මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු නිදහස් කිරීමට පදනම් වූ 'රාජ්‍යතාන්ත්‍රික මුක්තිය' යනු කුමක්ද?

Brigadier Priyanka Fernando

ඡායාරූප මූලාශ්‍රය, Twitter

    • Author, රංග සිරිලාල්
    • Role, බීබීසී සිංහල
  • Published

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි (එවක බ්‍රිගේඩියර්) ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක (Minister Counsellor-Defence) මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු ට එරෙහිව වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය දී තිබූ තීන්දුව එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් පසුගිය දා අවලංගු කරනු ලැබිණි.

වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුවට එරෙහිව මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු විසින් එක්සත් රාජධානියේ මහාධිකරණයට ඉදිරිපත් කරන ලද අභියාචනය 2021 මාර්තු 19 වන දිනට අවසර දෙන ලද අතර මහාධිකරණය මේජර් ජෙනරාල් ප්‍රනාන්දුට පක්ෂව සිය තීන්දුව ප්‍රකාශ කළේය.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයකුගේ තීන්දුව අවලංගු කෙරුණු මහාධිකරණ තීන්දුවෙන්, ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයේ එවක සිටි ආරක්ෂක උපදේශක නිදොස් කොට නිදහස් කෙරුණේ ඔහුගේ ක්‍රියාකලාපයට ශ්‍රී ලංකා රජය උපදෙස් දීම හෝ අනුමත කිරීම සිදු නොකෙරේ යන මතයට අනුව ය. එවක බ්‍රිගේඩියර්වරයාගේ ක්‍රියාකලාපය බරපතල හා "සාපරාධීත් වුවත්" ඔහු සිය නිල රාජකාරිමය කාර්යභාරය ඉටු කර ඇති බව මහාධිකරණයේ නිගමනය විය.

චෝදනාව හා වෙස්ට්මින්ස්ටර් අධිකරණ තීන්දුව

වසර 2018 දී ලන්ඩනයේ පිහිටි මහ කොමසාරිස් කාර්යාලය තුළ ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම පැවතියදී ඉන් පිටත විරෝධතාවක යෙදුණු එල්ටීටීඊ හිතවාදී උද්ඝෝෂකයින්ට "උගුර කැපීමේ" ඉරියව්ව පාමින් තර්ජනය කර සාපරාධී ක්‍රියාවක් කළ බවට එවක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට චෝදනා එල්ල විණි. ඒ පිළිබඳ 2019 ජනවාරි 21 වෙනි දින පැවති නඩු විභාගයට ඔහු හෝ ඔහු නියෝජනය කරන නීතිඥයෙකු සහභාගී නොවූ අතර එහිදී ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කෙරිණි.

මහේස්ත්‍රාත්වරයා බ්‍රිගේඩියර්වරයාගේ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය පිළිබඳ තත්ත්වය නොදැන සිටි හෙයින් 2019 මාර්තු 15 වෙනිදා තීන්දුව දීම කල් දැමීය. එහෙත්, "උගුර කැපීමේ" අභිනය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාගේ 'රැකියා විස්තරයේ' නොමැති බව පවසමින් මහේස්ත්‍රාත්වරයා පසුව බ්‍රිගේඩියර්වරයා නැවත වරදකරු කළේය.

"බ්‍රිතාන්‍ය සමාජයේ නීතිය සහ සාමය රැකීමට අදාළ පනතෙහි (1986) 4 (a) සහ 5 (1), (6) යන වගන්ති අනුව අන් අයට පෙනෙන හෝ ඇසෙන මානයේ සිට තර්ජනාත්මක ස්වරූපයෙන් හැසිරීම හෝ එවන් වදන් පැවසීම හෝ බිය ගැන්වෙන ආකාරයේ සංඥා කිරීම් හේතුවෙන් එම පුද්ගලයන්ට අඩන්තේට්ටම් සිදු කිරීම, පීඩාවට පත් කිරීම යන චෝදනාවලට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වැරදිකරු බව පළමු අධිකරණය තීන්දුවේ සඳහන් වන බව එම අවදියේ දී නඩු තීන්දුව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික නීතිවේදිනියක වන අප්සරා විජයලත් විස්තර කළාය.

මහාධිකරණ තීන්දුව

අධිකරණ තීන්දුව

වෙස්ට්මින්ස්ටර් අධිකරණයේ තීන්දුව දුන් මහේස්ත්‍රාත්වරයාගේ "තීරණාත්මක ප්‍රශ්නය" වන මෙම ක්‍රියාව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාගේ 'රැකියා විස්තරයේ' නොතිබුණත්, ඔහුට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමි නැත යන්න මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

රාජ්‍යතාන්ත්‍රිකයන් ඔත්තු බැලීමේ නිරත වන අතර එය රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ 'රැකියා විස්තරය' තුළ නොමැති නමුත් ඔවුන් එවැනි රාජකාරිමය කටයුතුවල නිරතවන නිසා එවැනි සියලුම ක්‍රියාවන් ඕනෑම රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ 'රැකියා විස්තර' වල අඩංගු වනු ඇතැයි සිතිය නොහැකි බව විනිසුරු මඩුල්ල විශ්වාස කරන්නේ යැයි මහාධිකරණ තීන්දුවේ දැක්වේ.මහ කොමසාරිස් කාර්යාලයේ පියගැටපෙළ මත බ්‍රිගේඩියර්වරයා නිල ඇඳුමින් සැරසී සිටි බවත් තර්ජනාත්මක ඉරියව්වකින් ඉඟි කිරීමෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය (වීසීඩීආර්) යටතේ ඔහුගේ මුක්තිය අහිමි නොවන බවත් අධිකරණය තීන්දු කළේය.

තීන්දුවෙන් වැඩිදුරටත් කියැවුණේ පැමිණිලි පාර්ශවය ප්‍රියංක ප්‍රනාන්දුට නඩුගාස්තු ගෙවිය යුතු බවය.

වියානා සම්මුතිය

1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය යනු ස්වාධීන රටවල් අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා රාමුවක් නිර්වචනය කරන ජාත්‍යන්තර ගිවිසුමකි. මෙය රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය සඳහා නෛතික පදනම සපයයි. එහි කොන්දේසි නූතන ජාත්‍යන්තර සබඳතාවල මූලික පදනම ලෙස සැලකේ. 2018 ඔක්තෝබර් වන විට එය රටවල් 192 ක් විසින් අනුමත කරනු ලැබ ඇත.

එමගින් සත්කාරක රටේ බලපෑමකට හෝ හිරිහැරයකට ලක්වීමේ බියෙන් තොරව රාජ්‍යතාන්ත්‍රිකයින්ට සිය මෙහෙවරෙහි යෙදීමේ වරප්‍රසාද හිමි කරදී ඇත.

රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය යනු ජාත්‍යන්තර නීතියේ මූලධර්මයක් වන අතර එමඟින් ඇතැම් විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඔවුන්ගේ නිල සහ බොහෝවිට ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් සඳහා සත්කාරක රටේ අධිකරණවල සහ වෙනත් බලධාරීන්ගේ අධිකරණ බලයට යටත් නොවී සිටීමේ හැකියාව රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලෙස ඇමරිකා එක්සත්ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලබයි.

වියානා සම්මුතියේ 31 වෙනි වගන්තියේ සිට 39 වෙනි වගන්තිය දක්වා ඇති විස්තරයට අනුව රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෙකුට සත්කාරක රාජ්‍යයේ අපරාධ අධිකරණ බලයෙන් මෙන්ම ඇතැම් සිවිල් සහ පරිපාලන අධිකරණ බලයෙන් ද නිදහස් වීමක් ලබා දීම විස්තර කර ඇත.

රාජ්‍යතාන්ත්‍රික මුක්තිය වසර 4000ක පමණ කාලයක සිට පැවත එන්නක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශ ප්‍රධානී මහාචාර්ය මනිෂා වනසිංහ පැස්කුවෙල් බීබීසී සිංහල සේවය සමග පැවසීය. එය අදාළ පුද්ගලයන්ට මෙන්ම ස්ථානය සඳහා ද බලපැවැත්වෙන අතර සත්කාරක රටේ පවතින නීතිවලට නිර්මුක්ත නැතහොත් යටත් නොවන බව ඇය කියා සිටියාය.

"රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හිමි පුද්ගලයකුට මිනීමැරුමක් සිදුකර අත්අඩංගුවට පත් නොවී සිටීමේ හැකියාව පවා තිබෙනවා. එසේ නොකළ යුතු නමුත් එසේ සිදුවූ අවස්ථාවන් ලෝකයේ තිබෙනවා," යනුවෙන් ඇය පැවසීය.

එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයකුගේ බිරිඳක් බ්‍රිතාන්‍යයේ දී කළ රථවාහන අනතුරකට අදාළව සිරගත නොවී සිටීමට පමණක් නොව ඇයට රටෙන් පිටව යාමටත් මෙම රාජතාන්ත්‍රික මුක්තිය භාවිත කළ අවස්ථාවක් තිබෙන බව මහාචාර්ය මනිෂා වනසිංහ පැස්කුවෙල් පැවසීය.

පුද්ගලයන්ට පමණක් නොව ස්ථානයන්ට පවා රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ඇති බව ඇය, යම් රටක තානාපති කාර්යාලය මෙන්ම තානාපතිවරයාගේ නිල නිවස ද සලකනු ලබන්නේ එය අදාළ රටේ භූමියක් ලෙස බව පේනවා දුන්නාය. එය සත්කාරක රටේ නීතියට අයත් නොවන අතර යම් පුද්ගලයකු එම භූමියට ඇතුළු වූ විටෙකදී එම අදාළ රට ඔහුව පිළිගත් විට එම පුද්ගලයාටද මුක්තියක් හිමිවන බව මහාචාර්යවරිය සඳහන් කළාය.

විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් රාජ්‍යතාන්ත්‍රිකයකු නොවුවද වසර ගණනාවක් රාජ්‍යතාන්ත්‍රික මුක්තිය එංගලන්තයේ දී ලබාදී තිබුණේ ඔහු තානාපති කාර්යාලයක් තුළ සිටීම හේතුවෙන් වන අතර ඔහු එම තානාපති කාර්යාලයෙන් ඉවතට පැමිණියේ නම් කාලයකට ඉහතදී ඔහු අත්අඩංගුවට පත්වීමට ඉඩ තිබූ බව ද ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා අංශ ප්‍රධානී මහාචාර්ය මනිෂා වණසිංහ පැස්කුවෙල්

ඡායාරූප මූලාශ්‍රය, Maneesha Pasqual

ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබදතා අංශ ප්‍රධානී මහාචාර්ය මනිෂා වණසිංහ පැස්කුවෙල්

"අතීත ග්‍රීක යුගයේ සිට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය තිබෙන බවට බටහිර ජාතින් අතර ඇති තොරතුරුවලින් දැක්වෙනවා. ආසියාවේ ද එවැනි තත්ත්වයක් ඇති අතර ජනප්‍රවාදයේ දැක්වෙන ආකාරයට මහෞෂධ පඬිතුමාගේ කාලයේ කේවට්ටයා පැමිණීම හා මහෞෂධ පඩිතුමා පැමිණීම, ඔවුන් අත්අඩංගුවට නොගැනීමට දී තිබු සහතික හා ඔවුන් මරුමුවට පත් නොකරන බවට දී තිබු සහතිකවලින් ද මේ බව හෙළිවනවා."

"එහෙමයි රාජ්‍යතාන්ත්‍රික මුක්තිය අරම්භ වුණේ. ඒ නිසා එවැනි සම්ප්‍රදායක් අතීතයේ සිටම පැවත ආ බවට සාක්ෂි තිබෙනවා. එහෙත් වියනා සම්මුතියෙන් අද පවතින රාජ්‍යතාන්ත්‍රික මුක්තිය පිළිබඳව සවිස්තරව සඳහන් වනවා." යනුවෙන් ඇය පැවසීය.

කියවන්න: