T20 කාන්තා ලෝක කුසලානය 2026: ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් ගැන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩිකාවකගෙන් අනාවැකි

Team captains at the Women's T20 World Cup with the trophy

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, 2024 වසරේදී අවසන් වරට පැවති T20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති අවසන් තරගයෙන් ජයගත් නවසීලන්තය ශූරතාව හිමි කර ගත්තේ ය
Published
කියවීමේ කාලය: මිනිත්තු 7

කාන්තා T20 ලෝක කුසලාන තරගාවලිය ජූනි 12 වන දා ආරම්භ වන අතර සත්කාරක එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් එදින රාත්‍රී 11ට එජ්බැස්ටන්හිදී ආරම්භ වීමට නියමිත ය.

6 වරක් ශූරතාව දිනූ ඔස්ට්‍රේලියාව කෙරෙහි වැඩි අවධානයක් සමගින් තරගාවලිය ආරම්භ වන නමුත්, එක්දින ලෝක ශූරියන් වන ඉන්දියාව සහ පසුපෙළ අවසන් තරගකරුවන් වන දකුණු අප්‍රිකාව පිළිබඳව තරගාවලිය අතරතුර දැඩි අවධානයක් යොමු වනු ඇතැයි අනාවැකි පළ වෙයි.

එංගලන්තය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ඉන්දියාවට එරෙහිව දැවැන්ත තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ අතර ඔවුන් සත්කාරකත්වය දැරූ කිසිදු ලෝක කුසලානයක් පරාජය වී නොමැත.

කණ්ඩායම් 12කින් සමන්විත මෙම තරගාවලිය කණ්ඩායම් 6කින් යුත් කාණ්ඩ දෙකකින් සමන්විත වන අතර, සෑම කාණ්ඩයකින් ම පළමු කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙයි. ජූලි 5 වන දා ලෝඩ්ස්හිදී මෙහි අවසන් තරගය පැවැත්වේ.

හිටපු එංගලන්ත දඟ පන්දු යවන්නෙකු සහ 2017 ලෝක කුසලානය දිනූ එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකු වූ බීබීසී ටෙස්ට් තරග විශේෂ විශ්ලේෂකයෙකු ද වන ඇලෙක්ස් හාර්ට්ලි සෑම කණ්ඩායමක් සම්බන්ධයෙන් ම මාර්ගෝපදේශයක් ලබා දෙයි.

ඊට අමතරව, ඒ ඒ කණ්ඩායම් තරගාවලිය තුළ හිමි කර ගන්නා ස්ථානය සහ අවධානය යොමු කළ යුතු ක්‍රීඩිකාවන් කවුරුන් ද? යන්න පිළිබඳව ද ඇය අනාවැකි පළ කරයි.

පළමු කාණ්ඩය - ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාව සෑම විට ම ගෝලීය තරගාවලිවලට සහභාගි වන්නේ, ජයග්‍රහණය කිරීමේ වැඩි ම ඉඩකඩක් ඇති කණ්ඩායම් ලෙස ය. එහෙත් ඔවුන්ට මෙවර එය අන් අයට නොව තමන්ට ම යළිත් තහවුරු කර ගැනීමට සිදුව තිබේ. ඒ, ඔවුන්ගේ දක්ෂතා මෑතකාලීනව මදක් පසුබෑමකට ලක්ව ඇති හෙයිනි.

ඔස්ට්‍රේලියාව 2024 වසරේ T20 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේදී සහ පසුගිය වසරේ පන්දු වාර 50 තරගාවලියේදී පරාජයට පත්විය. ඇලිසා හීලි විශ්‍රාම ගැනීමෙන් පසු සොෆී මෝලිනෙක්ස්ගේ නව නායකත්වය යටතේ ඔවුන් තරගාවලියට මුහුණ දෙන්නේ කෙසේ දැයි ක්‍රීඩා ලෝලීහු බලා සිටිති.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: ඇනබල් සදර්ලන්ඩ් (තුන් ඉරියව් ක්‍රීඩිකා)

අනාවැකිය: ලෝක කුසලාන ශූරතාව

ඉන්දියාව

ඉන්දියාවට දෙවන වරට ලෝක ශූරයන් වීමේ හැකියාව නියත වශයෙන් ම තිබේ. ඔවුන් කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අත්දැකීම් ලබා තිබේ. එබැවින්, සෙසු කණ්ඩායම්වලට වඩා පීඩනය යටතේ සහ සෙනඟ ඉදිරියේ ක්‍රීඩා කිරීමට ඔවුහු පුරුදු වී සිටිති.

ඔවුන්ගේ එක්දින ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු, පීඩනය යටතේ අසාර්ථක වන කණ්ඩායමක් ලෙස ඔවුන් පිළිබඳව පැවති හැඟීම බොහෝදුරට ඉවත්විය. කෙසේ වෙතත්, T20 ක්‍රිකට් තරග ආකෘතියේ ඔවුන්ගේ පන්දු යැවීමේ ඒකකය තවමත් ස්ථාවර නොවන බව පෙනෙන හෙයින්, කෙටි පන්දු වාර ආකෘතියේදී ඒ හා සමාන විශ්වාසනීයත්වයක් ඇති කර ගැනීමට ඔවුන්ට දුෂ්කර වනු ඇත.

ඔවුන්ගේ ප්‍රබලත්වය රැඳී ඇත්තේ, පිතිකරණය මත ය. කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙළ අනුව පසුපෙළ දක්වා ම ප්‍රබල පිතිකාරියන් ඔවුන් සතුව තිබේ. එය අනෙකුත් කණ්ඩායම් බොහොමයකට නොමැති විශේෂත්වයකි. නමුත්, ඔවුන් ඉතා ම ප්‍රබල කණ්ඩායම් සහිත කාණ්ඩයකට ඇතුළත් වී සිටින අතර, අනපේක්ෂිත ප්‍රතිඵලයක් සිදුවීමට ඉඩ ඇතැයි ඇලෙක්ස් හාර්ට්ලි අනාවැකි පළ කරයි.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: භාර්ති ෆුල්මාලි (පිතිකරු)

අනාවැකිය: පළමු වටයෙන් ම ඉවතට

දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකාව අඛණ්ඩව ලෝක කුසලාන අවසන් තරග 3කට සුදුසුකම් ලබා තිබුණ ද, ඒවා සියල්ල ම පරාජය වී ඇති බැවින්, පීඩනය යටතේ දුර්වල කණ්ඩායමක් ලෙස ඔවුන් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

මෙය 'ඉතා දැඩි තරගකාරී කණ්ඩායම්වලින් සමන්විත' කාණ්ඩයක් වන හෙයින් එහි ඉදිරියට යාම ඉතාමත් අභියෝගාත්මක ය. කෙසේ වෙතත්, වේග පන්දු යවන්නියක ලෙස මාරිසෑන් කැප් සමග එක්ව අලුත් පන්දුවෙන් පන්දු යැවීමට ෂබ්නිම් ඉස්මයිල් නැවත පැමිණ සිටීම ඔවුන්ට දැඩි ශක්තියක් වනු ඇතැයි ඇලෙක්ස් හාර්ට්ලි විශ්වාස කරයි. එසේ ම, ලෝරා වුල්වාර්ඩ්ට් වැනි අතිශය කැපී පෙනෙන නායිකාවක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීම ඔවුන්ට වාසිදායක ය.

ඉස්මයිල්ගේ නැවත පැමිණීම, දකුණු අප්‍රිකා කණ්ඩායමේ පන්දු යවන්නියන්ගේ ශක්තිය පිළිබඳව සිතුවහොත්, එය පසුගාමී පියවරක් ලෙස ද සැලකිය හැකි යි. එහෙත්, කිසිදු සැකයකින් තොරව ඇය කණ්ඩායම තවත් ශක්තිමත් කරනු ඇතැයි ඇලෙක්ස් හාර්ට්ලි පවසයි.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: ෂබ්නිම් ඉස්මයිල් (වේග පන්දු ක්‍රීඩිකා)

අනාවැකිය: අවසන් පූර්ව වටයෙන් ඉවතට

පකිස්ථානය

පකිස්ථානයට තරග කිහිපයක් ජයගැනීමේ අවස්ථාවක් පවතින බව පෙනී යයි. එහෙත්, ඔවුන්ගේ කාණ්ඩයට ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ දකුණු ආප්‍රිකාව වැනි ප්‍රබල කණ්ඩායම් ඇතුළත් වන හෙයින්, අවසන් පූර්ව වටයට පිවිසීම ඔවුන්ට අසීරු වනු ඇතැයි අනාවැකි පළ කරයි.

එක්දින ලෝක කුසලානයේදී ඔවුන්ගේ පන්දු යැවීමේ ප්‍රබලත්වයේ දැවැන්ත හැකියාව පෙන්නුම් කිරීමට සමත් විය. ඒ, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තයට එරෙහිව අනපේක්ෂිත ජයග්‍රහණ වාර්තා කරමිනි. එහෙත්, ඔවුන්ගේ පිතිකරණ පෙළගැස්මේ දුර්වලතා පවතී.

සියල්ලන්ගේ අවධානය යොමු වනු ඇත්තේ, නායක ෆාතිමා සනා කෙරෙහි ය. ඇයට ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා අවස්ථාවක් ලබා දිය යුතු ද? යන්න පිළිබඳව සාකච්ඡා පවතින හෙයින්, ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව සාර්ථකව ක්‍රීඩා කරමින් තම හැකියාව පෙන්වීමට මෙය ඇයට විශාල අවස්ථාවක් වනු ඇත.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: ෆාතිමා සනා (තුන් ඉරියව් ක්‍රීඩිකා)

අනාවැකිය: පළමු වටයෙන් ඉවතට

බංග්ලාදේශය

පකිස්ථානය සේ ම, බංග්ලාදේශයේ ප්‍රබලත්වය ඇත්තේ ද, පන්දු යැවීම මත ය. පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියේදී ඔවුහු එංගලන්ත පිතිකාරියන් දැඩි පීඩනයකට පත් කළහ. නමුත් ජයග්‍රහණය ලබා ගැනීමට අවශ්‍ය පිතිකරණ පළපුරුද්ද සහ ප්‍රබලත්වය ඔවුන් සතුව නැත.

ඔවුන්ගේ පන්දු යැවීම හරහා කණ්ඩායම් කිහිපයකට බලපෑම් කළ හැකි බව පෙනී යයි. නමුත් මෙම කාණ්ඩයේ ප්‍රධාන ප්‍රබල කණ්ඩායම් තුනකට සැලකිය යුතු අභියෝගයක් කිරීමට එය ප්‍රමාණවත් නොවේ.

ඔවුන්ට මෙය ඉතා අභියෝගාත්මක තරගාවලියක් වනු ඇත. ඒ, ඔවුන්ට ප්‍රමාණවත් තරග සංඛ්‍යාවක් නොලැබෙන නිසාත්, දේශීය තරගාවලියක් නොමැතිව කණ්ඩායමේ ප්‍රබලත්වයක් ගොඩ නැගී නොමැති නිසාත් ය.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: මරූෆා අක්තර් (වේග පන්දු ක්‍රීඩිකා)

අනාවැකිය: පළමු වටයෙන් ඉවතට

නෙදර්ලන්තය

මෙම කාණ්ඩයෙන් ඉදිරියට යාම ඔවුන්ට අතිශය අහම්බයක් විය හැකි වුව ද, ලෝකයේ දක්ෂතම කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 12 දක්වා ඔවුන් මෙතරම් දුරකට පැමිණ තිබීම ම මේ ලෝක කුසලාන තරගාවලියේ හොඳ ම පසුබිම් කතාවලින් එකක් ලෙස නෙදර්ලන්ත කණ්ඩායම හැඳින්විය හැකි ය.

නෙදර්ලන්ත ක්‍රීඩිකාවන්ගෙන් එක් අයෙක් (කැරොලින් ඩි ලාන්ච්) මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා තම වෛද්‍ය වෘත්තිය අත්හැර දමා තිබේ. එයින් ඔවුන්ගේ තත්ත්වය කෙබඳු ද යන්න පැහැදිලි වන අතර ඔවුන් වෘත්තීයමය ක්‍රිකට් කණ්ඩායමක් නොවන බවට එය සාක්ෂි සපයන බව ඇලෙක්ස් හාර්ට්ලිගේ අදහස යි.

නමුත් මෙය ඔවුන්ට අතිශය විස්මිත අත්දැකීමක් වනු ඇති අතර, කණ්ඩායම් 12ක තරගාවලියේ අරමුණ වන්නේ, ක්‍රීඩාව දියුණු කිරීම ය. ඔවුන්ගේ නායිකාව වන බාබෙට් ඩි ලීඩ් සහ ඔවුන්ගේ වැඩි ම අත්දැකීම් ඇති ක්‍රීඩිකාව වන, දිගු කාලයක් එක්සත් රාජධානියේ දේශීය ක්‍රිකට් ක්‍රීඩා කළ ස්ටෙයාර් කාලිස් මත ඔවුන් බොහෝ දෙනෙකු විශ්වාසය තබා ඇත.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: ස්ටෙයාර් කාලිස් (පිතිකාරිය)

අනාවැකිය: පළමු වටයෙන් ඉවතට

දෙවන කාණ්ඩය - එංගලන්තය

මෙම වසරේ T20 ක්‍රිකට් තරග ආකෘතියේ නව වෙනසක් සහිත එංගලන්ත කණ්ඩායමක් දක්නට ලැබිණි. ප්‍රධාන පුහුණුකාරිය චාර්ලට් එඩ්වර්ඩ්ස්, ෆ්‍රේයා කෙම්ප් සහ දානි ගිබ්සන් වැනි ක්‍රීඩිකාවන් හරහා, ඔස්ට්‍රේලියාව මෙන් ම, තුන් ඉරියව් ක්‍රීඩිකාවන් කෙරෙහි ඍජුව ම අවධානය යොමු වී තිබේ.

ඔවුන් පසුගිය ලෝක කුසලාන තරගාවලි කිහිපයකදී දුර්වල තරග විලාසයන් ප්‍රකට කර ඇත. ඔවුන් 2022න් පසු ලෝක කුසලාන අවසාන තරගයකට සුදුසුකම් ලබා නැහැ. එබැවින් ඔවුන් කලින් අසාර්ථක වූ පීඩන මොහොතවලදී දැන් තමන් දියුණු වී ඇති බව පෙන්වීමට අපේක්ෂාවෙන් සිටිනවා වන්නට පුළුවන.

ඔවුන්ට ඉතා හොඳ සූදානමක් තිබුණු අතර, ප්‍රබල කණ්ඩායමක් වන ඉන්දියාව පරාජය කිරීමෙන් ඔවුන්ට දැඩි ආත්ම විශ්වාසයක් ගොඩනගා ගත හැකි වනු ඇත.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: ෆ්‍රේයා කෙම්ප් (තුන් ඉරියව් ක්‍රීඩිකා)

අනාවැකිය: අනුශූරතාව

නවසීලන්තය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔවුන් වර්තමාන ලෝක ශූරයන් වුවත්, 2024දී ලැබූ ජයග්‍රහණය අනපේක්ෂිත ජයක් වූ අතර, මේ තරගාවලියේදී තවදුරටත් ඔවුන් ජයග්‍රහණය සඳහා අඩු අවස්ථා ඇති කණ්ඩායමක් ලෙස ම පවතී.

ඔවුන්ට එම ශූරතාව නැවත තහවුරු කර ගනු ඇතැයි ක්‍රිකට් ලෝලීන් තුළ විශ්වාසයක් නොමැති අතර, එහෙයින් ඔවුන්ට පීඩනයකින් තොරව තරගාවලියට සහභාගි විය හැකි වනු ඇත.

එංගලන්තයට එරෙහිව, සිය පිතිකරණ අනුපිළිවෙළ පිළිබඳව ඔවුන් තුළ බොහෝවිට ව්‍යාකූල තත්ත්වයක් පෙනී ගියේ ය. තව ද, සුසී බේට්ස් කෙසේ භාවිත කළ යුතු ද යන්න පිළිබඳව තවමත් නිවැරදි ලෙස තීරණය කරගෙන නොමැති අතර, ඇය පිතිකරණ ලැයිස්තුවේ මුල් පෙළ මෙන් ම නව වන ස්ථානයේ ද ක්‍රීඩා කළා ය.

මෙලී කෙර් සහ සොෆී ඩිවයින් මත ඔවුන් වැඩි විශ්වාසයක් තබන බව එම තරග මාලාවේදීත් පැහැදිලිව පෙනිණි. බේට්ස්, ඩිවයින් සහ ලී ටහූහු යන ප්‍රධාන ක්‍රීඩිකාවන් තිදෙනා තමන්ගේ අවසාන තරගාවලියට සහභාගී වෙමින් සිටිති. එය ඔවුන්ට මානසික නිදහසක් වේවි ද?, එසේ නැතහොත් තවත් පීඩනයක් වේවි ද? යන්න තීරණය කළ හැක්කේ, ඔවුන්ගේ ක්‍රීඩා විලාසය නිරීක්ෂණය කිරීමෙන් පසුව ය.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: සොෆී ඩිවයින් (තුන් ඉරියව් ක්‍රීඩිකා)

අනාවැකිය: පළමු වටයෙන් ඉවතට

බටහිර ඉන්දීය කොදෙව්

"හේලි මැතිව්ස් සහ ඩියැන්ඩ්‍රා ඩොටින් ආරම්භක පිතිකාරියන් ලෙස දැකීම මම ඉතා කැමති යි; ඔවුන් පන්දු යවන්නියන්ට දැඩි පීඩනයක් එල්ල කරනු ඇත" යනුවෙන් ඇලෙක්ස් හාර්ට්ලි පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කෙසේ ක්‍රීඩා කරයි ද යන්න පිළිබඳව කිසිවෙකුට නිශ්චිතව කිව නොහැකි අතර එම හේතුව නිසා ම ඔවුන් ක්‍රීඩා කරන ආකාරය නැරඹීම ඉතා ප්‍රියජනක ය.

අත්දැකීම් සහිත ස්ටෙෆනි ටේලර් පසුගිය කාලයේදී තම දක්ෂතා වැඩිදියුණු කරගෙන තිබේ. එසේ ම, ෂිනෙල් හෙන්රිට ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථා ලැබී ඇති අතර, එය මැතිව්ස් මත තිබෙන අධිවිශ්වාසය අඩු කිරීමට උපකාරී විය හැකි බවට අපේක්ෂා කළ හැක.

පිතිකරණ ප්‍රබලත්වය හේතුවෙන් ඔවුන්ට තමන්ට වාසිදායක තරගවල ජය ගැනීමේ හැකියාවක් පවතී. නමුත් ඔවුන් පන්දු යැවීමේ ඇති අස්ථාවරභාවය පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: ෂිනෙලි හෙන්රි (තුන් ඉරියව් ක්‍රීඩිකා)

අනාවැකිය: අවසන් පූර්ව වටයෙන් ඉවතට

ස්කොට්ලන්තය

ස්කොට්ලන්ත කණ්ඩායම සම්පූර්ණයෙන් ම ජයග්‍රහණය සඳහා අඩු අවස්ථා ඇති කණ්ඩායමක් (real underdogs) ලෙස පෙනී යයි. එහෙත් ඔවුන් සතුව ඉතා හොඳ කණ්ඩායමක් ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එක්සත් රාජධානියේ දේශීය ක්‍රිකට් තරග සඳහා නිරන්තරයෙන් ක්‍රීඩා කරති.

එමගින් ඔවුන්ට ඉතා වේගවත්ව සිය දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබී ඇත. ඔවුන් අයර්ලන්තය වැනි කණ්ඩායම්වලට වඩා ඉක්මනින් දක්ෂතා දියුණු කරගෙන තිබේ. ක්‍රිස්ටී ගෝඩ්න් කණ්ඩායමට නැවත එක්වීම විශාල ශක්තියක් වනු ඇත. ඇය එංගලන්තයෙන් ඉවත් වී නැවත ස්කොට්ලන්තයට එක්වී තිබේ.

"ඔවුන් අනපේක්ෂිත ජයක් ලබා ගනු ඇතැයි මට හිතෙනවා. ඒත් ඒක ඔවුන්ට කාණ්ඩයෙන් ඉදිරියට යාමට ප්‍රමාණවත් වෙයි කියලා මම හිතන්නේ නැහැ," ඇලෙක්ස් හාර්ට්ලි පවසයි.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: ඇලීසා ලිස්ටර් (පිතිකාරිය)

අනාවැකිය: පළමු වටයෙන් ඉවතට

අයර්ලන්තය

අයර්ලන්ත කණ්ඩායමට කාණ්ඩයේ ඉහළට යාමට දැවැන්ත අභියෝග රැසක් පවතී.

පිතිකරණ සම්බන්ධයෙන් ගත්විට, ලෝරා ඩිලනි ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වී ඇති හෙයින් ගැබී ලුවිස් සහ ඕලා ප්‍රෙන්ඩර්ගාස්ට් මත ඔවුන් අධික ලෙස විශ්වාසය තබා තිබේ.

ඔවුන් ලෝක කුසලානයට පෙර පැවති තුන් කොන් තරග මාලාවේදී බටහිර ඉන්දීය කොදෙව් සහ පකිස්ථානයට එරෙහිව හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කළ ද, එය නොවෙනස්ව පවත්වාගෙන යා හැකි ද යන්න පිළිබඳව සැකයක් ඇතැයි ඇලෙක්ස් පවසයි.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: ඇමී හන්ටර් (කඩුලු රකින්නිය සහ පිතිකාරිය)

අනාවැකිය: පළමු වටයෙන් ඉවතට

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, එක් සුපිරි ක්‍රීඩිකාවක කෙරෙහි අධික ලෙස විශ්වාසය තැබීමේ හුරුපුරුදු රටාව ම තවමත් පවතී. ඒ, චමරි අතපත්තු ය. ඇය අතිශයින් ම දක්ෂ ක්‍රීඩිකාවක් වුව ද, හැම විට ම තරග ජයග්‍රහණය කරවිය හැකි ක්‍රීඩිකාවක් නොවේ.

ඔවුන් තරගයක් ජය ගත හැකි ආකාරයෙන් ක්‍රීඩා නොකරන හෙයින් එක් ක්‍රීඩිකාවක කෙරෙහි පමණක් විශ්වාසය තැබීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු ය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට අවශ්‍ය ව්‍යූහය නිසි ලෙස සකස් කර නැති අතර, පිතිකරණය ඔවුන්ගේ ප්‍රධාන දුර්වලතාව වේ.

කෙසේ වෙතත්, ඔවුන් සතුව සවිමත් පන්දු යැවීමේ බලඇණියක් පවතින අතර, එය ප්‍රධාන වශයෙන් දඟ පන්දු මත පදනම් වූ එකක් වීමට වැඩි සම්භාවිතාවක් ඇත.

බලපෑම්සහගත ක්‍රීඩිකාව: කවීෂා දිල්හාරි (තුන් ඉරියව් ක්‍රීඩිකා)

අනාවැකිය: පළමු වටයෙන් ඉවතට