ශ්‍රී ලංකාවේ අධික වැසි සහිත කාලගුණය ගැන දැනගත යුතු විශේෂ කරුණු

අධික වැසි සහිත කාලගුණය
Published

ඉදිරි මාස 2ක කාලය තුළ අධික වැසි තත්ත්වය දිගින් දිගට ම ඇති විය හැකි බව අගහරුවාදා (සැප්: 24) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අනාවරණය වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වයට පූර්ව සූදානමක් ඇතිව මුහුණ දීම සදහා අදාළ අමාත්‍යාංශවල සහ සියලු අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එමගින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල පිළිබදව අගහරුවාදා (සැප්: 24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

පසුගිය දින කිහිපය පුරා ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර සහ කොළඹ දිස්ති‍්‍රක්කවල පුද්ගලයන් 6,000කට වැඩි පිරිසක් ආපදාවට ලක්ව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සදහන් වන්නේ, හදිසි ජල ගැලීම් හේතුවෙන් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

රතු නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඡායාරූප මූලාශ්‍රය, Department of Meterology - SL

මේ අතර, ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මාලක විමලසූරිය ප්‍රකාශ කළේ, පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අඟහරුවාදා (සැප්: 24) සහ බදාදා (සැප්: 25) දෙදින තුළදී ම අපේක්ෂා කරන බවය.

කෙසේ වෙතත්, මෙම අධික වැසි තත්ත්වය බ්‍රහස්පතින්දා වන විට අවසන් වනු ඇති බව ඔහු පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පළාත් 4ක මිලිමීටර් 200ට වැඩි වර්ෂාපතනයක් ලැබීමේ ඉඩකඩක් පවතී.

එම පළාත් මෙසේය.

  • බස්නාහිර
  • දකුණ
  • මධ්‍යම
  • සබරගමුව

ඊට අමතරව, වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයන් ලැබීමේ ඉඩකඩක් පවතින බව ද එම නිවේදනයේ සදහන් වේ.

අධික වැසි සහිත කාලගුණය

වැඩි ම වර්ෂාපතනය කටුනායකට

සදුදා (සැප්: 23) පෙරවරු 8.30 සිට අඟහරුවාදා (සැප්: 24) පෙරවරු 8.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩි ම වර්ෂාපතනය කටුනායකින් වාර්තා වී තිබිණි.

එහි අගය මිලිමීටර් 272.3ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, සදුදා (සැප්: 23) පෙරවරු 8.30 සිට අඟහරුවාදා (සැප්: 24) පෙරවරු 3.30 දක්වා කාලය තුළ වාර්තා වූ වර්ෂාපතන අගයයන් පිළිබද වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබිණි.

Department of Meteorology - SL

ඡායාරූප මූලාශ්‍රය, Department of Meteorology - SL

කටුනායක ගුවන් ගමන්

කටුනායක සහ ඒ අවට ප්‍රදේශවලට ඇදහැළෙන අධික වැසි සහ දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විදේශගත වීම සඳහා කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ට බාධා එල්ල විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ගුවන් සේවා අධිකාරිය දැනුම් දී තිබේ.

එම අධිකාරිය ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ගුවන් යානය පිටත් වීමට පැය 3කට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසය.

අධිවේගී මාර්ගවල ධාවන සීමා

www.mohsl.gov.lk

ඡායාරූප මූලාශ්‍රය, www.mohsl.gov.lk

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රිය අනතුරු අවම කර ගැනීම සදහා අධිවේගී මාර්ග භාවිත කිරීමේදී ධාවන වේගය සීමා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

එම අධිකාරිය දැනුම් දෙන්නේ, අධිවේගී මාර්ගවල ධාවන වේගය පැයට කිලෝමීටර් 60ක වේගයකට සීමා කිරීමෙන් අනතුරු අවම කර ගත හැකි වනු ඇති බවය.

නාය යාම් අනතුරු ඇගවීම්

මේ අතර, පවතින වර්ෂාපතනය හේතුවෙන් කළුතර, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක නාය යාම් ඇති විය හැකි බවට රතු නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට, මතුගම සහ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදූව සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව නාය යාම් ඇති විය හැකි බවය.

රතු අනතුරු ඇගවීමකින් දැනුම් දෙන්නේ, "පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නාය යාම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් වැළකීමට ආරක්ෂිත ස්ථාන වෙත යා යුතු," බවය.

බේරා ගැනීමේ මෙහෙයුම්

ජලගැලීම් සහ අයහපත් කාලගුණය පවතින ප්‍රදේශවල ආපදාවට හෝ අනතුරුවලට ලක් වන ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් සදහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මේ වන විටත් යොදවා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි බීබීසී සිංහල සේවයට පැවසුවේ, ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවා ඇති බවය.

අධික වැසි සහිත කාලගුණය
ඡායාරූප ශීර්ෂ වැකිය, ගාල්ල - මාපලගම

මේ අතර, මාතර දිස්ත්‍රික්කයේ කණංකේ, වැලිපිටිය, වැලිගම, අකුරැස්ස හා අතුරුලිය යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.