ජනපති ට්‍රම්ප්ගේ 'ජාතිවාදී' චෝදනාවලට එරෙහිව මන්ත්‍රීවරියන් සිව් දෙනෙක් එක්වෙති

Rashida Tlaib, Ayanna Pressley, Ilhan Omar and ALexandria Ocasio-Cortez spoke at a press conference on Monday

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, රශීඩා ට්ලයිබ්, අයානා ප්‍රෙස්ලි, ඉල්හාන් ඕමාර් සහ ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ - කෝටෙස්
Published

ජාතිවාදීන් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ට්විටර් ඔස්සේ චෝදනා එල්ල කරනු ලැබූ ඇමෙරිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සිව් දෙනා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ, ජනාධිපතිවරයා ප්‍රශ්න කෙරෙහි අවධානය වෙනතකට හැරීමට උත්සහ දරන බවය.

මාධ්‍ය හමුවකට එක්වෙමින්, ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ නියෝජිතවරියන් වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ - කෝටෙස්, ඉල්හාන් ඕමාර්, අයානා ප්‍රෙස්ලි සහ රශීඩා ට්ලයිබ් ඇමෙරිකානු වැසියන්ගෙන් ඉල්ලා සිටියේ, "ඇම ගිලින්න එපා" යනුවෙනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයෙන් පවසා තිබුණේ, ඇමෙරිකානු පුරවැසියන් වන අදාළ කාන්තාවන් සිව් දෙනාට "පිටව යා හැකි" බවය.

ඔහු, තමන් පළකළ අදහස සම්බන්ධයෙන් පළ වන ජාතිවාදී චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉරිදා (ජූලි 14) පළ කළ ට්විටර් පණිවුඩයෙහි ජනාධිපතිවරයා නිශ්චිත වශයෙන් අදාළ කාන්තාවන්ගේ නම් සඳහන් කර නොතිබිණි. එහෙත්, එහි අන්තර්ගතයෙන් අදාළ ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරියන් පිළිබඳ පැහැදිලි සම්බන්ධතාවක් පළ වී තිබේ.

"සම්පූර්ණයෙන් ම විනාශ වුණු රජයයන් සහිත රටවලින් පැමිණි" කාන්තාවන් ඔවුන්ගේ රටවලට යා යුතු බවට ඔහු පළ කළ අදහස හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය විය.

එම මන්ත්‍රීවරියන් සිව් දෙනා අතරින් තිදෙනෙකු ඇමෙරිකාවේදී උපත ලබා ඇති අතර, ඉල්හාන් ඕමාර් සෝමාලියාවේ ඉපිද කුඩා අවධියේ ඇමෙරිකාවට සංක්‍රමණය වූ අයෙකි.

මේ සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වීමෙන් පසු එම කාන්තාවන් මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළිබඳව ඔවුන්ට යළිත් අවධානය යොමු කිරීමට අවශ්‍ය බවය.

"මේක සරලව ම සියල්ල කඩා වැටී ඇති මේ රජයේ දූෂිත සංකෘතිය සහ අවුල්සහගත තත්ත්වය පිළිබඳ අවධානය වෙන පැත්තකට හැරවීමක්," අයානා ප්‍රෙස්ලි පැවසීය.

මෙහිදී ඉල්හාන් ඕමාර් සහ රශීඩා ට්ලයිබ් යළිත් අවධාරණය කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවටය.

කොන්ග්‍රස් කාන්තාවන් කීවේ කුමක් ද?

"අපව කොන්කිරීමට සහ නිහඬ කිරීමට" ජනාධිපතිවරයා දරන උත්සහයට ඉඩ නොදෙන බව අයානා ප්‍රෙස්ලි පැවසීය.

ඇය සඳහන් කළේ, "වඩා සමානාත්මතාවකින් සහ සාධාරණත්වයකින් යුත් ලෝකයක් ගොඩ නැගීම සඳහා කැපවී සිටින ඕනෑ ම පුද්ගලයෙකුට අපගේ බළකායට එක් විය හැකියි," යනුවෙනි.

එම කාන්තාවන් සිව් දෙනා ම අවධාරණය කළේ, සෞඛ්‍ය ආරක්ෂණය, ගිනි අවි ප්‍රචණ්ඩත්වය සහ විශේෂයෙන් ම මෙක්සිකෝ දේශ සීමාවේදී සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවටය.

"පිටුවහල් කිරීමේ මහා වැටලීම්" සහ "දේශ සීමාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්" හෙළා දකිමින් ඕමාර් පැවසුවේ, "ඉතිහාසයේ දෑස් අප දෙස බලා සිටින," බවය.

ඉල්හාන් ඕමාර්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉල්හාන් ඕමාර්

සුදු ජාතිකයින් නොවන කාන්තාවන් සිව් දෙනෙකු ඉලක්ක කර ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ "නිර්දය ජාතිවාදී ප්‍රහාරය" "සුදු ජාතිකවාදීන්ගේ න්‍යාය පත්‍රයක්" බව පැවසූ ඕමාර් පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයාගේ කැමැත්ත වී ඇත්තේ, "අන් කිසිවක් නොව රට බෙදීම" බවය.

එය "සරලව ම ඔහුගේ ජාතිවාදී න්‍යාය පත්‍රයේ" කොටසක් බව රශීඩා ට්ලයිබ් සඳහන් කළාය.

"අපි තවමත් අවධානය යොමු කරලා තියෙන්නේ ඔහු රටේ නීතියට වගකියන පුද්ගලයෙකු බවට පත් කරන්නයි," ඇය පැවසීය.

මේ ආරවුලට මුල කුමක් ද?

තමන් නිරීක්ෂණය කළ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයක තත්ත්වය පිළිබඳව පසුගිය සිකුරාදා ඇලෙක්සැන්ඩ්‍රියා ඔකේසියෝ - කෝටෙස්, අයානා ප්‍රෙස්ලි සහ රශීඩා ට්ලයිබ් පාර්ලිමේන්තු කමිටුවක් හමුවේ සාක්ෂි ඉදිරිපත් කළහ.

ට්‍රම්ප් පරිපාලනය විසින් අමානුෂික ආකාරයට සංක්‍රමණිකයින් රඳවාගෙන සිටින බවට ඩිමොක්‍රටික් සභිකයින් විවේචන එල්ල කර තිබේ.

කොන්ග්‍රස් නියෝජිතවරියන් සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් ඔස්සේ දැඩි විවේචන එල්ල කළේය.

"ඔබට සතුටට පත් වෙන්න බැරි නම්, හැම තිස්සේ ම පැමිණිලි කරනවා නම්, ඔබට පිටවෙලා යන්න පුළුවන්," ඔහු ධවල මන්දිරයෙන් පිටත පැවති උණුසුම් මාධ්‍ය හමුවකදී පැවසීය.

සඳුදා (ජූලි 15) කොන්ග්‍රස් කාන්තාවන් මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීමෙන් පසු එදින සවස ඔහු යළිත් ට්විටර් ඔස්සේ අදහස් පළ කර තිබිණි.

"ඔබට මෙහෙ සතුටක් නැත්නම් පිට වෙලා යන්න පුළුවන්! ඒක ඔබේ කැමැත්ත. මේක ඇමෙරිකාවට දක්වන ආදරය පිළිබඳ ප්‍රශ්නයක්," ඔහු පළ කර තිබිණි.

ලෝක නායකයින්ගේ ප්‍රතිචාර කෙබඳු ද?

ඇමෙරිකාව සමග මිත්‍ර රටවල් කිහිපයක නායකයින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අදහස් පළ කර තිබිණි.

නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩර්න් පැවසුවේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශයට තමන් "කිසිදු ආකාරයකින් එකඟ නොවන" බවය. කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ද ඊට සමාන අදහසක් පළ කරමින් එය විවේචනය කර තිබිණි.

"කැනඩාව තුළ අපි ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙන් නෙවෙයි. කැනේඩියානුවෙක් කියන්නේ කැනේඩියානුවෙක්," ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටෲඩෝ පැවසීය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූර අපේක්ෂකයින් දෙදෙනා ම ට්‍රම්ප්ගේ ප්‍රකාශය හෙළා දැක තිබිණි. ජෙරමි හන්ට් පැවසුවේ, ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ දැකීමෙන් "මුළුමනින් ම තැති ගත්" බවය. බොරිස් ජොන්සන් සඳහන් කළේ, "යමෙකු පැමිණි ස්ථානයට ආපහු යන්න කියලා ඒ වගේ කතා කරන්න සරලව ම බැහැ." යනුවෙනි.

තවදුරටත් කියවන්න.