FIFA ලෝක කුසලාන ඉතිහාසයේ ජයග්‍රාහී කණ්ඩායම්වලට බලපෑ පුදුම හිතෙන සාධක

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
- Author, ෆර්නැන්ඩු ඩුවර්ටේ
- Role, බීබීසී ලෝක සේවය
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 8
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ පිරිමි ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ජයග්‍රාහකයන් කවුරුන්දැයි කලින් අනුමාන කිරීමේ ක්‍රමවේද අද වන විට බෙහෙවින් දියුණු වී ඇත. වර්තමානයේදී මේ සඳහා සුපිරි පරිගණක, ඔට්ටු තබන්නන්, ක්‍රීඩාව පිළිබඳ මනා අවබෝධයක් ඇති ප්‍රේක්ෂකයන් මෙන් ම අනාවැකිකරුවන් පවා තරග වදිති.
නමුත් පසුගිය ලෝක කුසලාන තරගාවලි තුනෙහි ම ජයග්‍රාහකයන් පිළිබඳ නිවැරදිව අනාවැකි පළ කිරීම නිසා ප්‍රසිද්ධියට පත් ජර්මානු විශ්ලේෂක යෝකිම් ක්ලෙමන්ට් පවා විශ්වාස කරන්නේ, ලොව දක්ෂතම කණ්ඩායම් අතරින් ජයග්‍රාහකයා තීරණය වීමේදී බොහෝදුරට බලපාන්නේ වාසනාව බව ය.
තරගය පැවැත්වෙන දිනයේ කණ්ඩායමේ දක්ෂතාව විනිසුරුවරයෙකුගේ තීරණයක් හෝ පන්දුව ගෝල කණුවේ වැදී ඉවතට නොගොස් ගෝලයක් බවට පත්වීමේ වාසනාව වැනි දේ කිසිසේත් ම කලින් අනුමාන කළ නොහැකි බව ඔහු BBC Sport වෙත පවසා තිබේ.
කෙසේ වෙතත්, තරගාවලි ඉතිහාසය දෙස හැරී බලන්නේ නම් ලෝක කුසලානය හඹා යන කණ්ඩායම් මතකයේ තබා ගත යුතු කරුණු කිහිපයක් ඇති අතර ඉන් කිහිපයක් සැබැවින් ම පුදුමසහගත ය.
ජයග්‍රාහකයින්ගේ කුඩා කණ්ඩායම
පාපන්දු ලෝකයේ මෙම දැවැන්ත ම තරගාවලියට මේ දක්වා කණ්ඩායම් 84ක් සහභාගි වී ඇතත්, ඉන් ලෝක කුසලානය තම රටට රැගෙන යාමට වාසනාව හිමිකර ගෙන ඇත්තේ, රටවල් 8ක් පමණි. ඒ ආර්ජන්ටිනාව, බ්‍රසීලය, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ උරුගුවේ යන රටවල් ය.
ලෝක කුසලාන අවසන් තරගයක ක්‍රීඩා කර ඇත්තේ ද, රටවල් 13ක් වැනි සුළු සංඛ්‍යාවක් පමණි. ඉන් රටවල් කිහිපයක් නිරන්තරයෙන් ම පාහේ අවසන් තරගවලට සුදුසුකම් ලබා තිබේ.
ඒ අනුව, ජර්මනිය අවස්ථා 8කදී අවසන් තරග සඳහා පිවිස ඇති අතර, බ්‍රසීලය අවස්ථා 7කදීත්, ආර්ජන්ටිනාව සහ ඉතාලිය අවස්ථා 6 බැගිනුත් අවසන් තරග සඳහා සුදුසුකම් ලබා ඇත.
මේ හේතුවෙන් ලෝක කුසලාන ජයග්‍රාහකයන්ගේ සමාජයට අලුතින් ඇතුළත් වීම ඉතා අපහසු කාර්යයකි. මෙලෙස ජයග්‍රාහකයින්ගේ සමාජයට අලුතින් ම ඇතුළු වී ලෝක ශූරයන් බවට පත් වූයේ, ස්පාඤ්ඤය යි. ඒ, 2010 වසරේදී ය.
මෙහිදී නෙදර්ලන්තය පිළිබඳව ද කණගාටුවට කරුණක් පවතී. ඔවුන් අවසන් තරග තුනකට ක්‍රීඩා කර තිබුණ ද, කිසිදු වතාවක කුසලානය සිය රටට ගෙන යාමට සමත් වී නැත. කෙසේ වෙතත්, සුප්‍රකට විශ්ලේෂක ක්ලෙමන්ට් අනාවැකි පල කරන්නේ, 2026 වසරේදී ඔවුන් සිය පළමු ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ඇති බව ය.
මේ වන විට නෙදර්ලන්තය පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ හොඳ ම කණ්ඩායම් 32 අතරට පිවිස තිබේ. අඟහරුවාදා (ජූනි 30) මොරොක්කෝව අතර පැවැත්වෙන තරගයෙන් ජය ගතහොත් නෙදර්ලන්තය හොඳ ම කණ්ඩායම් 16 අතරට සුදුසුකම් ලබනු ඇත.
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ආසියානු හෝ අප්‍රිකානු කලාපයේ රටක් අර්ධ අවසන් පූර්ව වටය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඒ 2002 වසරේදී දකුණු කොරියාව සහ 2022 වසරේදී මොරොක්කෝව යි.
භූගෝලීය පිහිටීමේ බලපෑම

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1930 වසරේදී උරුගුවේ රාජ්‍යයේ පැවැත්වුණු පළමු පාපන්දු ලෝක කුසලානයේ සිට 2022 වසරේ කටාර්හි පැවැත්වුණු ඉකුත් පා පන්දු ලෝක කුසලාන තරගාවලිය දක්වා ඉතිහාසය දෙස හැරී බැලීමේදී කණ්ඩායමක් සිය රට අයත් මහද්වීපයෙන් බැහැරව ලෝක කුසලානයක් දිනා ගැනීම ඉතා කලාතුරකින් සිදු වූවකි.
ලෝක කුසලාන තරගාවලි 22ක ඉතිහාසය තුළ මෙවැනි අවස්ථාවක් වාර්තා වී ඇත්තේ, අවස්ථා 6කදී පමණි. එම සුවිශේෂී දස්කම දක්වා ඇත්තේ, රටවල් හතරක් පමණි. එනම් බ්‍රසීලය අවස්ථා 03කදී (1958, 1994, 2002), ස්පාඤ්ඤය එක් අවස්ථාවකදී (2010), ජර්මනිය එක් අවස්ථාවකදී (2014) සහ ආර්ජන්ටිනාව එක් අවස්ථාවකදී (2022) ලෙස ය.
මෙම තත්ත්වය දකුණු ඇමෙරිකානු හෝ යුරෝපීය රටවල පැවැත්වුණු තරගාවලිවලට පමණක් සීමා කර බලන්නේ නම් පාපන්දු ලෝක කුසලාන 19ක් තුළ මෙම භූගෝලීය සීමාව ඉක්මවා යාමට සමත්ව ඇත්තේ අවස්ථා දෙකකදී පමණි.
කණ්ඩායම් තම රට අයත් මහද්වීපය තුළ වඩාත් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට හේතු කිහිපයක් බලපාන අතර දේශගුණයට පහසුවෙන් හැඩගැසීමට හැකි වීම, දීර්ඝ සංචාර නොමැති නිසා අධික තෙහෙට්ටුවකට පත් නොවීම මෙන් ම තමන්ට සහයෝගය දැක්වීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩාංගණවල රැඳී සිටීම ඊට හේතු වේ. මෙම කරුණු හමුවේ අත්වන වාසි හේතුවෙන් ලෝක කුසලාන තරගාවලි 6ක් ම ජයග්‍රහණය කර ඇත්තේ සත්කාරක රටවල කණ්ඩායම් ය.
මෙම භූගෝලීය බලපෑම තරගාවලියේ මූලික වටවලදී පවා පැහැදිලිව දැකගත හැකි ය.
උදාහරණයක් ලෙස, 2014 වසරේ බ්‍රසීලයේ පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලියේදී, ලතින් ඇමෙරිකානු රටවල් 7ක් අවසන් 16 දෙනාගේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබී ය. එහිදී යුරෝපීය රටවල් අතරින් එම වටයට පිවිසිය හැකි වූයේ කණ්ඩායම් 6කට පමණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ සාමාන්‍ය පරිදි ම, අනෙකුත් කිසිදු මහද්වීපයකට වඩා වැඩි යුරෝපීය කණ්ඩායම් සංඛ්‍යාවක් එම තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටි පසුබිමක මෙවැන්නක් සිදු වීම ය.
ඉන් වසර හතරකට පසු රුසියාවේදී පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලියේදී, සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට යුරෝපීය කණ්ඩායම් 10ක් සමත් විය. ඒ වෙනුවට ලතින් ඇමෙරිකාවෙන් එම වටයට තේරී පත්වුණේ කණ්ඩායම් 5ක් පමණි. එමෙන් ම අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් හතර ම යුරෝපීය රටවල් වීම ද විශේෂත්වයක් විය.
කෙසේ වෙතත්, 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නව මාවතකට අවතීර්ණ වීමට නියමිත ය. ලෝක කුසලාන ඉතිහාසයේ රටවල් තුනක් (එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව) එක්ව සත්කාරකත්වය සපයන පළමු තරගාවලිය මෙය වන අතර, මෙවර ඊට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව ද 32 සිට 48 දක්වා ඉහළ නංවා තිබේ. කුරසාඕ , කේප් වර්ඩ් , ජෝර්දානය සහ උස්බෙකිස්ථානය යන රටවල් හතර මෙවර ප්‍රථම වතාවට ලෝක කුසලාන වේදිකාවට පිවිස තිබේ. ඇතැම්විට මෙම තරගාවලිය පෙර පැවති ඓතිහාසික ප්‍රවණතාවලින් බැහැරව පැවැත්වෙනු ඇත.
FIFA ශ්‍රේණිගත කිරීම් අවාසනාවන්ත තත්ත්වයකට හේතු විය හැකි ද?
විශිෂ්ට දක්ෂතා දැක්වූ කණ්ඩායම ලෝක කුසලානයේදීත් ඉහළින් ම කැපී පෙනෙනු ඇතැයි බලාපොරොත්තු වීම සාධාරණ වුවත්, එය සැමවිට ම සාර්ථකත්වය තීරණය කරන ස්ථිර සාධකයක් නොවේ.
1992 වසරේදී හඳුන්වා දුන් FIFA ලෝක ශ්‍රේණිගත කිරීම් භාවිත කරන්නේ, තරගාවලියේ පෙරමුණේ පසුවන ප්‍රබල කණ්ඩායම් මුල් වටයේදී ම එකිනෙකා සමග තරග වැදීම වැළැක්වීම සඳහා කණ්ඩායම් තේරීමට ය. ටෙනිස් වැනි අනෙකුත් ක්‍රීඩාවලදී මෙන් ම, මෙහිදී ද කණ්ඩායමක දක්ෂතා මට්ටම මනිනු ලබන්නේ ලෝක පාපන්දු සම්මේලනය පිළිගත් නිල මිත්‍රත්ව තරග ඇතුළු සියලු ම පාපන්දු තරගවල ප්‍රතිඵල පාදක කර ගනිමිනි.
ලෝක කුසලාන ජයග්‍රාහකයින් සාමාන්‍යයෙන් බිහිවන්නේ ලෝකයේ දක්ෂතම කණ්ඩායම් 10 හෝ 15 අතරිනි. එහෙත්, ලෝක කුසලාන තරගාවලියක් ආරම්භ වන අවස්ථාවේදී FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසු වූ කිසිදු කණ්ඩායමකට මෙතෙක් එම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හැකියාව ලැබී නොමැත.
ජුනි 8 වන දා වන විට පැවති තත්ත්වය අනුව, පෙරමුණේ පසු වූ ආර්ජන්ටිනාවට මෙම ප්‍රවණතාව එතරම් ශුභදායී පුවතක් නොවිය හැක.
වත්මන් ශූරයින් මුහුණ දෙන අභියෝගය

ඡායාරූප මූලාශ්‍රය, Bettmann Archive/Getty Images
අවස්ථා කිහිපයකදී ශූරතාව දිනාගත් රටවල් කිහිපයක් ම තිබේ. බ්‍රසීලය, ජර්මනිය, ඉතාලිය සහ ආර්ජන්ටිනාව යන රටවල් එක්ව ලෝක කුසලාන 16ක් දිනාගෙන ඇත. එහෙත් තමන් සතු ලෝක කුසලාන ශූරතාව රැක ගැනීම දුෂ්කර කාර්යයකි.
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය පුරාවට ම අඛණ්ඩව අවස්ථා දෙකකදී ශූරතාව තමන් සතු කර ගැනීමට සමත්ව ඇත්තේ රටවල් දෙකක් පමණි. ඒ, ඉතාලිය (1934 සහ 1938) සහ බ්‍රසීලයයි (1958 සහ 1962).
පරාජයට පෙර පැමිණෙන ජයග්‍රහණය

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
ඇත්ත වශයෙන් ම, මෑත කාලයේදී ලෝක කුසලාන තරගාවලි, මීර පෙර ශූරයින් වූ කණ්ඩායම්වලට එතරම් හිතකර වී නැත.
2002 වසරේ සිට මේ දක්වා, පෙර පැවති තරගාවලියේ ශූරයන් වූ කණ්ඩායම් හයෙන් හතරකට ම මෙවර කණ්ඩායම් අදියර පවා පිවිසීමට නොහැකි විය. එයින් බැහැර වූ කණ්ඩායම් වන්නේ බ්‍රසීලය (2002 වසරේ ශූරයන් විය - 2006 වසරේදී අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි විය) සහ ප්‍රංශය යි. (2018 ශූරයන් විය - 2022 වසරේ අනුශූරයන් විය).
තවමත් සාර්ථක වී නොමැති විදෙස් පුහුණුකරුවන්

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
ලෝක කුසලාන තරගාවලි සඳහා විදෙස් පුහුණුකරුවන් බඳවා ගැනීම අලුත් දෙයක් නොවන අතර, පසුගිය දශක තුනක කාලය තුළ විදෙස් පුහුණුකරුවන් ගෙන්වා ගන්නා කණ්ඩායම් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. 2026 වසරේදී එය ඉහළ ම අගයට ළඟා වනු ඇති අතර, මෙවර තරග වදින රටවල් 48න් 27ක ම කණ්ඩායම් පුහුණු කරනු ලබන්නේ විදෙස් පුහුණුකරුවන් විසිනි.
මීට පෙර පාපන්දු ලෝක කුසලාන දිනාගත් බ්‍රසීලය සහ එංගලන්තය ද මීට ඇතුළත් ය. ඒ අනුව බ්‍රසීල කණ්ඩායම ඉතාලි ජාතික කාර්ලෝ ඇන්සලොටි සහ එංගලන්ත කණ්ඩායම ජර්මානු ජාතික තෝමස් ටුචෙල් මෙහෙයවනු ඇත.
ගැටලුව වන්නේ, විදෙස් පුහුණුකරුවෙකු සිටි කිසිදු කණ්ඩායමක් මේ දක්වා පාපන්දු ලෝක. කුසලානය හිමිකර ගෙන නොතිබීම යි.
බයර්න් මියුනික් සහ ඉන්ටර් මිලාන් සාධකය

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
ඇතැම්විට මෙය පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ දක්නට ලැබෙන වඩාත් ම අපූරු සිදුවීමක් විය හැක. පසුගිය ලෝක කුසලාන තරගාවලි 11 පුරා ම, අවසන් තරගයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් අතර ජර්මනියේ බයර්න් මියුනික් හෝ ඉතාලියේ ඉන්ටර් මිලාන් යන කණ්ඩායම් අතරින් අවම වශයෙන් එක් ක්‍රීඩකයෙකු හෝ කණ්ඩායම් දෙක ම නියෝජනය වන පරිදි ඇතුළත් විය.
1982 වසරෙන් පසු මේ දක්වා, මෙම සුපිරි පාපන්දු සමාජ දෙකෙන් එකක හෝ ක්‍රීඩකයෙකු ඇතුළත් නොවූ කණ්ඩායමක් ලෝක කුසලාන ශූරතාව දිනා ගැනීමට සමත් වී ඇත්තේ, අවස්ථා දෙකකදී පමණක් වන අතර ඒ 1986 සහ 2010 වර්ෂවලදී ය.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ප්‍රකාශයට පත් කරන ලද නිල ක්‍රීඩක ලැයිස්තුවලට අනුව, 2026 තරගාවලියට ක්‍රීඩා කරන රටවල් 48න් 15ක ම බයර්න් මියුනික් හෝ ඉන්ටර් මිලාන් එසේ නොමැති නම් කණ්ඩායම් දෙකෙන් ම හෝ ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති. ජර්මනිය, ප්‍රංශය සහ එංගලන්තය වැනි ප්‍රබල කණ්ඩායම් මෙන් ම වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව ද ඒ අතරට ඇතුළත් වේ.

































