නාමල් රාජපක්ෂ ක්‍රිෂ් ගනුදෙනුව: නඩු විභාගය ප්‍රමාද කිරීමට CID උත්සහ කර ඇතැයි විනිසුරුවරියගෙන් චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ ප්‍රකාරව විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි යැවීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (ජූනි 25) නියෝග කළේ ය.
එම ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කර ගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණයට කළ දැනුම් දීම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මෙම නියෝගය නිකුත් කළා ය.
ඒ අනුව, ජූලි මස 07 වන දා ආරම්භ කිරීමට නියම කර තිබූ මෙම නඩුවේ සාක්ෂි විභාග දිනය අවලංගු කරන බව ද විනිසුරුවරිය මෙහිදී දැනුම් දුන්නා ය.
සාක්ෂිකරුවන් ගැන කළ ඉල්ලීම
මෙම නඩුව ඊයේ (ජුනි 25) නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව විවෘත අධිකරණයේ කැඳවන ලදී.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ඉකුත් මැයි මස 29 වන දා කැඳවූ අවස්ථාවේදී එහි ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකු අධිකරණයට කැඳවිය හැකි බවටත්, ඔවුන්ට සිතාසි නිකුත් කිරීම අනවශ්‍ය බවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබූ බව පැවසීය.
එහෙත්, එම සාක්ෂිකරුවන් සම්බන්ධ කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති නිසා එම ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනා වෙත අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 358 යටතේ විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රකාරව අධිකරණ අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි නිකුත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේ ය.
එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ද අධිකරණයට පෙන්වා දුන්නේ, එම සාක්ෂිකරුවන්ගෙන් එක් අයෙකුට ශ්‍රී ලංකාවේ නඩු පවතින බව සහ එබැවින් ඔහු අධිකරණයට ගෙන්වා ගැනීමට හැකියාව තිබේ දැයි තමන් ද ඉකුත් නඩු දිනයේ පැමිණිල්ලේ අවධානයට යොමු කළ බව ය.
'පැමිණිල්ල වගේ ම අධිකරණයත් දැඩි ලෙස අපහසුතාවට පත්වෙනවා'
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය හේතුවෙන් පැමිණිල්ල මෙන් ම අධිකරණය ද අපහසුතාවට පත්ව ඇති බව ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මෙම නඩුකරය පසුගිය මැයි මස 29 වන දා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවූ අවස්ථාවේදී ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනෙකු සාක්ෂියට කැඳවීම සඳහා විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීමට අවශ්‍ය දැයි අධිකරණය ප්‍රශ්න කළේ ය.
ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, එම සාක්ෂිකරුවන් තමන් සමග සම්බන්ධ වී සිටින බව ය. එම නිසා විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කිරීම අවශ්‍ය නොවන බව බොහොම වගකීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණා.
ඉන් අනතුරුව මෙම නඩුව ජූලි මස 07 වන දා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේ ය. එසේ තිබියදී නඩු විභාගය ආරම්භ වීමට සති දෙකක් පමණ ඉතිරිව තිබියදී ඊයේ දිනයේ අධිකරණයට පැමිණ එම සාක්ෂිකරුවන් සම්බන්ධ කර ගත නොහැකි බව ප්‍රකාශ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාව නිසා "පැමිණිල්ල වගේ ම අධිකරණයත් දැඩි ලෙස අපහසුතාවට පත්වෙනවා. නඩු විභාගය ප්‍රමාද කිරීමේ අරමුණින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙය කර තිබෙන බව අධිකරණය නිරීක්ෂණය කරනවා," යනුවෙන් මහාධිකරණ විනිසුරුවරිය ප්‍රකාශ කළා ය.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා කියා සිටියේ, මෙම සිද්ධිය තුළින් අධිකරණයට යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කනගාටුව පළකරන බව ය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය ජූලි මස 07 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම නඩුවේ සාක්ෂි විභාගය අවලංගු කරන බවටත් නියෝග කළා ය.
එමෙන් ම මෙම ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනාට අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ ප්‍රකාරව විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිතාසි නිකුත් කරන ලෙසත් මහාධිකරණ විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළා ය.
ඉන් අනතුරුව මෙම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා මෙම නඩුකරය යළි ජූලි මස 07 වන දා කැඳවන ලෙසත් නියම කළා ය.


































