"මම ඡන්දෙ ඉල්ලනවා"

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අරවින්ද තිසර රතුවිතාන
    • Role, බීබීසී සිංහල
  • Published

ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ භික්ෂූන් වහන්සේගේ ක්‍රියාදාමය ඈත අතීතයේ සිට ම පැවතුණු බව කවුරුත් දන්නා ඓතිහාසික කාරණයකි.

යටත් විජිත යුගයේ පවා භික්ෂූන් වහන්සේ ඒ වෙනුවෙන් පෙනී සිටියහ.

1815 දී ඉංග්‍රීසි කොඩිය බිම දැමුවේ ද භික්ෂූන් වහන්සේ නමකි. ඒ, වාරියපොළ සුමංගල හාමුදුරුවෝය.

බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කෙරුණු අරගලයේදී කුඩාපොළ හාමුදුරුවෝ ඉදිරියෙන් ම සිටියහ. අවසානයේ උන් වහන්සේ ඉංග්‍රීසි හමුදාවේ උණ්ඩයට ගොදුරු වූහ.

කොබ්බෑකඩුවේ හාමුදුරුවන්ගේ නාමය ද ඉතිහාස පොතේ ඉහළින් ලියැවිණි.

1948 දී නිදහස ලැබීමෙන් පසුව ද රටේ දේශපාලනයට භික්ෂූන් මැදිහත් වූහ.

1956 දී එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක ආණ්ඩුවේ බල පෙරළිය සිදුවන්නේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

අනතුරුව හැටේ දශකයේ සහ හැත්තෑව දශකයේ ද දේශපාලනයට භික්ෂූන් වහන්සේ ගේ මැදිහත් වීම විවිධාකාරයෙන් පැවතිණි.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කාලයාගේ අවෑමෙන් භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකාවේ 'සෘජු දේශපාලනයට' අත ගැසූහ.

2004 වන විට ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරිත්වය හමුවේ භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු මැතිවරණයට පවා ඉදිරිපත් වූහ.

එම මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නාම යෝජනා ලබා දුන්නේ භික්ෂූන් වහන්සේට පමණි.

එහි ප්‍රතිඵලයක් වශයෙන් 'මන්තී‍්‍ර හාමුදුරුවරුන්' නව නමක් පාර්ලිමේන්තු අසුන් නවයකට වැඩම කළ සේක.

2015 යහපාලනය ඇති වූයේ ද භික්ෂූන් වහන්සේ ගේ සහභාගිත්වයෙනි. එහි මූලිකත්වය ගත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය.

මෑත කාලයේ වැඩි ම භික්ෂු දායකත්වයක් දැක්වූ දේශපාලන තරගය වුයේ පසුගිය ජනාධිපතිවරණයයි.

නමුත් ජනාධිපතිවරණයෙන් තුන් මසක් ඇවෑමෙන් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා කිසිදු භික්ෂුවකට නාම යෝජනා නොදෙන ලෙසට අස්ගිරි පාර්ශවයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත.

අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන්
ඡායාරූප ශීර්ෂ වැකිය, අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන්

මේ පිළිබඳව සොයා බැලීම සඳහා අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් ඇමතූ විට උන් වහන්සේ කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා භික්ෂූන් වහන්සේට නාම යෝජනා ලබා දීම නොකළ යුතු දෙයක් බවය.

"වර්තමාන රජයේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු බලධාරීන්ට අවධාරණය කර සිටිනවා පාර්ලිමේන්තු හෝ පළාත් සභා වැනි මැතිවරණවලදී භික්ෂූන් වහන්සේලාට නාම යෝජනා දෙන්න එපා කියල," උන් වහන්සේ පැවසූහ.

"භික්ෂූන් වහන්සේලා සිටිය යුත්තේ දේශපාලකයාට ඉහළින්."

"පාර්ලිමේන්තුව වගේ තැනක භික්ෂූන් වහන්සේ කෙනෙක් සිටීම සුදුසු නැහැ. මක් නිසාද, වර්තමාන දේශපාලනයේ දී මේ පාර්ලිමේන්තුවේ තියෙන්නේ සුබවාදී තත්වයක් නොවෙයිනේ. උදාහරණයක් හැටියට මඩ ගොහොරුවක්, අසුචි ගොඩක් විදියටනෙ හඳුන්වල දෙන්නේ. එහෙම තැනකට ඇතුළත් වීම භික්ෂුවක ගේ පරිහානියක්." අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.

පාර්ලිමේන්තුව තුළ සිදු වූ කලබැගෑනියක දී මන්ත්‍රී භික්ෂුන් වහන්සේ නමකගේ ශාරීරික අවයවවලට පවා අඩන්තේට්ටම් කෙරුණු බවට කලකට ඉහත වාර්තා පළවී තිබුණි.

බද්දේගම සමිත හිමියන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේයි
ඡායාරූප ශීර්ෂ වැකිය, බද්දේගම සමිත හිමියන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේයි

නමුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රී භික්ෂූන් වහන්සේ වූ බද්දේගම සමිත හිමියන් දරන්නේ ඊට හාත්පසින් විරුද්ධ වූ මතයකි.

"අපි නම් තරුණ කාලෙ ඉඳලම දේශපාලනය කරලා තියෙනවා. භික්ෂුවකට නිගා දෙන ආකාරයට කටයුතු කරලා නැහැ."

ඈත අතීතයේ යටත් විජිතවාදීන්ට එරෙහිව කළ සටන්වල දී පවා භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත් බවත් නිදහස දිනා ගැනීමට ද මැදිහත් වූ බවත් බද්දේගම සමිත හිමියෝ සිහිපත් කළහ.

නමුත් බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය අසංග තිලකරත්න කියා සිටියේ "ඓතිහාසිකව ගත්තත් භික්ෂූන් වහන්සේ අනුශාසනා කළා මිස උන් වහන්සේලා ඒ කාර්යය කරන්න ගිහිල්ල නැහැ," යනුවෙනි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන භික්ෂූන් වහන්සේ නමකට තම පැවිදි ජීවිතයට නොගැලපෙන අවස්ථාවලට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකි බව ද ඔහු අවධාරණය කළේය.

"පෙරහැර දිහා බලා ඉඳලා උපදෙස් දෙන්න පුළුවන්. නමුත් පෙරහරේ යන්න පටන් ගත්තම තමන්ට පෙරහැර පෙනෙන්නේ නැහැනේ. එතකොට එයත් පෙරහරේ යන අනිත් අය අතරින් තවත් එක්කෙනෙක් විතරයි."

දේශපාලකයාට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කොට නිසි මගට ගැනීම සහ සමාජ අසාධාරණයක් ඉදිරියේ භික්ෂූන් වහන්සේ ඊට එරෙහිව පෙරමුණ ගැනීම අගය කළ යුතු දෙයක් වන නමුත් පාර්ලිමේන්තුවට යාම නොගැලපෙන දෙයක් බව මහාචාර්ය අසංග තිලකරත්න ගේ මතයයි.

"පරමාදර්ශී භික්ෂූන් වහන්සේ නමක් යනු අනන්‍ය වූ පැවැත්මක් සහිත කෙනෙකු වන අතර ගිහියෙකුට වඩා වෙනස් වන චරිතයක් විය යුතුයි."

"භික්ෂුව පළමුව භික්ෂුවක් විය යුතුයි. දෙවනුව තමයි දේශපාලනඥයා වෙන්නේ. නමුත් අද තියෙන තත්වය අනුව පළමුව දේශපාලනඥයා වී දෙවනුව තමයි භික්ෂූත්වය ගැන හිතන්න වෙන්නේ." මහාචාර්යවරයා පැවසීය.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ අතරතුර තමන් වහන්සේ "අනිවාර්යයෙන්ම" මීළඟ මැතිවරණයට ගාල්ල දිස්ත්‍රික්කයට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන බව බද්දේගම සමිත හිමියෝ හෙළිදරව් කළහ.

"හාමුදුරුවරු දහස් ගණනක් ඡන්දේ ඉල්ලන්නේ නැහැ. මම දන්නා පමණින් මම විතරයි මේ මැතිවරණයට තරඟ කරන්නේ. ජාතික ලැයිස්තුවෙන් කවුරුවත් එනවද කියල මම දන්නේ නැහැ."

"මටනම් පේන්නේ රට පුරාවටම ඡන්දේ ඉල්ලන්න එන්නේ මම විතරයි. ඒ නිසා කියන දෙයක් කෙලින් කිව යුතුයි. මල්වතු මහ විහාරයේ නායක හාමුදුරුවරු වහන්සේලා මොනවා හරි කියනවනම් මට ඇහුම්කන් දෙන්න පුළුවන්. නමුත් නමක් ගමක් ඇඩ්රස් එකක් නැති කවුරුවත් කියන ඒවා මම ගණන් ගන්නේ නැහැ." උන්වහන්සේ ප්‍රකාශ කළහ.

බීබීසී සිංහල සේවය සමඟ පැවති සාකච්ඡාවක දී අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමියන් පැවසුවේ පසුගිය දා කතානායකවරයා අස්ගිරි මහ නායක හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී ඔහුගෙන් ද මෙම ඉල්ලීමක් කළ බව ය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තියක් වශයෙන් භික්ෂූන් වහන්සේට නාමයෝජනා ලබා නොදෙන බව කතානායකවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මල්වතු පාර්ශවය ද ඇතුළු සියලුම නිකායන්හි මහනායක හිමිවරුන් මෙම ස්ථාවරයේ ම සිටින බව තමන් වහන්සේ හොඳින් දන්නා බව මැදගම ධම්මානන්ද නාහිමියෝ අවධාරණය කළහ.

"වර්තමාන තත්වය අනුව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කිසිසේත් ම භික්ෂුවකට නොගැලපෙන තැනක් හැටියටයි අපි දකින්නේ. එහෙම නැතුව සුබවාදීව කටයුතු කරන තැනක් හැටියට පවතිනවානම් එතන භික්ෂුවක් සිටීමේ වරදක් නැහැ."

භික්ෂූන් වහන්සේ සෘජු දේශපාලනයට පැමිණීම තුළ "යහපතට වඩා ශාසනික වශයෙන් සිදු වූ හානිය" වැඩි බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එම නිසා අතීතයේ දී මෙන් පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරමින් දේශපාලකයාට වඩා ඉහළින් භික්ෂුව සිටිය යුතුය යන ස්ථාවරයේ අස්ගිරි පාර්ශවය ඇතුළු මහනායක හිමිවරුන් සිටින බව උන්වහන්සේ පැවසූහ.

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමියන්
ඡායාරූප ශීර්ෂ වැකිය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමියන්

මේ පිළිබඳව අදහස් දක්වමින් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කිරම විමලජෝති හිමියන් කියා සිටියේ පසුගිය කාලයේ ලැබූ අත්දැකීම් සළකා බැලීමේ දී භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු යාම සඳහා තරඟ කිරීම භික්‍ෂුත්වයට සුදුසු දෙයක් නොවන බවත් එය ශාසනයට ද යහපත් නොවන බවය.

"භික්ෂුවක් කියල කියන්නේ දුක් කෙළවර කරගෙන නිවන් දකින්න පැවිදි වූ කෙනෙක්. අද තියෙන තත්වය තුළ නම් හාමුදුරු කෙනෙකුට පාර්ලිමේන්තුව කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ගිහියන්ට ඒක කරගන්න ඇරලා අනුශාසනා කරන එක තමයි හොඳ."

"හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට තෝරලා යවන එක තමයි කළ යුත්තේ. ඔය හොර තක්කඩි ටික, වයසක අය නැතුව උගත් බුද්ධිමත් තරුණ පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වම හාමුදුරුවරු ඕනේ නැහැ." කිරම විමලජෝති හිමියෝ පැවසූහ.

උන් වහන්සේ අවධාරණය කර සිටියේ දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීමට පෙළඹුනහොත් එයින් ශාසනයට අගතියක් සිදුවන බවය.

නමුත් බද්දේගම සමිත හිමියන් කියා සිටියේ "මම පක්ෂයකින් ඡන්දේ ඉල්ලුවට හැම පක්ෂයක් එක්කම සුහදව වැඩ කරලා තියෙනවා. විරුද්ධ පක්ෂවල අය සමඟත් ගනුදෙනු කරලා තියෙනවා. මම භික්ෂුවකට නිගා දෙන ආකාරයට වැඩ කරලා තියෙනවා කියල කිසිම කෙනෙකුගෙන් චෝදනාවක් නැහැ," යනුවෙනි.

"අනිත් අය ගැන කියන්න මම දන්නේ නැහැ. මම ජීවිත කාලය පුරාම මේ කටයුත්ත කරලා තියෙනවා. මම වෙන කටයුත්තක යෙදිලා නැහැ. ජනතාවට තීරණය කරන්න ඉඩ දිය යුතුයි." උන්වහන්සේ පැවසූහ.

කියවන්න: