දුම්රිය වර්ජනය අවසන් බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දුම්රිය සේවකයන් ආරම්භ කර තිබු වැඩවර්ජනය බ්‍රහස්පතින්දා පස්වරු 4.00ට අවසන් විය.
ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් සමග පැය තුනකට අධික කාලයක් පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉහත කී තීන්දුව ගත් බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස්.ටී විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.
ඒ අනුව බ්‍රහස්පතින්දා පස්වරුවේ ම දුම්රිය ගමන් යළි ආරම්භ කරන බව ඔහු වැඩිදුරත් කියා සිටියේය.
ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දුට බාධාවකින් තොරව සිය ධුරයේ කටයුතු කරගෙන යාමට ඉඩ සැලසීමට සහ මතභේදයට හේතු වූ විනය පරීක්ෂණය ඉදිරියට කරගෙන යාමට ඉඩ ලබා දීමට ප්‍රවාහන බලධාරීන් එකග වූ බව සාකච්ඡාවට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයෝ පැවසූහ.
රාජකාරි අවස්ථාවේදී බීමතින් සිටි සේවකයෙකුගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පසුගිය දිනක ක්‍රියා කර තිබිණි.
අදාළ සේවකයා පිළිබඳ විනය ක්‍රියාමාර්ගය අත්හිටුවා ඔහු යළි සේවයේ පිහිටුවන්නැයි ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට බලපෑම් කළ බව පවසමින් බදාදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ක්‍රියාත්මක විය.
දුම්රිය රියදුරන්, නියාමකයින්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරු , විධායක නිලධාරීන් හා තාක්ෂණ ශිල්පින් ඇතුළු සියලු ශ්‍රේණිවල සේවකයෝ එම වර්ජනයට එක්වීම නිසා බ්‍රහස්පතින්දා පස්වරුව වන තෙක් දුම්රිය ගමන් සියල්ල නවතා දමා තිබිණි.






















