9 වැනි පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙන්නේ කෙසේද?

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka

Published

සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (03) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර සභාවාරය ආරම්භයේදී ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවට පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ඔහුගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසීය.

ඒ වෙනුවට ඔහු පිළිගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉදිරිපිටදී ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරයක් පිරිනැමීම සිදු කෙරේ. මෙහිදී ජනාධිපතිවරයාගේ ධජය එසවීමක් සිදු නොවන අතර ජාතික කොඩිය පමණක් එසවීම සිදුකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේය.

අද (03) පෙරවරු 09.30 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදුවන අතර, එහිදී පළමුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණීම සිදුවීමට නියමිතයි.

අනතුරුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන පැමිණීමෙන් පසු, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැමිණීම සිදු වන අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්ප්‍රාප්තිය සිදු වන්නේ ඉන් අනතුරුව‍ය.

එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිළිගැනීමට නියමිතයි.

ත්‍රිවිධ හමුදා ජනාධිපති උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත් කතානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලබයි.

අනතුරුව පැළදුම් කාමරයට පැමිණෙන ජනාධිපතිවරයා පෙරවරු 10.25 පමණ වන තෙක් එහි රැදී සිට සම්ප්‍රදායට අනුව නියෝජ්‍ය වේත්‍රධාරී, සෙංකෝලය අතැති වේත්‍රධාරී, ජනාධිපතිවරයා, කථානායකවරයා, මහලේකම්වරු සහ සහකාර වේත්‍රධාරී යන අනුපිළිවෙලට පෙරහරින් සභාගර්භයට ඇතුළු වීම සිදු වේ. සභාගර්භයට ඇතුළු වීමේදී නියෝජ්‍ය වේත්‍රධාරීවරයා විසින් "ගරු ජනාධිපතිතුමා" යනුවෙන් පවසන අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නැගී සිට ආචාරකිරීම සම්ප්‍රදායනුකූලව සිදුවේ.

සභාගර්භයට පිවිසි ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරන අතර මෙවර ජනාධිපතිවරයාගේ අසුනේ ජනාධිපතිවරයාගේ නිල ලාංඡනය වෙනුවට රාජ්‍ය ලාංඡනය සවිකර තිබීම විශේෂත්වයකි. මෙම අවස්ථාවේදී කථානායකවරයා, පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවකදී අසුන් ගන්නා පහළ ආසනයේ ලේකම් මණ්ඩලය සමඟ අසුන් ගැනීම සිදුවේ. අනතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව සභාව කල් තැබීම සිදුවේ. ඉන් පසු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ ආරාධිත අමුත්තන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.

ජනාධිපතිවරයා සහ ආර්යාව පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අවස්ථාවේදී ද හමුදා උත්තමාචාරයක් පිරිනැමීම සිදුවේ.

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමේ අවස්ථාවට විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, අගවිනිසුරුතුමා, උපරිමාධිකරණ විනිසුරුවරුන්, නීතිපතිතුමා, ආරක්ෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසකට ඇරයුම් කර ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ජූලි 28 වැනිදා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට පියවර ගත්තේය.

ඒ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟ කෝප්, කෝපා ඇතුලු කමිටු රැසක් අහෝසි වන අතර ඒ සඳහා අලුතින් සාමාජිකයින් පත් කළ යුතු වෙයි.

මෙවර ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී, රට මුහුණු දෙමින් ඇති අභියෝග ජය ගැනීමට සර්වපාක්ෂික ආණ්ඩුවක් කඩිනමින් නිර්මාණය කිරීම, අන්තර් කාලීන අයවැයක් හඳුන්වා දීම, ජනතාව පීඩාවට පත්ව ඇති ආර්ථික ගැටලු වලින් මුදවා ගැනීම සඳහා කෙටි කාලීන සහන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ඇතුලු කරුණු පිළිබඳ වැඩි අවධානයක් යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.