IPL තරඟ තහනම සොයා බැලීමට කමිටුවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty
දූෂණ අපචාර සම්බන්ධයෙන් අයිපීඑල් ක්‍රීඩා සමාජ දෙකකට වසර දෙකක තරඟ තහනමක් පනවන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ මණ්ඩලයක් ලබා දුන් නිර්දේශය පිළිබඳ අධ්‍යනය කිරීමට සිව් පුද්ගල කමිටුවක් පත් කොට තිබේ.
එම කමිටුව පත් කරනු ලැබ තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්.
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සව්රව් ගංගුලි ඇතුළු කමිටු සාමාජිකයෝ කරුණු සොයා බලා සති හයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් යන ක්‍රීඩා සමාජ දෙකේ නිලධාරීහු නීති විරෝධී ලෙස ඔට්ටු ඇල්ලීම සහ තරඟ පවා දීම සම්බන්ධයෙන් වරදකරුවෝ වූහ.

ඡායාරූප මූලාශ්‍රය, PTI
ධනවත්ම 20විස්ස ලීගය
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක එම්එස් දෝනි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් විසින්.
වසර හතකට පෙර ඇරඹි ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලිය වර්තමානය වන විට ලොව ධනවත්ම, පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීගය බවට පත් වී තිබේ.
රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ සම අයිතිකරු රාජ් කුන්ද්‍රා සහ සුපර් කිංග්ස් කණ්ඩායමේ ගුරුනාත් මෙයියප්පන් යන පුද්ගලයන්ට ජීවිතාන්තය තෙක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ කටයුතු වල යෙදීම වළක්වාලන තහනමක් පනවන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණය මණ්ඩලය යෝජනා කර තිබිණි.
ගුරුනාත් මෙයියප්පන්ගේ බෑණා වන ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති නාරායන්ස්වාමි සිරිනිවාසන්, සහ රාජ් කුන්ද්‍රා නීති විරෝධී ඔට්ටු ඇල්ලීම ඇතුළු වැදගත් තරඟ විස්තර පිටතට ලබා දීම සම්බන්ධයෙන් පසුගිය වසරේදී වරදකරුවෝ වූහ.



























