'මට එයා වගේ අන්දවපු බෝනික්කෙක් දුන්නා': 'තාත්තා' කීමට අකමැති වූ මිනිසා ගැන ෆිදෙල් කැස්ත්‍රෝගේ දියණිය කී කතාව

ඡායාරූප මූලාශ්‍රය, Alina Fernandez
- Author, ඇටවෝල්පා ඇමරිස්
- Role, බීබීසී මුන්ඩෝ සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 9
වයසින් වැඩෙන විට ඇයට මතක ඇති කාලයේ පටන් ඇලීනා ෆර්නැන්ඩස් හමුවීමට ෆිදෙල් කැස්ත්‍රෝ නිතර පැමිණියේ ය.
ඇගේ ළමා කාලය පුරාවට ඇය ඊට හේතුව දැන සිටියේ නැත: වසර 50කට ආසන්න කාලයක් පුරාවට යකඩ හස්තයකින් කියුබාව පාලනය කළ මිනිසා ඇගේ ජීව විද්‍යාත්මක පියා විය.
1956දී හවානාහිදී ඇලීනා උපත ලැබුවේ, කැස්ත්‍රෝ සහ නැටී ෆර්නැන්ඩස් අතර විවාහයකින් තොරවූ සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස ය. ඇය හවානා අගනුවර ඉහළ සමාජයෙන් පැවත ආ රූමත් තරුණියකි. ඒ වන විට, ඔහු ගරිල්ලා ව්‍යාපාරයක නායකයින්ගෙන් කෙනෙකු වූ අතර, එම ව්‍යාපාරය වසර 3කට පසුව ඒකාධිපති ෆුල්ජෙන්සියෝ බැටිස්ටා බලයෙන් පහ කර කැරිබියානු දූපතේ ඒකාධිපති කොමියුනිස්ට් පාලනයක් පිහිටවූයේ ය.
ඉන්පසු ගත වූ දශක කිහිපය තුළ, මිලියන 3ක් දක්වා වූ පිරිසක් අසල්වැසි එක්සත් ජනපදය බලා රටින් පලා ගිය බවට ඇස්තමේන්තු කර ඇත. කැස්ත්‍රෝගේ ම දියණිය ද ඒ අතර වූවා ය.
1959 වසරේ සිට 2008 වසර දක්වා පාලනය මෙහෙයවා 2016 නොවැම්බර් මාසයේදී පිළිකාවක් නිසා ජීවිතයෙන් සමුගත් කැස්ත්‍රෝ අගෝස්තු 13 වන දින ඔහුගේ 100 වන සංවත්සරය සමරනු ඇත.
ඔහුගේ දියණිය ලෙස පිළිගැනුණු එක ම තැනැත්තිය වන ඇලීනා ෆර්නැන්ඩස්, 20 වන සියවසේ වඩාත් ම ප්‍රසිද්ධ හා මතභේදාත්මක දේශපාලනඥයෙකුගේ ජීවිත කතාවක් සමග බැඳී ඇති කතාව මෙන් ම ඇය කිසි දිනෙක "තාත්තා" යනුවෙන් ඇමතීමට අකමැති වූ මිනිසෙකුගේ ජීවිත කතාව ගැන කතා කිරීමට මියාමිහිදී බීබීසී මුන්ඩෝ පුවත් සේවය සමග එක්වූවා ය.

ඡායාරූප මූලාශ්‍රය, Alina Fernandez
මුල් මතක සහ රාත්‍රී කාලයේ පැමිණීම්
කැස්ත්‍රෝ පිළිබඳ ඇගේ පළමු මතකය වන්නේ, ඊට පෙර මිකී මවුස් කාටූන් විකාශය කළ රූපවාහිනී කාලය තමන් සතු කර ගත් රැවුල වවා ගත් පුද්ගලයෙකි.
"මිකී මවුස් අතුරුදන් වුණා," 70 හැවිරිදි ඇය මතකයට නගයි, ඒ වෙනුවට "මාව ටිකක් බය කරපු වාහනවල එල්ලී ගමන් කරන රැවුල වවාගත් මිනිස්සු, දින ගණනාවක් රූපවාහිනී තිරයේ හිටියා."
රටේ පරිවර්තනය ඇයගේ පවුල ද ඇතුළුව බොහෝ පවුල් බෙදා වෙන් කළේ ය. ඇගේ මව විප්ලවය වැළඳ ගත්තා ය. නමුත් ඇලීනා ඇගේ පියා බවට විශ්වාස කළ පුද්ගලයා වූ ඔර්ලන්ඩෝ ෆර්නැන්ඩස් ද ඇතුළු අනෙකුත් ඥාතීන් සියලු දෙනා ඕනෑ ම දෙයක් අතහැර එක්සත් ජනපදය බලා යාම තෝරා ගත්තේ ය.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
මේ සියල්ල සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් නොමැතිව හැදී වැඩෙන අතරතුර විටින්විට ඇලීනා ඇගේ නිවසේදී නව කියුබානු නායකයා වරින්වර පැමිණෙනු දුටුවා ය.
ඇයට තෑගි රැගෙන එන කැස්ත්‍රෝ ඇය සමග විසිත්ත කාමරයේ බිම හිඳගෙන සෙල්ලම් කළ බව සිහිපත් කරන ඇය, ඒ අතර තිබූ අමුතු තෑග්ගක් ගැන සිහිපත් කරයි: "ඔහු මට ඔහු වගේ ම හැඳපැළඳගෙන හිටිය බෝනික්කෙක් ගෙනත් දුන්නා, මම ඒකෙ කුඩා රැවුල් ගස් අයින් කළා, මොක ද මට ඒක පුංචි බෝනික්කෙක්."
සත්‍යය හෙළිවීම
එහෙත්, වයස අවුරුදු 10ක පසුවූ අවදියේදී ඇය, ඇගේ ජීවවිද්‍යාත්මක පියා පිළිබඳව දැන ගත්තා ය.
"මගේ අම්මා මට කිව්වා. ඇය මගේ පාසල වෙනස් කරන්න යි ගියේ, ඇයට ඕනෙ වුණේ නෑ පාරේ යන කෙනෙක් මට ඒ ඇත්ත කියනවාට."

ඡායාරූප මූලාශ්‍රය, Alina Fernandez
විටින්විට සිදුකෙරෙන ඔහුගේ සංචාර හරහා කැස්ත්‍රෝ ඒ වන විටත් පියෙකු වැනි කෙනෙකු බවට පත්ව සිටි නමුත් එම පුවත දැන ගැනීමෙන් ඇයට හැඟුණේ, "පාවාදීම සහ වංචාව පිළිබඳ හැඟීමකි". ෆර්නැන්ඩස් පැහැදිලි කරන පරිදි ඇගේ හොඳ ම මිතුරා ඇතුළු ඇය වටා සිටින බොහෝ දෙනෙකු ඇගේ සැබෑ පියා පිළිබඳ කටකතා ගැන දැන සිටියේ ය.
''ඒක විකටයාගේ රහස වගේ වුණා: මුළු සර්කස් එක ම ඒක දැනගෙන හිටියා,'' ඇය උත්ප්‍රාසාත්මක හැඟීමකින් පවසයි.
ඇලීනා ෆර්නැන්ඩස් ඇගේ වාසගම කැස්ත්‍රෝ ලෙස වෙනස් නොකළා ය. ඒ, ඇය වසර ගණනාවක් පුරාවට ඇගේ සැබෑ පියා ප්‍රසිද්ධියේ පිළිගැනීම ප්‍රතික්ෂේප කළ නිසා ය.
"මම ඔහුගේ දුව ද කියලා ඇහුව ම මම කළේ 'නැහැ' කියන එක, දවසක එක පාරට ම වෙනස් කළ වාසගමක් එක්ක පෙනී ඉන්න එක මට ගැලපෙන්නේ නැහැ වගේ දැනුණා. ඒක තේරුමක් ඇති දෙයක් විදිහට මම දැක්කේ නෑ.''

ඡායාරූප මූලාශ්‍රය, Alina Fernandez
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ෆර්නැන්ඩස් කියුබාවේදී උස්මහත් වන විට ඇගේ ඉච්ඡාභංගත්වය සහ කලකිරීම ද වර්ධනය විය. ඒ, ඇගේ පියා සමග පමණක් නොව, රට තුළ පනවා ඇති නව ක්‍රමය ද පිළිබඳව ය. ඇය ෆිදෙල් කැස්ත්‍රෝගේ දියණිය බව දැනගත් පසු, බොහෝ දෙනෙකු නායකයාට දෙන ලෙස ඉල්ලා ඇයට ලිපි භාර දී තිබිණි.
''ඒ මිනිස්සු, මරණ දඬුවම ලබා දී තිබූ අයගේ පවුල්වල සාමාජිකයින් සහ මිහිපිට අපායක් අතහැර යන්න අවසර ඉල්ලගන්න උත්සහ කරමින් හිටිය අය යි.''
නායකයා කේන්ද්‍ර කර ගත් පුද්ගල වන්දනාවක් ද පැවතිණි.
"පැය හතක් පුරාවට රූපවාහිනිය ඔස්සේ මනුස්සයෙක් (කැස්ත්‍රෝ) කරන කතාවක් නරඹන්නත්, අනතුරුව ඊළඟ දවසේ පන්ති කාමරවලදී ඒවා ඉගෙන ගන්නත් අපට බල කරනවා... ඒක භයානක හීනයක් වුණා. මට දැනුණේ පිස්සන් කොටුවක ජීවත් වුණා වගේ දෙයක්," ඇය පැවසුවා ය.
ෆර්නැන්ඩස් සහ ඇගේ මව ප්‍රංශයේ කාලයක් ගත කිරීමෙන් පසු කැස්ත්‍රෝගේ සංචාර අඩු විය. ඇයට අනුව, ඇගේ මවගෙන් දුරස්වීම සඳහා කැස්ත්‍රෝ විසින් ම ඔවුහු එහි යවනු ලැබූහ. එතැන් සිට, කියුබානු නායකයා ඇගේ ජීවිතයට හදිසි හා අක්‍රමවත් තීරණ සමග ඉඳහිට කඩා වැදුණු බව ඇය පවසයි. ඇගේ පෙම්වතුන් ප්‍රතික්ෂේප කිරීම හෝ ඇයව වෙනත් පාසලකට මාරු කිරීම වැනි දෑ ඊට උදාහරණ යි.
''ඔවුන්ට හැම වෙලාවෙ ම තිබුණේ උමතු අදහස්. මම ඔහු මත යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න ඉගෙන ගත්තා,'' ඇය ආවර්ජනය කරයි.

ෆිදෙල් කැස්ත්‍රෝ පෞද්ගලිකව කුමන ආකාරයේ පුද්ගලයෙකු දැයි විමසූ විට, ෆර්නැන්ඩස් ඔහු පිළිබඳ විස්තර කළේ බුද්ධිමත්, විචක්ෂණශීලී, ආචාරශීලී සහ "අසීමිත කුතුහලයක්" ඇති අයෙකු ලෙස ය. නමුත් ඇගේ පියා අවස්ථා කිහිපයකදී ම ඇයට අසත්‍ය පැවසූ බව ද ඇය පැවසුවා ය.
"ඔහු මට එක දෙයක් කිව්ව බව අමතක කරලා, ඊට පස්සේ මට වෙන දෙයක් කියනවා."
පියා සහ දියණිය අතර සංවාදය පහසුවෙන් ගලා ගියේ නැත: "ඔහු ඒකපාර්ශවීය ලෙස කතා කරන කෙනෙක් වුණා. ඔහුට මාත් එක්ක කතා කරන්න ඕන නම්, ඒ මාත් එක්ක කතා කරන එක නෙමෙයි, ඔහු කියන දේ අහගෙන ඉන්න එක යි,'' ඇය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, New York Times Co / Getty Images
හවානා නගරයෙන් පළා යාම
ඇලීනා ෆර්නැන්ඩස් පවසන්නේ, තරුණ වියේ සිට ම ඇයට අවශ්‍ය වූයේ කියුබාවෙන් පිටව යාම බව ය. එදිනෙදා ජීවිතය පීඩාවට පත් කළ අගහිඟකම්වලින් පීඩා විඳීම, ඔහු ගොඩනගන ලද පද්ධතිය ප්‍රතික්ෂේප කිරීම යන කරුණු නිසා පියාගෙන් වැඩි වැඩියෙන් දුරස් වන බව ඇයට දැනිණි.
ඇය පවසන්නේ, ඇය කිහිප වතාවක් ම විදේශගත වීමට උත්සහ කළ නමුත් පාලන තන්ත්‍රය ඇයට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ය.
1990 දශකයේ මුල් භාගයේදී, සෝවියට් කඳවුරේ බිඳවැටීම හමුවේ කියුබාවේ විශේෂ කාල පරිච්ඡේදය ආරම්භ විය - එය කුසගින්න සහ විදුලිය බිඳවැටීම්වලින් හටගත් අතිශය දුෂ්කර යුගයකි. ෆර්නැන්ඩස් ඒ වන විටත් විවෘත විරුද්ධ මතධාරියෙකු වූ අතර අණ දෙන නිලධාරියාගේ දියණිය වුව ද, අත්අඩංගුවට පත්වනු ඇතැයි බිය පළ වූවා ය.
"මහ රෑ මැද්දේ මෝටර් රථයක දොරකින් එන ඕනෑ ම ශබ්දයක් ඔවුන් එන්නේ ඔයා වෙනුවෙන් කියන දේ හිතේ ඇති කළා."

ඡායාරූප මූලාශ්‍රය, Alina Fernandez
සමීප මිතුරන් විසින් නිර්මාණය කරන ලද සූක්ෂම මෙහෙයුමක් හරහා 1993 දෙසැම්බර් 19 වන දින ඇයට විශාල අවස්ථාවක් හිමි විය. ස්පාඤ්ඤ ජාතික කාන්තාවක ෆර්නැන්ඩස්ට ඇගේ විදේශ ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රය ලබා දුන්නා ය. තවත් පුද්ගලයෙකු ඇයට එය භාවිත කළ හැකි වන පරිදි ලේඛනය වෙනස් කළ අතර, ෆර්නැන්ඩස් හවානා අගනුවර ගුවන් තොටුපළට කුලී රථයකින් ළඟා වූවා ය.
"මම කුලී රථයට ගොඩවුණු මොහොතේ සිට ම මම ස්පාඤ්ඤ ජාතිකයෙකු වගේ කතා කරන්න පුරුදු වෙන්න පටන් ගත්තා - මොක ද මම ගුවන් තොටුපළට පැමිණි විට, ඔවුන් මට කතා කරන්න කිව්වොත් මට උච්චාරණයක් තියෙන්න ඕනේ. මම රියැදුරාව සම්පූර්ණයෙන් ම රැවැට්ටුවා."
හඳුනා ගැනීමට නොහැකි වන පරිදි ව්‍යාජ කොණ්ඩයකින් සහ ඝන මේකප් තට්ටුවකින් සැරසී ඇය ගුවන් තොටුපළට පැමිණියා ය.
"මම බාධාවක් නැතුව රේගුව හරහා ආවා. ගුවන් යානය ප්‍රමාද වූ නිසා, මම නිහඬව ම අසුන්ගෙන පොතක් කියවමින් 'හොඳයි, ඕන දෙයක් වුණදෙන්' කියලා හිත හදා ගත්තා."
දිගු වේලාවක් රැඳී සිටීමෙන් අනතුරුව කිසිදු බාධාවකින් තොරව ඇය පිටත්වූවා ය. ඇය මැඩ්රිඩ් වෙත පැමිණි අතර පසුව එක්සත් ජනපදයට ඇතුළු වීමට අවසර ලබා ගත්තා ය.
පසුව ඇය 16 හැවිරිදි වියේ පසුවූ ඇගේ එක ම දියණිය සඳහා කියුබාවෙන් පිටවීමේ අවසර පත්‍රයක් අයැදුම් කළා ය. එක්සත් ජනපද සිවිල් අයිතිවාසිකම් නායක පූජක ජෙසී ජැක්සන් ඒ සඳහා මැදිහත් වූ අතර 1994 දී නව වසර සැමරීම සඳහා දෙදෙනා ම අවසානයේ නැවත එක්වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Alina Fernandez
2001 වසරේදී මියාමිහි ස්ථිරව පදිංචි වීමට පෙර, ෆර්නැන්ඩස් එක්සත් ජනපදය සහ ස්පාඤ්ඤය අතර කාලය ගත කළේ ය.
'මම ඇත්තට ම කැස්ත්‍රෝගේ දියණිය බවට පත් වුණේ වයස අවුරුදු 40දී'
ඇයගේ පිටවීමෙන් පසු ගෙවුණු ජීවිතයේ ආරම්භයේ සිට ම, දශක ගණනාවක් තිස්සේ සඟවා තැබීමට ඇය උත්සහ කළ එම සම්බන්ධතාව, දූපතේ පවතින තත්ත්වය හෙළිදරව් කිරීමේ මෙවලමක් බවට පත්විය. "කියුබාවේදී කිසිවිටෙකත් කිරීමට මා අකමැති වූ දේ - එනම් ෆිදෙල් කැස්ත්‍රෝ ගැන කතා කිරීම හෝ ඔහුගේ පවුලේ සාමාජිකාවක ලෙස මා හඳුනා ගැනීම - මා මෙහිදී සිදු කළා. වයස අවුරුදු 40 දී, මා සැබවින් ම ෆිදෙල් කැස්ත්‍රෝගේ දියණිය බවට පත්වුණා," යැයි ඇය පවසන්නී ය.
1997 දී, ඇය Alina: Memoirs of Fidel Castro's Rebel Daughter නමැති ස්වයං චරිතාපදානය ප්‍රකාශයට පත් කළ අතර එය ස්පාඤ්ඤය තුළ වැඩියෙන් ම අලෙවි වූ පොතක් වූ අතර පසුව භාෂා කිහිපයකට පරිවර්තනය විය.
2016 වසරේ නොවැම්බර් 25 වන දින ෆිදෙල් කැස්ත්‍රෝගේ මරණය පිළිබඳ පුවත ඇයට අසන්නට ලැබුණේ කෙසේ දැයි විමසූ විට, ඇය මෙසේ පිළිතුරු දුන්නා ය. "මට ලොකු දුකක්වත් හෝ ලොකු සතුටක්වත් දැනුණේ නැහැ. ඒක මට කම්පනයක් වුණේ නැහැ."
වර්තමානයේදී, කැස්ත්‍රෝවරුන්ගේ දේශපාලන උරුමක්කාරයෙකු වන මිගෙල් ඩයස්-කැනල්ගේ ජනාධිපතිත්වය යටතේ, කියුබාව 'විශේෂ කාලපරිච්ඡේදයට' වඩා දරුණු තත්ත්වයක් ලෙස බොහෝ දෙනා විස්තර කරන තත්ත්වයකට මුහුණ දෙමින් සිටී.
එක්සත් ජනපදය සිය දශක 6ක සම්බාධක දැඩි කරමින් සිටීම හමුවේ සිදුවන අඛණ්ඩ විදුලි විසන්ධිවීම්, පුළුල් ලෙස පැතිර පවතින පරිහානිය, අගහිඟකම් සහ කුසගින්න එහි පවතී. ෆර්නැන්ඩස්ට, වර්තමාන අර්බුදය යනු ඇගේ පියා විසින් පනවන ලද දේශපාලන හා ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලය යි.
"රාජ්‍යය විසින් සියලු ව්‍යාපාර තම පාලනයට නතු කර ගනු ලැබූ විට, සැම දෙනා ම ඔළුවක් නැති අය බවට පත්වෙනවා."































