන්නේ, ඇමෙරිකානු ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ඩෑන් කෝට්ස්ය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ ට්විටර් පණිවුඩයක දැක්වුණේ, ඩෑන් කෝට්ස් අගෝස්තු මස මැද දී තනතුරෙන් ඉවත් වන අතර එම තනතුරට ටෙක්සාස් කොංග්‍රස් සභික ජෝන් රැට්ක්ලිෆ් නම් කරන බවය.
ඔහු සඳහන් කර ඇත්තේ, රැට්ක්ලිෆ් රට වෙනුවෙන් ශ්‍රේෂ්ඨ මෙහෙවරක් කරනු ඇති බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
රුසියාව සහ උතුරු කොරියාව සම්බන්ධයෙන් කෝට්ස් සහ ට්‍රම්ප් අතර නිරන්තරයෙන් මතභේද පැවතිණි.
ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස CIA සහ NSA ඇතුළු ඇමෙරිකානු බුද්ධි තොරතුරු ඒජන්සි 17ක වැඩ කටයුතු අධීක්ෂණය කිරීම ඩෑන් කෝට්ස්ට පැවරී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
එහෙත්, ඔහුගේ සේවා කාලය තුළ, බුද්ධි තොරතුරු ඒජන්සි විවේචනය කළ ජනාධිපති ට්‍රම්ප්ගේ සහ ඩෑන් කෝට්ස්ගේ අදහස් දිගින් දිගට ම පරස්පර තත්ත්වයක් පෙන්නුම් කළේය.
ඉරානය එල්ල කර ඇති තර්ජන තක්සේරු කිරීමේදී තම බුද්ධි අංශ ප්‍රධානීන් උදාසීන හා අඥාන නිලධාරීන් බව පසුගිය ජනවාරියේදී ජනාධිපතිවරයා සඳහන් කළේය.
ධවල මන්දිරය හැර ගිය, ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරී ලැයිස්තුවේ නවතම නිලධාරියා ඩෑන් කෝට්ස් වේ. හිටපු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් සහ හිටපු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ද මීට පෙර එම ලැයිස්තුවට එක් වූහ.
ඩෑන් කෝට්ස් තනතුර හැර ගියේ ඇයි?
ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ සේවයෙන් ඉවත් වීමේ ලිපියෙහි ඔහු සඳහන් කර ඇත්තේ, තමන්ගේ වසර දෙක හමාරක සේවා කාලය තුළ ඇමෙරිකාවේ බුද්ධි අංශය "කිසි දා නොවූ පරිදි ශක්තිමත් වූ" බවය.
"එහි ප්‍රතිඵලයක් ලෙස, මගේ ජීවිතයේ නව පරිච්ඡේදයකට යොමු වෙන්න කාලය පැමිණ ඇතැයි මම හිතනවා," ඔහු ලියා තිබිණි.
ඩෑන් කෝට්ස් පෙබරවාරි මාසයේදී පැවසුවේ, ජනාධිපතිවරයා තමන්ට තවදුරටත් ධූරයේ රැඳී සිටින ලෙස දැනුම් දුන් අතර, එහෙත්, විදේශ ප්‍රතිපත්තියේ ඇතැම් පරස්පරතාවලට එකඟ වීමට නොහැකි වූ බවය.
විශේෂයෙන් ම, ඇමෙරිකා ජනාධිපතිවරණයේදී රුසියානු මැදිහත් වීම, ඉරාන න්‍යෂ්ටික ගනුදෙනුව සහ උතුරු කොරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් ඔවුන් අතර මතභේද ඇති විය.
ඩෑන් කෝට්ස් යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ජේම්ස් ක්ලැපර්ගෙන් පසු 2017 වසරේ මාර්තු මාසයේ සිට ඩෑන් කෝට්ස් ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.
මිචිගන්හි උපත ලැබූ ඔහු 1960 වසරේදී විශ්වවිද්‍යාල දෙකකින් දේශපාලන විද්‍යාව සහ නීතිය පිළිබඳ උපාධි ලබා ගත්තේය.
ඔහු ඉන්ඩියානා නියෝජනය කළ සෙනෙට් සභිකයෙකු ලෙස 1989 සිට 1999 දක්වා සහ 2011 සිට 2017 දක්වා දෙවරක් සේවය කළේය.
ඊට අමතරව 2001 සිට 2005 දක්වා ඔහු ජර්මනියේ ඇමෙරිකානු තානාපතිවරයා ලෙස ද සේවය කළේය.
අලුතින් පත්වන්නේ කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනාධිපති ට්‍රම්ප් සහ ඔහු ප්‍රතිපත්ති වෙනුවෙන් ප්‍රබල සහයක් දක්වන ජෝන් රැට්ක්ලිෆ් 2015 සිට ටෙක්සාස් නියෝජනය කරන කොන්ග්‍රස් සභිකයෙකි.
තවදුරටත් කියවන්න.



























