ප්‍රකෝටිපතියන්ගේ පාවෙන සුඛෝපභෝගී විනෝද මාළිගා වන සුපිරි යොට් යාත්‍රා යනු මොනවා ද?

Eclipse, a superyacht linked to sanctioned Russian oligarch Roman Abramovich, is docked in Marmaris, Turkey March 22, 2022

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු කතිපයාධිකාරී රොමාන් ඒබ්‍රමොවිච් හා සබැඳි ඉක්ලිප්ස් යාත්‍රාව දැනට තුර්කියේ නැංගුරම් ලා තිබේ
Published

රුසියානු කතිපයාධිකාරීන්ගේ සහ අනෙකුත් ප්‍රකෝටිපතියන්ගේ පාවෙන සුඛෝපභෝගී විනෝද මාළිගා වැනි සුපිරි යොට් යාත්‍රා යනු මොනවා ද?

රුසියානු කතිපයාධිකාරීන්ට අයත් විවිධ සුපිරි යාත්‍රා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. එසේත් නැති ඒවා ඉක්මනින්ම අත්අඩංගුවට පත්වීමේ ඉඩක් තිබේ. නමුත් මෙම අධි සුඛෝපභෝගීත්වය අත්විඳින්නේ ඔවුන් පමණක් නොවේ.

සුපිරි යොට් යාත්‍රාවක් යනු කුමක්ද?

ඔබ, ඉදිරියේ මුහුද හැර අන් කිසිවක් නොමැති, වෙරළක් පෙනෙන මානයක නොමැති යාත්‍රාවක හිඳ ඈතින් හිරු බැස යන දෙස බලා සිටින බව සිතින් මවාගන්න. ඔබ පිටුපසින් හෙලිකොප්ටරයක් ​​සහිත විශාල ඩෙක් එකක්, කුඩා ගොල්ෆ් පිටියක් හා ඔබේ විනෝදාස්වාදය සඳහාම වෙන් වූ තටාකයක් ඇති අතර, මිචෙලින් තරු දිනූ අවන්හල්වල තත්ත්වයට සරිලන රස අහර පැය විසි හතර පුරාම ඔබට සැපයේ.

මේ, ප්‍රකෝටිපතියන් ඔවුන්ගේ සුපිරි යොට් යාත්‍රාවල භුක්ති විඳින සැප සම්පත් පිළිබඳ දළ චිත්‍රයක් පමණි.

මෙම සුඛෝපභෝගී මුහුදු නවාතැන් මේ වන විට බොහෝ රුසියානු කතිපයාධිකාරීන්ට අහිමිව තිබේ. ඔවුන්ගේ සුපිරි යාත්‍රා අත්අඩංගුවට ගෙන හෝ ඉක්මනින්ම අත්අඩංගුවට පත්වීමේ අවදානමේ ඇත.

ලෝකයේ සුපිරි යොට් යාත්‍රා 10,000ක් පමණ ඇතැ යි පැවසෙන අතර, වැඩි වශයෙන් අසන්නට ලැබෙන්නේ රුසියාවට සම්බන්ධ ඒවා ගැන ය. මේවායේ අනෙකුත් හිමිකරුවන් ගල්ෆ් රාජකීයයන්ගේ සිට ඇමෙරිකානු ධන කුවේරයන් දක්වා වෙනස් වේ.

නමුත් යාත්‍රාවක්, 'සුපිරි යොට් යාත්‍රාවක්' බවට පත් කරන්නේ කුමක් ද?

එයට සරල පිළිතුරක් නැත. මෙම යෙදුම බොහෝ යෙදෙන්නේ වඩාත්ම මිල අධික, සුඛෝපභෝගී සහ විශාලතම යොට් යාත්‍රාවලට ය. ඒවා පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන් අනුව විශේෂයෙන් සුඛෝපභෝගීව තනා ඇති අතර, වෘත්තීයමය කාර්ය මණ්ඩලයක් ද ඊට අයත් වේ.

සම්මත වශයෙන් බැලූ විට, සුපිරි යොට් යාත්‍රා සාමාන්‍යයෙන් අඩි 80ත් (මීටර් 24), අඩි 590ත් (මීටර් 180) අතර වේ. බෝට්ටු විශාල වන තරමට ඒවා විස්තර කිරීමට යෙදෙන වචන ද වෙනස් වේ. සමහරු දැන් මෙගා යොට් සහ ගිගා යොට් යාත්‍රා ගැන ද කතා කරති.

Cote d'Azur yachts docked

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශයේ රිවියෙරා බොහෝ සුපිරි යොට් යාත්‍රා සඳහා නිරන්තර ගමනාන්තයකි

සුපිරි යොට් යාත්‍රාවල මිල ඩොලර් මිලියන සිය ගණනක සිට ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා පරාසයක පවතියි.

මෙම පාවෙන මාළිගා, ධනවත් හා ප්‍රසිද්ධ පුද්ගලයන්ට සුඛෝපභෝගී, විවේකී මෙන්ම පූර්ණ පෞද්ගලිකත්වයක් සහිත අත්දැකීමක් ලබා දෙයි.

ලෝකයේ විශාලතම සුපිරි යොට් යාත්‍රාව

2013 වසරේ සිට ලොව විශාලතම පුද්ගලික හිමිකාරීත්වය ඇති සුපිරි යොට් යාත්‍රාවේ වාර්තාවට හිමිකම් කියන්නේ මීටර් 180ක් දිග 'අසාම්' නම් යාත්‍රාව ය. 2019 දී දියත් කරන ලද පර්යේෂණ සහ ගවේශන යාත්‍රාවක් වන REV Ocean දිග 'අසාම්' නම් යාත්‍රාවට වඩා මීටර් තුනකින් වැඩි නමුත් එහි ප්‍රධාන අරමුණ විනෝදය සැපයීම නොවේ.

අසාම්හි හිමිකරු වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබියේ එමීර්වරයා වන ෂෙයික් කලීෆා බින් සයෙඩ් අල් නායන් ය. එහි ඇස්තමේන්තුගත ඉදිකිරීම් මිල ඩොලර් මිලියන 600කි.

MarineTraffic ව්‍යාපෘතියේ දත්තවලට අනුව, එය දැනට පර්සියානු ගල්ෆ් කලාපයේ නවතා තිබේ.

එහි අමුත්තන් 36 දෙනෙකුට උපරිම සුවපහසුවකින් යුතුව නවාතැන් ගත හැකි අතර 80 දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයකට ද ඉඩකඩ සපයයි.

යාත්‍රාවේ අභ්‍යන්තර සැලැස්ම සහ ගෘහ භාණ්ඩ පිළිබඳ තොරතුරු හෙළිකර නැතිමුත්, මීටර් 29ක් දිග ප්‍රධාන තැබෑරුම් කාමරයක්, තටාකයක්, සිනමා ශාලාවක්, ව්‍යායාම ශාලාවක්, සහ හෙලිපෑඩ් දෙකක් ඇති බව ප්‍රකට ය.

Solaris, a superyacht linked to sanctioned Russian oligarch Roman Abramovich, is pictured in Bodrum, southwest Turkey, March 22, 2022. REUTERS/

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ආබ්‍රමොවිච්ගේ සෝලාරිස්

වඩාත්ම මිල අධික සුපිරි යොට් යාත්‍රාව

රුසියානු කතිපයාධිකාරී රෝමන් ඒබ්‍රමොවිච් හා සබැඳි ඉක්ලිප්ස් යාත්‍රාව දැනට ලොව මිල අධිකම යාත්‍රාව ලෙස සැලකේ. ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි නිෂ්පාදන පිරිවැයක් සහ ඩොලර් මිලියන 700ක ඇස්තමේන්තුගත මිලක් එයට හිමි ය.

ඉක්ලිප්ස්හි රාත්‍රී සමාජ ශාලාවක්, රූපලාවන්‍යාගාරයක්, තටාකයක්, සහ ව්‍යායාම මධ්‍යස්ථානයක් වැනි විවිධ සුඛෝපබෝගී අංග ඇත. එමෙන්ම එය ඉතා ආරක්ෂිත ද වේ. එයට සබ්මැරීනයක්, හෙලිකොප්ටර් තුනක්, සහ මිසයිල නාශක ආරක්ෂක පද්ධතියක් ද අයත් ය.

ඉක්ලිප්ස් 'පැපරාසින්ට හසු නොවන' යාත්‍රාවක් බව ද වාර්තා වේ. යාත්‍රා සඟරා කිහිපයක් වාර්තා කරන ආකාරයට, නෞකාව තුළ සිදුකරන ඩිජිටල් කැමරා භාවිතය හඳුනාගෙන අධෝරක්ත කිරණ ආධාරයෙන් පින්තූරවලට හානි කිරීමට 'ලේසර් පලිහක්' ලෙස ක්‍රියා කරන පද්ධතියක් ද මෙම යාත්‍රාවේ ඇත.

එය දැනට තුර්කියේ වඩාත් ජනප්‍රිය නිවාඩු ගමනාන්තයක් වන මාමාරිස්හි නැංගුරම්ලා තිබේ.

ඒබ්‍රමොවිච් හා සම්බන්ධ 'මයි සෝලාරිස්' නම් සුපර්යොට් යාත්‍රාව ඩොලර් මිලියන 600ක වටිනාකමකින් යුතු අතර තුර්කියේ බෝඩ්‍රම්හි තටාකගත කර ඇත. ඉක්ලිප්ස් යාත්‍රාවේ මෙන්ම මෙහි ද රේඩාර්-පාලිත මිසයිල හඳුනාගැනීමේ පද්ධතියක්, වෙඩි නොවදින කවුළු, සහ සන්නද්ධ ආරක්ෂාවක් මෙන්ම එළිමහන් 'බීච් ක්ලබ්' එකක් ද ඇත.

සුපිරි යොට් යාත්‍රාවක ඇති විශාලතම තටාකය?

අනෙකුත් ප්‍රධාන පෙළේ විශාල සහ මිල අධික සුපිරියොට් යාත්‍රා අතරට ඩුබායිහි පාලක සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ට අයත් මීටර් 162ක් දිග, ඩොලර් මිලියන 400ක් වටිනා 'ඩුබායි' යාත්‍රාවත්, උස්බෙකිස්ථානයේ උපන් රුසියානු ව්‍යාපාරික ඇලිෂර් උස්මනොව්ට අයත් 'ඩිල්බාර්' යාත්‍රාවත් ඇතුළත් වේ.

'ඩිල්බාර්' අත්අඩංගුවට ගෙන තිබේ ද යන්න පැහැදිලි නැති නමුත් සමුද්‍ර ගමනාගමන දත්ත වාර්තා පෙන්නුම් කරන්නේ එය මේ වන විට හැම්බර්ග්හි නවතා ඇති බව යි.

'ඩිල්බාර්' පරිමාව අතින් විශාලතම සුපිරියොට් යාත්‍රාවක් ලෙස සැලකේ. වෙනත් බොහෝ යාත්‍රාවන්ට සාපේක්ෂව මෙහි විශාල විනෝද අවකාශයන් ඇති අතර, යාත්‍රාවක මෙතෙක් ස්ථාපනය කර ඇති විශාලතම තටාකවලින් එකක් වන මීටර් 25ක් දිගු තටාකයක් ද ඇතුළත් වේ.

Scheherazade, one of the world"s biggest and most expensive yachts allegedly linked to Russian billionaires, is moored in the harbour of the small Italian town of Marina di Carrara, Italy, March 23, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රෙම්ලින් විවේචක අලෙක්සෙයි නවාල්නි, ෂෙහෙරාසාඩ් ජනාධිපති පුටින් සමග අලලා ප්‍රකාශයන් සිදුකර තිබේ

පුටින්ගේ ෂෙහෙරාසාඩ්?

තවත් විශාල සහ මිල අධික සුපිරි යොට් යාත්‍රාවක් වන්නේ ෂෙහෙරාසාඩ් ය. රුසියානු විරුද්ධවාදී අලෙක්සේයි නවාල්නි මෙම සුපිරි යොට් යාත්‍රාව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා සම්බන්ධ බව පවසයි. එය මේ වන විට ඉතාලියේ මරීනා ඩි කරාරා නගරයේ නැංගුරම් ලා ඇති අතර, යාත්‍රාවේ අයිතිය එක්සත් ජනපද නිලධාරීන් විසින් පරීක්ෂා කරමින් ඇත.

නෞකාවේ බ්‍රිතාන්‍ය ජාතික කපිතාන්වරයා නිව් යෝර්ක් ටයිම්ස් වෙත අදහස් දක්වමින් පුටින් සමග කවරාකාර හෝ සම්බන්ධයක් ඇති බව ප්‍රතික්ෂේප කළේ ය. "මම ඔහුව කවදාවත් දැකලා නැහැ... මම ඔහුව කවදාවත් මුණගැහිලා නැහැ," ඔහු පැවසුවේ ය.

සමහර වාර්තා පවසන්නේ මෙහි හිමිකරු සිටින්නේ මැදපෙරදිග බව යි.

යාත්‍රා සඟරා සහ වෙබ් අඩවිවලට අනුව ෂෙහෙරාසාඩ් මීටර් 140ක් දිග වන අතර එහි වටිනාකම ඩොලර් මිලියන 700ක් පමණ වේ. මෙම අභිරහස් යාත්‍රාව හෙලිපෑඩ් එකක්, විශාල තටාකයක්, සිනමා ශාලාවක්, විනෝදාස්වාදය සපයන ස්ථාන මෙන්ම 'ඩ්‍රෝන් කඩාවැට්ටවීමේ පද්ධතියකින්' ද සමන්විත වන බව පැවසෙයි.

ජනප්‍රිය පුද්ගලයන් පැමිණේ

බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් සඳහා යාත්‍රාවල නිවාඩු ගතකිරීම සාමාන්‍ය ය. මොවුන් බොහෝදෙනෙකුගේ නිරන්තර ගමනාන්තයක් වන්නේ ඇමරිකානු මාධ්‍ය අධිපතියෙකු වන ඩේවිඩ් ජෙෆන් සතු සුපිරියොට් යාත්‍රාවක් වන 'රයිසින් සන්' ය.

මීටර් 138ක් දිග මෙම සුපිරි යොට් යාත්‍රාව ඉදිකිරීමට ඩොලර් මිලියන 200කට අධික මුදලක් වැය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු W සඟරාවට අනුව මෙම සුපිරි යොට් යාත්‍රාවට අමුත්තන් ලෙස ජූලියා රොබට්ස්, ඕප්‍රා වින්ෆ්‍රි, සහ ස්ටීවන් ස්පිල්බර්ග් පැමිණ තිබේ.

සමුද්‍ර ගමනාගමන දත්ත වාර්තාවල දැක්වෙන්නේ මෙය දැනට කැරිබියානු මුහුදේ නැංගුරම්ලා ඇති බවයි.

මෙම සුපිරි යොට් යාත්‍රාව වයින් ගබඩාවකින්, පැසිපන්දු පිටියකින්, සහ සිනමා ශාලාවකින් යුතු ය.

2014 දී මාධ්‍ය සිරස්තල මැවූ තවත් සුපිරි යොට් යාත්‍රාවක් වූයේ කලින් 'ටොපෑස්' ලෙස හැඳින්වූ 'A+' ය. මතභේදයට තුඩුදුන් අමුත්තන් වූයේ ඇමරිකානු නළුවෙකු සහ දේශගුණ ක්‍රියාකාරිකයෙකු වන ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ ඔහුගේ මිතුරන් ය.

Leonardo diCaprio

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සුපිරි යොට් යාත්‍රාවකට ගොඩවීම සම්බන්ධයෙන් පරිසරවේදී සහ නළු ලෙනාඩෝ ඩිකැප්‍රියෝ විවේචනයට ලක්විය

ඩොලර් මිලියන 500කට වඩා වටිනාකමකින් යුතු, මීටර් 145ක් දිග මෙම සුපිරියොට් යාත්‍රාව තවත් එමිරේට් දේශපාලඥයෙකු සහ රාජකීය ප්‍රකෝටිපතියෙකු වන මන්සූර් බින් සයීඩ් අල් නහියන් සතු බව යි වාර්තා වන්නේ.

මෙම යාත්‍රාව පිළිබඳ තොරතුරු කිහිපයක් හෙළිව තිබේ. මෙයට තටාකයක්, හෙලිපෑඩ්, සහ ජැකුසි තටාක වැනි සුඛෝපභෝගී අංගයන්ගෙන් යුත්බව වාර්තා වේ.

2014 දී ඩිකැප්‍රියෝ මෙම සුපිරි යොට් යාත්‍රාව කුලියට ගත්විට, එය ඔහුගේ 'පරිසර හිතකාමී ක්‍රියාකාරීත්වය' සහ යාත්‍රාවේ කාබන් පියසටහන අතර ඇති ප්‍රතිවිරෝධය ගැන විවේචනාත්මක කතාබහක් ඇති කළේ ය.

පාරිසරික පුවත් වෙබ් අඩවියක් වන Ecowatchට අනුව, සුපිරි යොට් යාත්‍රාවක් (ස්ථිර කාර්ය මණ්ඩලය, හෙලිපෑඩ්, සබ්මැරීන, සහ තටාක සහිත) වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 7,020ක් පමණ විමෝචනය කරන බව ක්‍රියාකාරීන් විසින් ඇස්තමේන්තුකර තිබේ. එය සාමාන්‍ය පවුලේ මෝටර් රථ 1,500ක් පමණ විමෝචනය කරන කාබන් ප්‍රමාණයට සමාන ය.