T20 කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ශූරියෝ: 19 වන වියේදී ජාත්‍යන්තරයට ගිය හසිනි පෙරේරා

හසිනි පෙරේරා පන්දුවට පහර දෙන ඉරියව්වකින් පිත්ත ඔසවාගෙන සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 3

2026 පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති තවත් දක්ෂ ක්‍රීඩිකාවක ලෙස ගමාච්චි විතානගේ හසිනි මදුෂිකා පෙරේරා හෙවත් හසිනි පෙරේරා හැඳින්විය හැකි ය.

වමතින් පිත්ත හසුරුවන ඇය මැද පෙළ පිතිකාරියක ලෙස වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා කණ්ඩායමට දායකත්වය ලබා දෙයි.

ඇය 2016 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා නායිකාව ලෙස ද කටයුතු කළා ය.

පෞද්ගලික තොරතුරු

1995 වසරේ ජූනි 27 වන දා කොළඹදී උපත ලද හසිනි පෙරේරාට බාල සහෝදරයින් දෙදෙනෙක් සිටිති.

කොට්ටාව ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඇය පසුව උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවේ නුගේගොඩ අනුලා විද්‍යාලයෙනි.

ළාබාල වියේදී ම ක්‍රීඩා ජීවිතයේ විශාල කඩඉමක් තැබූ හසිනිට, ඒ කාලයේදී ම තම පියා මෙලොවින් සමු ගැනීමේ වේදනාවට ද මුහුණ දීමට සිදු විය.

පෞද්ගලික ජීවිතයේ එවැනි අභියෝග මතු වුව ද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමට හසිනි සමත් වීම විශේෂත්වයකි.

හසිනි පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ක්‍රිකට් දිවිය

හසිනිගේ පළමු පුහුණුකරු වූයේ, පාලිත ගුණසේකර ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පාසල් කාලයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා දැක්වූ ඇය ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 19 වන වියේදී ය.

2014 වසරේදී ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූයේ, එම වසරේ අප්‍රේල් මාසයේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ය.

එම වසරේ ඔක්තෝබර් මාසයේදී ඇය පළමු එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළා ය.

2015 දෙසැම්බර් මාසයේදී ඇය ශ්‍රී ලංකාවේ T20 කලාප තරගාවලියේ පිතිකරණ ලැයිස්තුවේ ඉහළින් ම පසුවූවා ය. නමුත් 2015 නොවැම්බර් මාසයේ නවසීලන්තයේදී ඇය විස්සයි 20 තරග දෙකකදී ලකුණු නොලබා දැවී ගිය අතර, ආකෘති හතරේ ඉනිම් හතරකදී ඇය රැස් කළේ ලකුණු දහයක් පමණි.

එහි ප්‍රතිඵලය වූයේ, 2016 T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කිරීම ය. කෙසේ වෙතත්, ඇය එම වසරේ සැප්තැම්බර් මාසයේදී කණ්ඩායමට යළි කැඳවීමක් ලැබුවා පමණක් නොව, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා නායිකාව ලෙස ද කටයුතු කළා ය. තායිලන්තයට එරෙහිව ආරම්භක පිතිකාරියක ලෙස අර්ධ ශතකයක් ද ඇය රැස් කළා ය.

ඊට අමතරව, පාලින්ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජවලට ඇය ක්‍රීඩා කළා ය.

2017 වසරේ එක්දින ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය මෙන් ම 2018 සහ 2020 පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ කණ්ඩායම්වලට ද ඇය ඇතුළත් විය.

එක්දින තරග 66කදී ඇය ලකුණු 1265ක් රැස් කර තිබේ. අර්ධ ශතක 3ක් ඇගේ එක් දින දක්ෂතා අතරට ඇතුළත්‍ වේ.

හසිනිගේ එක් දින ලකූණු රැස් කිරීමේ සාමාන්‍ය 21.08කි.

පන්දු වාර 20 ජාත්‍යන්තර තරග 95කදී අර්ධ ශතක 2ක් ද සමගින් හසිනි රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1036කි.

ආසන්න ම තරගාවලිවලදී ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතා අතරට බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ තරගයකදී රැස් කළ ලකුණු 95 කැපී පෙනෙයි.

ඇගේ අත්දැකීම් මෙවර 20/20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනු ඇත.