යාපනයේ මිනිස් අස්ථි කොටස් හමුවීම ගැන පොලිස් පරීක්ෂණ

BBC
Published

යාපනය අච්චුවේලි ප්‍රදේශයට අයත් මාර්ගයක් ආසන්නයේ විදුලි කණු සිටුවීමට වළවල් හැරී‍මේදී මිනිස් අස්ථි කොටස් හමු වූ ස්ථානයට පැමිණි යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ ආනන්දරාජා සිකුරාදා (ඔක්තෝබර් 12) සවස අදාළ ස්ථානය පරීක්ෂා කළ බව අච්චුවේලි පොලිසිය පවසයි.

සොයාගත් අස්ථි කොටස් යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වෙත යොමු කරන ලෙසත්, 17 වෙනි දින අදාළ අස්ථි කොටස් සම්බන්ධයෙන් යාපනයේදී අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පවත්වා කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා එහිදී පොලිසිය වෙත නියෝග කර තිබේ.

අච්චුවේලි පත්තමේනි සූසෙයප්පර් වීදිය ප්‍රදේශයේදී බ්‍රහස්පතින්දා (ඔක්11) විදුලි කණු සිටුවීමට වළවල් හැරීමේදී අදාළ අස්ථි කොටස් හමුවී තිබේ.

පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදි.

BBC
BBC

යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා ද සිකුරාදා අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිතව තිබූ නමුත් ඔහු එම ස්ථානයට පැමිණි බවක් වාර්තා වී නැත.

අස්ථි කොටස් සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.